කොරෝනා වෛරසය නිසා අපට වෙනස් ම ජීවන රටාවකට හැඩගැහෙන්න සිද්ධ වෙලා. වෙනස් කිව්වට මහ ලොකු වෙනසක් ඒකේ තියෙනවද කියලත් හිතෙනවා. එහෙම හිතෙන්නේ මේ සමහර පුරුදු අපේ අතීත ජීවිතවලට ගොඩක් සමීප නිසා. මේ විදියට කොරෝනා නිසා ආයෙත් අපේ ජීවිත එක්ක සමීප වුණ ඒ පරණ පුරුදු මොනවද කියලා බලමු.
1. පොත් කියවීම
පොත් කියවන පුරුද්ද අපි අතරෙන් මැකිලා යන්න ප්‍රධානම හේතුවක් වුණේ පොත් කියවන්න වෙලාවක් නැතිකම. ඒත් දැන් වෙලාව ඕනෑවටත් වඩා තියනවා. කරන්න කිසිම දෙයක් නැතුව ඉඳීමෙන් පොත් දිහාවට හරි අපිව තල්ලු වෙලා. වර්ක් ෆ්‍රොම් හෝම් කිව්වත් ඉතින් ඔපීසියේ වගේ කසිලිබිසිලි වාතාවරණයක් නෑනේ. ළමා ළපටි ඔක්කොම ගෙදර ඉන්න එකේ පොතක් තමන්ටම කියවන්න පුළුවන්. නැත්තන් කාට හරි ඇහෙන්න කතාවක් කියා දෙන්න පුළුවන්. කියවීමේ මාසෙදිවත් නොදැකපු පොත් කියවීමේ පුරුද්දක් මේ ටික දවසට ඇති වෙලා.
2. ගෙදර උදවිය එක්ක අල්ලාප සල්ලාප
වෙනදට ඔෆිස් යනවා, ඉස්කෝලේ යනවා එනවා කනව බොනව නිදාගන්නවා නැගිටිනවා ට්‍රැක් එකේ ගියාම ගෙදර අය එක්ක කතා කරන්න තියා මූණක් දිහා බලන්නවත් වෙලාවක් නෑ. දැන් වෙලාව තියෙනවා. ඒ වගේ ම කතා කරන්න දේකුත් තියනවා. කොරෝනා ගැන කතා කරන්න පටන් ගෙන ඉස්සර කාලේ කට්ටිය කරපු කියපු දෑ ගැනත් කතා කරන තැනට පත් වෙන්න පුළුවන්. මේ කතා එක්ක අපට එකිනෙකාගේ ජීවිත කොච්චර මගඇරිලද කියලා හිතෙන්න පුළුවන්.
3. කොත්තමල්ලි වෙනිවැල්ගැට පානය
කොත්තමල්ලි වෙනිවැල්ගැට වගේ ඖෂධීය පානයන්ගෙන් අපි ගොඩක් බැහැර වෙලා. අපි කිව්වට ඉතින් ඔය උණක් හෙම්බිරිස්සාවක් ආව වෙලාවට බොනවා මිසක් ඉස්සර වුණත් ඒ හැටි ඇම්මක් තිබුණේ නෑ මේවා බොන්න. නමුත් දැන් වෛද්‍යවරු ප්‍රතිශක්තිකරණය සඳහා ඉතාම යෝග්‍යයි කියලා කිව්වට පස්සේ නප්පි නදර් වෙන්න බොනවා. හැමදාම නැතත් දවසක් ඇර දවසක් හරි. මේ විදියට ආයුර්වේදයට යොමු වුණ එක ගැන කාට නැතත් අම්මට සතුටු ඇති.
4. අපි වවමු අපිම කමු
ඇඳිරි නීතිය එක්ක ආපු ප්‍රශ්නයක් තමයි මිනිස්සුන්ගේ තියෙන ආහාර සපයා ගැනීමේ ප්රශ්නය. ගොඩක් අය කඩෙන් ගෙනත් තමයි කන්න පුරුදු වෙලා හිටියේ. එතකොට එළවළු එහෙම ගත්තෙත් පොළෙන්. නමුත් දැන් තමන්ගේ ගෙවත්තක වස විස නැතුව හදාගන්නා දෙයක වටිනාකම තේරෙන්න අරන්. අන්න ඒ නිසා දැනට වැඩක් නැතත් අනාගත පරිභෝජනයක් සඳහා හරි ගෙවතු වගා වැඩ කරන්න මිනිස්සු යොමු වෙලා තියනවා. ගෙදර හිටියා කියලා කරන්න දේකුත් නෑනේ.
5. ආපහු රූපවාහිනිය ඉදිරිපිටට
ඉස්සර ඉඳන් ම හරවත් දෙයක් මිනිස්සුන්ට දුන්නේ ජාතික රූපවාහිනියෙන් තමයි. ඒක පටන් ගත්තේ පුංචි කාලෙන්. ඒ කියන්නේ කුඩාම දරුවට පවා ගැලපෙන වැඩසටහන් එක්ක. මෑත කාලීනව කිසිම නාලිකාවක බලන්න දෙයක් නැති නිසා වැඩිය රූප පෙට්ටිය ඉස්සරහට අපි ආවේ නෑනේ. ඒත් මේ අල්ලපනල්ලේ ඔක්කොම ජාතිකේ වටේ එකතු වෙලා ඉස්සර වගේම. හවස පහ හමාරේ ඉඳන් කාටුන්. උදේට රොබින් හුඩ්, දැනට.
6. පරණ විනෝදාංශ අලුත් කරගැනීම
කාලයත් එක්ක පරණ වුණ විනෝදාංශ ආයෙත් ගොඩදාගන්න පටන් අරන්. ඩයරියක් ලියන එක, කවි සින්දු ලියන එක, වත්තේ තියන ගස්වල කොළ පොත් අස්සේ දාන එක වගේ අතරමග නැවතුණ විනෝදාංශ අපි දන්නෙත් නැතුව ආයෙත් ළං වෙලා.
7. ඉර එළිය වැටෙනකන් නිදාගැනීම
පරණ පුරුදු කිව්වම හෙන හොඳ ඒවා වෙන්න ම ඕනි නෑනේ. නිවසේ ඉඳන් වැඩ කිරීම තියා මොන මංගල්ලේ කිව්වත් දැන් අයියලා සෙට් එක නැගිටින්නේ නවයත් පහු වෙලා. නැගිට්ටා කියලා කාටවත් ඵලයක් තියෙන එකක් යැ. ඉස්සර ඉස්කෝලේ නිවාඩු කාලේ, ඉස්කෝලේ නොගිය දවස්, රැකියා විරහිත කාල ඔක්කොම සිහි කරගෙන ෆුල් සැප!
Leave a Reply