සල්ලි හම්බුකරලා, පෝසතෙක් වෙලා, සැප ජීවිතයක් ගත කරන්න හැමෝම වගේ ආසයි. ගොඩක් එය ඒ වෙනුවෙන් ඇප කැප වෙලා ක්රියා කරනවා. සල්ලි උපයනවා, ඉතිරි කරනවා, ආයෝජනය කරනවා වගේ වැඩ කරනවා. හැබැයි ලෝකයේ සමහරු මේ දේවල්වලට අමතරව සල්ලි තමන් ගාව වැඩියෙන් රැඳෙන්න කියලා අමුතු අමුතු විශ්වාසයන් මත පදනම් වුණු දේවල් කරන්න පෙළඹිලා ඉන්නවා. අපි අද කියන්නේ එහෙම දේවල් කීපයක් ගැන.
1. පර්ස් එක බිම නොතැබීම
තමන් මුදල් අරගෙන යන පසුම්බිය හෝ අත් බෑගය බිමින් තියන එක බොහොම අසුබ දෙයක් හැටියට සමහර රටවලදී සැළකෙනවා. මෙහෙම කරන එකෙන් අපි අමාරුවෙන් හම්බකරගන්න වටිනා සල්ලි වලට අගෞරවයක් සිද්ධ වීම නිසා, සල්ලි දොරෙන් එපිටට පළායනවා කියලයි ඒ උදවිය විශ්වාස කරන්නේ. අන්න ඒ නිසා සල්ලි වැඩිපුර රැඳෙන්න නම් පර්ස් එකට හැම වෙලේම නිසි ගෞරවය දෙන්න මේ අය ක්රියා කරනවා.
2. වැසිකිළි ආසනය වසා තැබීම
මේක ඇවිල්ලා ෆෙන්ග්ෂුයි විශ්වාසයක්. ෆෙන්ග්ෂුයි විශ්වාසවලදී ගෙදර වැසිකිළියට ඉතාම ඉහළ තැනක් හිමි වෙනවා. ඉතින් මේ විශ්වාසයට අනුව අපි කිසිම අවස්ථාවක (වැසිකිළිය පාවිච්චි කරන අවස්ථාව හැර) වැසිකිළියේ පියන විවෘතව තියන්න හොඳ නැතිලු. එහෙම වුණාම ගෙදර ධනය වැසිකිළි වලෙන් ඉවතට ඇදිල යන්න (සංකේතාත්මකව) හේතු වෙනවලු. මාරයි නේද?
3. සාක්කු, පර්ස් සහ බැංකු ගිනුම් හිස්ව නොතැබීම
කෙනෙක්ට පර්ස් එකක් තෑගි දෙද්දී හිස්ව නොදී කාසියක් හරි දාලා දෙන එක හුඟ දෙනෙක්ගේ පුරුද්දක්. ඒ වගේම සමහර රටවල අය අතර තියන විශ්වාසයක් තමයි කෙනෙක්ගේ සාක්කු, පර්ස් සහ බැංකු ගිනුම් හිස් වෙලා තියන එක අසුබය කියන එක. ඒ කියන්නේ අඩුම තරමේ බැංකු ගිනුමක අවම මුදලක් හරි, සාක්කුවක පර්ස් එකක කාසියක් හරි කොයි වෙලේත් තිබිය යුතුයි කියන එක. එහෙම තිබුණම මුදල් වාසනාව ඒ කෙනාගෙන් ඈත් වෙන්නෙ නැහැලු.
4. ඉර බැස්සාට පසු යම් යම් දේවල් පිටතට නොදීම
මේ විශ්වාසය ගොඩක්ම මුල් බැසගෙන තියෙන්නේ ඉන්දියාවේ තමයි. මේ වැඩෙන් අපිව කුණු ලෝබයෝ වගේ පේන්නත් ඉඩ තියනවා හැබැයි. මෙයාලගෙ විශ්වාසයට අනුව ඉර බැහැල ගියාට පස්සේ මුදල්, කිරි හෝ සීනි ගෙයින් පිටත කෙනෙක්ට දෙන්න හොඳ නැතිය කියන එක. ඒකෙන් වාසනාව තමන්ගෙන් ඈතට පළා යනවලු. ඉර බැහැලා ගියාට පස්සේ ගෙදර අතුපතු ගාන එකත් අසුබයි කියලයි සමහර ඉන්දියානුවෝ සලකන්නේ. එහෙම කළාම ධනයට අධිපති ලක්ෂ්මී දේවිය නිවසින් පළා යනවලු. ඒ වගේම ඉන්දියානුවන් අතර තියන තවත් විශ්වාසයක් තමයි කෙනෙක්ගේ අතින් අහම්බෙන් කාසියක් බිමට වැටුනොත් ඒකත් ඉතාම සුබය කියන එක.
5. සල්ලි අතේ තියාගෙන අවුරුද්ද ඇරඹීම
සල්ලි අතේ තියන් අවුරුද්දක් අරඹනවා කියල කියන්නෙ තැන්පත් ධනය ගැන නම් නෙමෙයි. වචනාර්ථයෙන්ම තමන්ගෙ අතේ සල්ලි ටිකක් තියාගෙන ඉන්න එකටයි. සමහර උදවිය අතර තියන මේ විශ්වාසයට අනුව අලුත් අවුරුද්දක් උදා වෙද්දී අපි සල්ලි නෝට්ටු කීපයක් හෝ සල්ලි මිටියක් අතේ තියාගෙන ඉන්න එක ඒ අවුරුද්දම සල්ලි ඉතිරෙන්න බලපානවලු. වැඩේ කියන්නෙ දැන්නම් අපිට මේ ක්රමේ ට්රයි කරලා බලන්න පරක්කු වැඩියි. ආයෙ 2021ට තමයි ට්රයි කරන්න වෙන්නේ.
6. කකුල් නොසෙලවීම
දැන් ඔය අපිත් දන්න ගොඩක් උදවිය පුරුදු වෙලා ඉන්නවනෙ ඉඳගෙන ඉන්න ගමන් කකුල් හොලවන්න. හැබැයි කොරියාවෙ උදවිය මේ විදිහට හැසිරෙන එකට දැඩි ලෙස විරුද්ධයි. මොකද ඒ අය විශ්වාස කරන්නේ පොහොසත්කමේ ශක්තිය ගැබ් වෙලා තියෙන්නේ කෙනෙක්ගේ කකුල් වල කියලයි. ඒ නිසා කකුල් හොල්ලද්දී ඒ ශක්තිය ගිලිහිලා ඉවතට යනවලු.
7. අත් වලින් පෝසත් වීම
අත්ල කසන එකෙන් මුදල් ගැන ඉඟි හම්බුවෙනවා කියල ඔයාලත් මේ වෙද්දි සමහරවිට අහල ඇති. සමහරු කියන්නේ වම් අල්ල කැසුවොත් සල්ලි හම්බුවෙන්න තියනවා සහ දකුණු අල්ල කැසුවොත් අපිට ලොකු මුදලක් අහිමි වෙන්න තියනවාය කියලයි. මේ කියන්නෙ හිතලා කසන එක ගැන නෙමෙයි, ස්වභාවිකවම අත්ලේ කැසිල්ලක් එන එක ගැනයි. මීට අමතරව තවත් සමහරු පිළිගන්න විශ්වාසයක් තමයි කෙනෙක්ගෙන් මුදල් ගනිද්දී වම් අතින් ගන්න සහ මුදලක් දෙද්දී දකුණු අතින් දෙන්න කියන එක. මෙහෙම කළාම මුදල් වාසනාව අපෙන් ගිලිහිලා යන්නෙ නැහැයි කියලයි ඒ අය විශ්වාස කරන්නේ.
Leave a Reply