යටත්විජිත යුගයේ දී අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී හිටපු ලංකාවේ බෞද්ධයන්ට තමන්ගේ ආගම වුණු බුද්ධාගම ඇදහීමට පවා නිදහසක් ලැබුණේ නැහැ. ලංකාවේ බෞද්ධයන්ට තමන්ට හිමි අයිතිවාසිකම් දිනා ගන්න වගේම තමන්ගේ මුල් පාදා ගන්න උදව් කරපු විදේශිකයන් බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අය බුද්ධාගම ගැන අහලා කියවලා, ලංකාවේ හිටපු විශිෂ්ට ගණයේ භික්ෂූන්වහන්සේලා එක්ක ලියුම් ගනුදෙනු කරලා, ඒ අනුව ලංකාවේ බුද්ධාගම වෙනුවෙන් තමන්ට පුළුවන් උපරිම ප්‍රමාණයේ දායකත්වයක් ලබා දුන්නා. අපේ මේ සටහන ඒ විදිහට ලංකාවේ බුද්ධාගම දියුණු කිරීමට දායක වුණු විදේශිකයෝ ගැන.
1. රොබට් චාමර්ස්
රොබට් චාමර්ස් ආණ්ඩුකාරවරයා ගැන අද වෙනකොට අපිට තියෙන්නෙ යහපත් ආකල්පයක් නෙමේ. ඒ 1915 ඇතිවුණු සිංහල මුස්ලිම් කෝලාහලයෙදී ලංකාව පුරා යුද්ධ නීතිය පනවලා සිදු කරපු අකටයුතුකම් සඳහා නියෝග ලබා දුන්නේ රොබට් චාමර්ස් වීම නිසා. නමුත් රොබට් චාමර්ස් ලංකාවට එද්දි කිසිම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙකුට නොලැබුණු තරම් පිළිගැනීමක් ඔහුට ලැබුණා. හේතුව ඔහු පාලි භාෂාව සහ බුද්ධාගම පිළිබඳ විශාරද දැනුමකින් හෙබි පුද්ගලයෙක් වීම නිසා. ත්‍රිපිටක ග්රන්ථ පළකිරීම සඳහා අලුවිහාර ග්රන්ථ මාලා නමින් ග්රන්ථ ප්‍රකාශන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත් ඔහු සැලසුම් කරලා තිබ්බා. නමුත් සිංහල මුස්ලිම් කෝලාහලය මැඩ පැවැත්වීමට ඔහු සිදු කරපු අමනෝඥ ක්‍රියාකලාපය නිසා නැවතත් එංගලන්තයට යන්න ඔහුට සිද්ධ වුණා. එහිදී ඔහු ජාතක කතා සහ මජ්ඣිම නිකාය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට කටයුතු කළා.
2. මේරි රොබින්සන් ෆොස්ටර්
එවකට නිදහස් රාජධානියක් ලෙස පැවතුණු හවායි හීදී උපත ලබපු මේරි ෆොස්ටර් මහත්මිය එරට සිටි ධනවත්ම කාන්තාවක් බවට පත් වුණේ තරුණ කාලයේදීම සිය සැමියා මරණයට පත් වීම නිසා ඔහුගේ බූදලයේද භාරකාරීත්වය හිමි වීමෙන් අනතුරුවයි. මේ අතරතුරේ දී ඇයට අනගාරික ධර්මපාල තුමා මුණගැහෙන අතර එතුමා හරහා ඇය බුද්ධාගම පිළිබඳව මූලික දැනීමක් ලබාගන්නවා. ඉන් අනතුරුව ඇය අනගාරික ධර්මපාලතුමාගේ වැඩකටයුතු සඳහා මුදලින් ආධාර කරනු ලබන අතර ඒ හරහා ලංකාවේ සහ ඉන්දියාවේ බෞද්ධ පුනර්ජීවන කටයුතු සඳහා විශාල දායකත්වයක් ලබා දෙනවා. ඇයගේ මූල්‍ය දායකත්වයෙන් ලංකාවේ රෝහලක් පවා ඉදිවෙනවා.
3. රීස් ඩේවිස්
බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙක් විදිහට ලංකාවට ආපු රීස් ඩේවිස් විනිශ්චයකාරයෙක් විදිහට කටයුතු කරද්දි විභාගය කරපු නඩු කටයුත්තකදී සිංහල නොවන වෙනත් භාෂාවකින් ලියැවුණු ලේඛනයක් ගැන අසන්න ලැබෙනවා. ඒ ගැන විමසීමක් කරද්දී මේ ලේඛනය ලියවිලා තියෙන්නෙ පාලි භාෂාවෙන් කියලා දැනගන්න ලැබුණට පස්සේ රීස් ඩේවිස් පාලි භාෂාව ඉගෙන ගැනීම ආරම්භ කරනවා. මේ හරහා ඔහු බුද්ධාගම පිළිබඳවත් සුවිශාල අවබෝධයක් ලබා ගන්නවා. දිස්ත්‍රික් සහකාර ඒජන්තවරයා විදිහට අනුරාධපුරයට යන ඔහු ශුද්ධ වූ නගරයේ කැණීම් ආරම්භ කිරීමට මූලික කටයුතු සම්පාදනය කරනවා. විශ්‍රාම ගැනීමෙන් පසුව නැවතත් එංගලන්තයට යන ඔහු බෞද්ධ ග්රන්ථ ප්රකාශනය සඳහා “Pali Text Society” ආරම්භ කරනවා.
4. විල්හෙලම් ගයිගර්
උපතින් ජර්මන් ජාතිකයෙකු වූ විල්හෙලම් ගයිගර් අපිට වැදගත් වෙන්නේ ප්‍රථම වතාවට මහාවංශය සහ දීපවංශයේ පූර්ණ සහ විචාරාත්මක පරිවර්තන කරන්න සමත් වෙන විද්වතා වීම නිසා. ඒ වගේම එතුමා ලංකාවේ සිංහල භාෂාව සහ වැදි භාෂාව පිළිබඳවත් විධිමත් පර්යේෂණ රාශියක් සිදු කළා. ඔහුගේ මහාවංශ පරිවර්තන පිළිබඳව පොල්වත්තේ බුද්ධදත්ත හිමියන් සිදුකරනු ලැබූ විවේචන ඉතාමත් භක්ත්‍යාදරයෙන් යුතුව පිළිගත්ත ඔහු තමන්ගේ මතවාද වෙනස් කරන්නත් කටයුතු කළා. පාලි භාෂාව සහ සිංහල භාෂාව පිළිබඳව ඔහුට නිපුණත්වය ලබා ගන්න ලංකාවේදී ජුලියස් ලැනරෝල් වැනි පඬිවරු උපකාර කරණු ලැබුවා.
5. ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
මහින්ද හාමුදුරුවෝ විදේශිකයෙකු කියන්න බැරි තරමට තරමටත් අපේම කෙනෙක් බවට පත් වෙලා තියෙනවා. දුරු රටක ඉඳන් ලංකාවට ඇවිල්ලා ලංකාවෙ මිනිස්සු සහ ලංකාව කෙරෙහි අප්‍රමාණ සෙනෙහසකින් යුතුව තමන්ගේ පෑන පෑන කඩුවක් කරලා හැසිරවූ උන්වහන්සේ අපේ රටේ නිදහස් සටනේ පතාක යෝධයෙක්. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඒ කාලෙ ලංකාවේ බුද්ධාගමට තර්ජනයක් වෙලා තිබ්බ විනයවර්ධන ව්‍යාපාරයට එරෙහිව විශාල වැඩපිළිවෙළක් උන් වහන්සේ ගෙන ගිහිල්ලා තියෙනවා
6. හෙන්රි ස්ටීල් ඕල්කට්
ඕල්කට්තුමා තරම් මෑත කාලේදී ලංකාවේ බුද්ධාගම වෙනුවෙන් විශිෂ්ට සේවයක් කරපු වෙන කිසිම විදේශිකයෙක් නෑ කියලා කිව්වොත් වැරැද්දක් නැහැයි කියලා අපි හිතනවා. ඕල්කට් පාසල් විදිහට හඳුන්වන පාසල් පොකුර නිර්මාණය කරන්න බෞද්ධයන්ට අවශ්‍ය මූලික සහයෝගය පිරිනමන්නේ ඕල්කට්තුමා විසින්. වර්තමාන බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම වගේම වෙසක් පොහොය දිනය නිවාඩු දවසක් බවට පත්කර ගැනීම වැනි කාර්යයන්වලත් ප්‍රධාන භූමිකාවක් ඕල්කොට් තුමා නිරූපණය කළා.
7. උපාලි හාමුදුරුවෝ
ලංකාවෙන් පිරිසිදු උපසම්පදාව අතුරුදහන් වෙලා තිබ්බ යුගයක බෝධිසත්වයාණන් වහන්සේ නමක් ලංකාවේ පහළ වුණා. ඒ තමයි වැලිවිට සරණංකර සංඝරාජ හාමුදුරුවෝ. සංඝරාජ හාමුදුරුවන්ගේ ජීවිතයේ තිබ්බ එකම බලාපොරොත්තු වුණේ ලංකාවේ යළිත් උපසම්පදාව පිහිටුවන එක. උන්වහන්සේගේ එම බලාපොරොත්තුව ඉෂ්ට කරේ සියම් රටේ ඉඳන් ලංකාවට ආපු උපාලි හාමුදුරුවෝ. ලංකාවට වැඩම කළ වදාළ මොහොතේ ඉඳන් උපාලි හාමුදුරුවෝ ලංකාවේ භික්ෂූන් වහන්සේලාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළා. අවසානයේදී උන්වහන්සේ අපවත් වුණේත් ලංකාවේ ඉන්දැද්දිමයි. සියම් නිකාය උන්වහන්සේට ගෞරවයක් විදිහට “ශ්‍යාමෝපාලී” වශයෙන් තමන්ගේ නිකාය හඳුන්වනවා
එහෙම නම් ඉතිං වෙනදා වගේම ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply