ඉස්කෝලෙ නිවාඩුව කලින් ලැබුනත් එක්කම පොඩ්ඩන්ට නොහිතන තරම් දිග නිවාඩුවක් ලැබුනනේ. ඉතින් රටේ වාතාවරණයත් එක්ක කොහෙවත් යන්නත් බැරි එකේ ගෙදරට වෙලා නට නට ඉන්න ඔයාලගෙ පොඩ්ඩන්ගෙ කරදරෙන් බේරෙන්න හදලා දෙන්න පුළුවන් රසම රස කෑම ටිකක් අපි ගෙනාවා. දවසට එක ගාණෙ හැදුවත් ඉතින් මදිවෙයි අපේ දඟයන්ටනම්…
1. පොටෑටෝ පෑන්කේක්
අවශ්‍ය ද්‍රව්‍ය
- අලගෙඩි 3
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් අමුමිරිස් කරල් 2
- චොප්කරගත් මින්චි කොළ කිහිපයක්
- චොප්කරගත් ඉඟුරු සුදුළූණු තේ හැඳි 1
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
- ලුණු තේ හැඳි 1/2
- පාන්පිටි කෝප්ප කාලක්
- බිත්තර 1
- අල ටික පොතු ඇරල සෝදල අරන් ග්‍රේට් කරගන්න. දැන් මේකට වතුර ටිකක් දාලා තියන්න. ටිකකින් ඒ ටික හෝදලා වතුර පෙරලා මිරිකලා ගන්න.
- දැන් මේකට උඩින් කිව්ව ඔක්කොම දාලා හොඳට අනාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් ගාලා මේ මිශ්‍රණයෙන් ටිකක් තැන් තැන් වලට රවුමට දාලා තුනී කරගන්න. දැන් දෙපැත්තම ෆ්‍රයි කරගන්න.
2. ඩෝනට්ස්
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- ඊස්ට් තේ හැඳි 3
- මෙල්ට් කරගත් බටර් මේස හැඳි 2
- මද රස්නෙ වතුර කෝප්ප කාලක් වගේ
- බිත්තර 1
- සීනි මේස හැඳි 3
- ලා රස්නෙ කිරි කෝප්ප 3/4
- ලුණු
- ඊස්ට් වලට මද රස්නෙ වතුර ටිකක් දාලා ඒකට පාන්පිටි මේස හැඳි 2ක් දාලා කලවම් කරගන්න. හොඳ උකු මිශ්‍රණයක් තමයි ඕනේ. මේක විනාඩි 20ක් පිපෙන්න තියන්න.
- පාන්පිටි වලට මෙල්ටඩ් බටර්, බිත්තරය, සීනි, ලුණු දාලා කලවම් කරගන්න. මේකට පිපුණු ඊස්ට් ටික කලවම් කරගන්න.
- ඉන්පසු කිරි ටික ටික කලවම් කරමින් අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න. මේ ඩෝ එක තෙත රෙදි කෑල්ලකින් වහලා පැයක් තියන්න.
- පැයකින් පස්සෙ හොඳට පිපිලා තියන මිශ්‍රණය පිටි ඉසගත් ලෑල්ලක තබා තුනී කර ඩෝනට් කටර් එකකින් හෝ රවුමකින් කපාගන්න.
- ඒ කපාගත් රවුම ඇතුලෙන් තවත් පොඩි රවුමක් කපාගන්න ඩෝනට් එකේ මැද හිල හැදෙන විදියට. මේ ඩෝනට් තවත් විනාඩි 20ක් පිපෙන්න තියලා ගැඹුරු තෙලේ බැදගන්න.
චොක්ලට් සෝස් එක සඳහා
- කුකින් චොක්ලට් කෑලි 5ක්
- ෆ්‍රෙශ් මිල්ක් මේස හැඳි 2
- සැරසීමට ස්ප්‍රින්කල්ස්
- කුකින් චොක්ලට් ටික ඩබල් බොයිල් කරලා ඒකට කිරි ටික එකතු කරලා කලවම් කරලා සෝස් එක හදාගන්න.
- දැන් බැදගත් ඩෝනට් එකින් එක අරගෙන ඩෝනට් එකේ පැත්තක් වැහෙන්න තවරගන්න.
- ස්ප්‍රින්කල්ස් ඉහගන්න. එහෙම නැත්තන් ඔයාලා කැමති විදිහකට සරසගන්න පුළුවන්.
3. ඔම්ලට් බ්‍රෙඩ්
අවශ්‍ය ද්‍රව්‍ය
- සැන්ඩ්විච් පාන් පෙති කිහිපයක්
- බිත්තර 1
- ලුණු පින්ච් එකක්
- චොප්කරගත් ළූණු ගෙඩි 1/2
- චොප්කරගත් බෙල්පෙපර් පාට 3න්ම මේස හැඳි 2 බැගින්
- ගම්මිරිස්කුඩු පින්ච් එකක්
- ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් ටිකක්
- බිත්තර කඩලා, ලුණු ටිකක් දාලා ගෑරප්පුවකින් බීට් කරගන්න. පාන් පෙති අරන් ඒක මැදින් කොටුවක් වගේ කපාගන්න.
- පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට ළූණු ටික දාලා ෆ්‍රයි වෙන්න දෙන්න. ඊලඟට බෙල්පෙපර් ටික එකතු කරගන්න.
- මේ ටික හොඳට තැම්බුනාම පෑන් එකෙන් ඉවත් කරන්න.
- ඒ පෑන් එකටම මැදින් කොටුවක් අයින් කරපු පාන් පෙත්තක් තියල හදාගත්ත බෙල්පෙපර් මිශ්‍රණයෙන් ටිකක් දාගන්න කොටුව පිරෙන්න.
- ඒක උඩට බීට් කරපු බිත්තර ටිකක් දාගෙන, ග්‍රේට් කරගත් මොසරැල්ලා චීස් දාගෙන, පාන් පෙත්තෙන් කපා ඉවත් කරගත් පාන් කොටුවෙන් වසාගෙන දෙපැත්ත ෆ්‍රයි කරගන්න.
4. මිනි කීශ්
අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් ෆිලින් එකට
- බටර් මේස හැඳි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් සුදුළූණු බික් 4
- කටු රහිත චිකන් ග්‍රෑම් 100
- චොප්කරගත් බෙල්පෙපර් කෝප්ප 1/2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1
- ලුණු
- අබ පේස්ට් මේස හැඳි 1
එග් ක්‍රීම් මික්ස්චර් එකට
- බිත්තර 2
- ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප 1
- ඔරිගානෝ තේ හැඳි 1/2
- ගම්මිරිස්කුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් සුදුළූණු තේ හැඳි 1
ඩෝ එකට
- පාන්පිටි ග්‍රෑම් 500
- බටර් ග්‍රෑම් 200
- ලුණු
- සීනි මේස හැඳි 2
- කිරි කෝප්ප 1/4
මුලින්ම චිකන් ෆිලින් එක හදමු.
- බටර් ටික පෑන් එකට දාලා දියවෙනකොට චොප්කරගත් ළූණු, සුදුළූණු ටික දාලා තෙම්පරාදු කරන්න.
- ඒකටම පොඩි කෑලි වලට කපාගත් චිකන් ටික එකතු කරලා වහලා තියන්න විනාඩි 2ක් වගේ.
- ටිකකින් බෙල්පෙපර්, ගම්මිරිස් කුඩු, ලුණු, අබ පේස්ට් දාලා ෆිලින් එක හදාගෙන නිවෙන්න තියන්න.
- එග් ක්‍රීම් මික්ස්චර් එකට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම එකට එකතු කරල හොඳට බීට් කරගන්න.
- ඩෝ එක හදාගන්න අවශ්‍ය ඔක්කොම එකතු කරලා හොඳින් අනල ඩෝ එකක් හදලා විනාඩි 30ක් වහලා තියන්න.
- පිටි ඉසගත් ලෑල්ලක ඩෝ එක තුනී කරලා රවුම් කපාගන්න.
- ඒ රවුම් මෆින් ට්‍රේ එකට දාගන්න වගේ සයිස් එකට කපාගන්න.
- දැන් කපාගත් රවුම් එකින් එක මෆින් ට්‍රේ එකට දාලා කප් එක වගේ හදාගන්න.
- ඇතුළ ගෑරුප්පුවකින් පොඩ්ඩක් ඇනලා හිල් කරන් සෙල්සියස් 180ට විනාඩි 5ක් වගේ බේක් කරගෙන එළියට ගන්න.
- ඉන්පසු හදාගත්තු චිකන් ෆිලින් එකෙන් ටික ටික දාගෙන උඩින් එග් ක්‍රීම් මික්ස්චර් එක දාගන්න. කැමති නම් ග්‍රේට් කරගත් චීස් ටිකකුත් දාගෙන180°C ට විනාඩි 20ක් බේක් කරගන්න.
5. ලොන්ඩ පතුරු
අවශ්‍ය ද්‍රව්‍ය
- පිටි ග්‍රෑම් 250
- සීනි මේස හැඳි 2
- බටර් මේස හැඳි 2
- බේකින් පව්ඩර් තේ හැඳි 1/2
- ලුණු පින්ච් එකක්
- මේ ඔක්කොම කලවම් කරලා වතුර ටික ටික දාගෙන අතේ නොඇලෙන ඩෝ එකක් හදාගන්න.
- මේකෙන් පොඩි බෝල කීපයක් හදලා පැයක් පිපෙන්න තියන්න.
- වෙනම පාන්පිටි ටිකකට තෙල් මේස හැන්දක් වගේ දාලා දියාරු පාප්ප ටිකක් හදාගන්න.
- දැන් හදාගත්ත බෝල රෝලින් පින් එකෙන් හතරැස්ව තුනී කරගන්න. මේ මතුපිට බ්‍රශ් එකකින් හදපු පාප්ප ගාගන්න.
- දැන් මේ කොටුවෙ එක පැත්තකින් තුනට නවන්න. (ලීෆ්ලට් එකක් වගේ) නවාගත්තම සෘජුකෝණාකාරව පේන මේ ඩෝ එක පොඩි තීරු වලට කපාගන්න. ඒ තීරු වෙන වෙනම දික් අතට තුනී කරලා ගැඹුරු තෙලේ බැදගන්න.
පැණිපත් සඳහා
- සීනි ග්‍රෑම් 100
- වතුර කෝප්ප 1/2ක්
- පැණිපත් සඳහා සීනි වලට වතුර එකතු කරල හොඳින් උණුවෙන්න දෙන්න. (සීනි දියවෙනකම් උණු උනාම ඇති).
- බැදගත් පතුරු පැණි එකට එකතු කරල කළවම් කරල නිවෙන්න තියන්න.
Leave a Reply