සිරිලක මහා දානපති චාල්ස් හෙන්රි ද සොයිසා

අද වෙනකොට ශ්‍රී  ලංකාවෙන් සුපිරි ධනවතුන් රාශියක් බිහි වෙලා තිබ්බත් සියවසකට විතර කලින් ලංකාවේ එකම එක සුපිරි ධනවතයි හිටියේ, ඒ තමයි චාල්ස් හෙන්රි ද සොයිසා. Lifie මේ සටහන ඔහුගේ ජීවිතය දිහා නැවත හැරී බැලීමක්.

 

1. උපන් ගෙයි ධනවතා 

චාල්ස් ද සොයිසා ඉපදුණේ එවකටත් ලංකාවේ ධනවත් පවුලක් විදිහට සැලකුණු මොරටුව සොයිසා පවුලේ. චාල්ස්ගේ පියා වුණු ජෙරෝනිස් සොයිසා සහ ඔහුගේ මල්ලි වුණු සුසෙව් සොයිසා කරත්ත රස්සාවෙන් පටන් අරගෙන මිනිරන් පතල් කැණීම, කෝපි වැවීම සහ අරක්කු රේන්ද ගැනීම හරහා  සෑහෙන තරමේ ධනවතුන් බවට පත් වෙලා හිටියා. සූසෙව් ද සොයිසාට දරුවන් නොමැති වීම නිසා ඔහුගේ බූදලයත් චාල්ස් හට උරුම වුණා. සිය දෙමව්පියන්ට නොලැබුණු බටහිර අධ්‍යාපන ලබාගත්ත චාල්ස් ද සොයිසා  තමන්ට ලැබුණු බූදලය වැඩි දියුණු කිරීමට කටයුතු කළා.

 

2. විවාහය 

චාල්ස් ද සොයිසා විවාහ වීමට තෝරාගත්තේ ලංකාවේ තවත් සුප්‍රකට ධනවත් පවුලකට අයිති සාමාජිකාවක් වුණු කැතරින් ද සිල්වාවයි. ඇගේ පියා වුණු ජුසේ ද සිල්වා පාප් වහන්සේගෙන් පවා ගෞරව ලැබූ භක්තිමත් කතෝලිකයෙකු වුණා. නමුත් මේ විවාහයට පරහකට හිටියේ චාල්ස් ද සොයිසාගේ පවුල ඒ වන විට බුද්ධාගම අත්හැරලා ඇන්ග්ලිකන් ක්‍රිස්තියානි නිකායට බැඳී සිටීමයි. විවාහයෙන් ලැබෙන දරුවන් කතෝලික ආගමේ බෞතීස්ම කරන බවට පොරොන්දුවක් ලබා දී ඒ විවාහය සිදු වුණත්, විවාහයෙන් ලැබුණු දරුවන් පාළොස් දෙනාම ඇන්ග්ලිකන් ක්‍රමයට අනුව බෞතීස්ම කරනු ලැබුවා.

 

3. රජ මාලිගාවක් වගේ නිවසක්

තමන් සහ තමන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් චාල්ස් ද සොයිසා මාලිගාවක් වැනි නිවසක් නිර්මාණය කළා. වර්තමාන කොල්ලුපිටියේ පිහිටා තිබූ මේ නිවස සහ ඉඩම අක්කර 120 ක ප්‍රමාණයක විහිදී ගියා. ගාලු පාරේ සිට තර්ස්ටන් පාර දක්වාත් බගතලේ පාරේ සිට පාසල් මාවත දක්වාත් ප්‍රදේශය ඊට ඇතුළත් වුණා. එවකට එම නිවස හැඳින්වූයේ බගතලේ වලව්ව නමින්. පසුකලෙක දී චාල්ස් ද සොයිසා විසින් තමන්ගේ දරුවන් වෙනුවෙනුත් ඒ ආසන්නයේම නිවාස ඉදිකළා. වර්තමානයෙහි කොළඹ සරසවියේ සනාතන සභාව පිහිටා තිබෙන ගොඩනැගිල්ල එසේ ඉදි කරන ලද වලව්වක්. (එවකට එය රෙජිනා වලව්ව ලෙස හඳුන්වා තිබෙනවා)

 

4. ඇල්ෆ්‍රඩ් කුමාරයාගේ පැමිණීම

වික්ටෝරියා රැජිනගේ දෙවෙනි පුත්‍රයා වුණු එඩින්බරෝහි ආදිපාද ඇල්ෆ්‍රඩ් කුමාරයාගේ ලංකාගමනය වෙනුවෙන් චාල්ස් හෙන්රි ද සොයිසා විසින් සුවිශාල සාදයක් තමන්ගේ නිවසේ සැලසුම් කළා. ඒ සඳහා අවශ්‍ය ඇතැම් දෑ පිට රටින් පවා ගෙන ඒමට ඔහු කටයුතු කළා. ඇල්ෆ්‍රඩ් කුමාරයාට ආහාර ගැනීම සඳහා රනින් කළ පිඟන් සහ හැඳි ගෑරප්පු සකස් කරනු ලැබුවා. මෙය ලංකාව තුළ බ්‍රිතාන්‍ය රාජකීයයන් වෙනුවෙන් සිදු කරනු ලැබූ සුවිශාලම පිළිගැනීම ලෙස සලකනු ලබනවා. ඇල්ෆ්‍රඩ් කුමාරයාගේ මෙම පැමිණීම සිහිපත් කරමින් බගතලේ වලව්ව “ඇල්ෆ්‍රඩ් හවුස්” ලෙස නම් කරනු ලැබුවා. සංරක්ෂණය කළ යුතු සිහිවටනයක් වුණු ඇල්ෆ්‍රඩ් හවුස් නිවස සොයිසාගේ මරණයෙන් සිය වසක් ගත වීමටත් පෙර  කඩා බිඳ දැම්මේ වර්තමානයේ දිවෙන ආර්. ඒ. ද මෙල් මාවත සඳහා ඉඩකඩ ලබා ගැනීම වෙනුවෙන්.

 

5. චාල්ස් ද සොයිසා ගේ සුවිශේෂී දායකත්ව 

ලංකාවේ ළදරු මරණ ප්‍රමාණය අඩු කිරීමට චාල්ස් ද සොයිසා විශාල දායකත්වයක් ලබා දුන්නා. වින්නඹු මව්වරුන් පුහුණු කිරීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කළ ඔහු සොයිසා කාන්තා රෝහල නිර්මාණය කොට රජයට භාර දෙනු ලැබුවා. කොළඹ වෛද්‍ය විද්‍යාලය පිහිටා තිබූ තිබූ මුල් ගොඩනැගිල්ල පරිත්‍යාග කරන ලද්දේත් ඔහු විසින්.

මීට අමතරව ලුනාව රෝහල, පානදුර රෝහල, මාරවිල රෝහල වැනි රෝහල් සොයිසා පවුලේ ධන පරිත්‍යාග ලැබූ අනෙකුත් රෝහල් වෙනවා.

මීට අමතරව වේල්ස් කුමර විද්‍යාලය සහ වේල්ස් කුමරි විද්‍යාලය නිර්මාණය කිරීම ඔහු විසින් මෙරට අධ්‍යාපනය ඉහළ නැංවීමට සිදු කළ  සුවිශාල දායකත්වයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.

 

6. විවාදයට ලක් වුණු මරණයක් 

චාල්ස් හෙන්රි ද සොයිසා ට අත් වුණේ ඛේදජනක මරණයක්. ඔහු විසින් සුරතලයට ඇති දැඩි කරන ලද බල්ලා විසින් සපා කනු ලදුව පිස්සු බලු රෝගය වැළඳීම නිසා ඔහු මරණයට පත් වුණා. බොහෝ දෙනෙක් විශ්වාස කළේ ගුප්ත ශාස්ත්‍රය පිළිබඳව විශාරද දැනුමක් තිබූ බත්තරමුල්ලේ ශ්‍රී සුභූති හිමියන්ට සොයිසා විසින් සිදුකරන ලද අපහාසයකට පළි ගැනීමක් වශයෙන් උන්වහන්සේ සිදු කරන ලද ගුරු කමක් මගින් චාල්ස් ද සොයිසාගේ මරණය සිදු වුණා කියලා.

 

7. මරණයෙන් පසුව ලැබුණු නයිට් පදවිය 

චාල්ස් හෙන්රි ද සොයිසා මිය යන කාලය විට ඔහු විසින් මෙරට තුළ සිදුකරන ලද සුවිශාල සමාජ සේවා අගය කරමින් වික්ටෝරියා රැජින විසින් නයිට් පදවියක් පදවිය ප්‍රදානය කිරීමට නියමිතව සිටියත් ඔහුගේ අනපේක්ෂිත මරණය නිසා එය ඔහුට පිරිනැමීමට අවස්ථාවක් ලැබුනේ නැහැ. මේ නිසා ඔහුට එම ගෞරවය මරණයෙන් පසුව ඇය විසින් ලබා දුන්නා. මේ නිසා ඔහුගේ  බිරිඳ වන කැතරින් ද සොයිසා මහත්මියට නයිට් පදවියක් ලද පුද්ගලයෙකුගේ බිරිඳකට හා සමාන ගෞරවයක් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය තුළ ලැබුණා. ඒ අනුව තම නම සමග Lady එහෙමත් නැත්නම් ආර්යාව කියන ගෞරව පදය භාවිතා කරන්න අවස්ථාව ලැබුණු පළවෙනි ශ්‍රී ලාංකික කාන්තාව වෙන්නේ ඇය.

 

එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *