සාමාන්‍යයෙන් අපි හැමෝම ඔය ජීවිතේ හැබෑ ආසාව ගැන කතා කරනවනේ. ඇත්තටම මේ කියන්නේ අපි ජීවිතේ කරන්න ආස කරන දේ ගැන. ඒ කිව්වේ සමහරු ආසයි කවි ලියන්න. සමහරු ආසයි උගන්නන්න. සමහරු ආසයි කේක් හදන්න. ඔන්න ඔය වගේ දේවල්. සමහර අය දන්නවා තමන්ගේ ජීවිතේ හැබෑ ආසාව මොකද්ද කියලා. ඒත් සමහරු දන්නෙ නෑ. දන්න අයගෙනුත් සමහරුන්ගේ රැකියාව වෙන්නේ මේ ආස කරන දේ. සමහරුන් එහෙම ප්‍රාර්ථනා කළත් එහෙම වෙලා නෑ. ඇත්තටම අපේ ජීවිතේ හැබෑ ආසාව හොයාගන්නේ කොහොමද?අන්න ඒ ගැන තමයි අපි කියලා දෙන්න යන්නේ…
1. මොකද්ද හැබෑටම මගේ ආසාව?
ගොඩක් දෙනෙක්ට, විශේෂයෙන්ම ඔය පාසැලෙන් අවුට් වුණු ගමන් වගේ අයට තියෙන දැවෙන ප්‍රශ්නය තමයි මේක. තමන්ගේ ජීවන ආසාව මොකද්ද, මම තෝරගන්න ඕන පාර මොකද්ද කියන එක. ඒ වගේම තමන්ට යන්න පාරක් තෝරගෙන ඒ පාරේ සෑහෙන දුරක් ආපු සමහරුත් ඔය ප්‍රශ්නය ගැන හිතනවා. හැබැයි එක්ස්පර්ට්ලා කියනවා සරල ප්‍රශ්න තුනක් තමන්ගෙන්ම අහලා, ඇත්තටම තමන්ගේ ජීවිතේ ආසාව හොයාගන්න පුළුවන් කියලා.
මට පොත් පන්සීයක් වුනත් ආසාවෙන් කියවන්න පුළුවන් මොනවා ගැනද?
මට සල්ලි නොලැබුණත් අවුරුදු පහක් එක දිගට ආසාවෙන් කරන්න පුළුවන් දේ මොකද්ද?
මට ඕනම දෙයක් කරන්න ඇති වෙන්න සල්ලි තිබුණොත්, මම ඇත්තටම ආසාවෙන් කරන්නේ මොනවද?
මෙතනදී මේ ප්‍රශ්න වලට එක උත්තරයක් නැතුව විවිධ උත්තර එන්න පුළුවන්. හැබැයි අපි හිතනවා දෙවෙනි ප්‍රශ්නේ තමයි හරිම ට්‍රික් එක තියෙන්නේ කියලා.
2. ජොබ් එක ජීවිතේ ආස දේම වෙන්න ඕනද?
ඇත්තටම එහෙම වෙන්න ඕන නැහැ කියලා තමයි එක්ස්පර්ට්ලා කියන්නේ. ඒ කියන්නේ අපි ආස දෙයක්, අපි දිගටම කරන්න කැමති වෙන දෙයක් තියෙනවා නම්, ඒකට සල්ලිත් හම්බුවෙනවා නම් ඒක තමන්ගේ ජොබ් එක වුනාට කමක් නෑ. හැබැයි ඒ ආස දේට අපි දක්ෂ නොවෙන්න පුළුවන්. ඒකට කමක් නෑ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ, එහෙම අවස්ථාවකදී ඒක අපේ ජොබ් එක වීම ගැටළුකාරී වීම. අන්න ඒ නිසා කරන්න පුළුවන් දේ තමයි ජොබ් එකක් තෝරගන්න කොට තමන්ගේ දක්ෂතාවය, මුදල් සම්බන්ධයෙන් තමන්ගේ තියෙන දැක්ම එක්ක සමපාත වීම වගේ කරුණු කාරණා එක්ක උඩින් කියපු දෙවෙනි ප්‍රශ්නයට යම් තාක් දුරකට හරි සම්බන්ධ වෙන විදියේ ජොබ් එකක් තෝරගන්න එක. ඉන් පස්සේ පුළුවන් විනෝදාංශයක් විදියට ජීවිතේ ආසා දේ කරන්න.
3. තමන්ගේ ජීවිතේ ආසාවක් වෙන්න පුළුවන් රස්සාවක්
මෙතනදී ඇත්තටම ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙන්නේ තමන් දක්ෂ මොනවාටද කියන එක. උදාහරණයක් විදියට කෙනෙක් චිත්‍රශිල්පියෙක් වෙන්න හීන මවනවා වෙන්න පුළුවන්. හැබැයි එයාට තියෙන්නේ බොහොම සාමාන්‍ය චිත්‍ර හැකියාවක් වෙන්න පුළුවන්. හැබැයි අපි කියමු එයාට හොඳ හාස්‍ය රසයක් සහ දේවල් වල අනික් පැත්ත දකින්න හැකියාවක් තියෙනවා කියලා. අන්න එතකොට එයාට බොහොම ලේසියෙන් පුළුවන් කාටුන් ශිල්පියෙක් වෙන්න. ඒක හොඳ රස්සාවක් නෙවෙයිද? අන්න ඒ වගේ අපි ඇත්තටම බලන්න ඕන අපිට තියෙන එක දක්ෂතාවයක් දිහාම නෙවෙයි. අඩු වැඩි වශයෙන් තියෙන දක්ෂතා එකතු කරලා වැඩක් ගන්නේ කොහොමද කියන එකයි හොයාගන්න ඕන. අන්න එතකොට ගොඩක් වෙලාවට තමන් ආස දේ වගේම දෙයක් ජොබ් එක බවට පත් කරගන්න පුළුවන්.
4. ජොබ් එක විදියට කරන්න වෙන පෙන්නන්න බැරි දේවල්
ඇත්තටම අපි දවසේ දහ දෙනෙක් එක්ක තමන්ගේ ජොබ් එක ගැන කතා කළොත්, තමන් ආසම කරන දේ කරන අය එතනින් එක්කෙනෙක්වත් නොඉඳින්න පුළුවන්. ඒත් අනිවාර්‍යයෙන්ම තමන් පොඩ්ඩක්වත් ආස නැති දෙයක් ජොබ් එක විදියට කරන්න වෙලා තියෙන එක්කෙනෙක් හෝ ඊට වැඩි පිරිසක් ඔය දහදෙනා අතර ඉන්නවාමයි. ඒකට හේතු තියෙනවා. සමහරුන්ට කරන්න වෙන්නේ තමන්ට ලැබෙන රස්සාව. තවත් සමහරුන්ට ඉගෙන ගන්න ලකුණු තිබ්බ ප්‍රමාණෙට අනුව මොකක් හරි ජොබ් එකකට යන්න වෙනවා. තවත් සමහරුන්ට ගෙවල් වලින් කියන දේ අහලා ආණ්ඩුවේ රස්සාවකට යන්න වෙනවා.
ඇත්තටම අපි ජොබ් එකක් තෝරගන්න කොට හිතලා බලන්න ඕන අනික් අය කරන අපි ආසම දේවල්. ඒ දේවල් අපිත් කරනවා නම් කොහොමද කියලා හිතලා බලන්න ඕන. ආන්න එතකොට අපිට කරන්න සෙට් වෙනම දේ ඔය ලිස්ට් එක ඇතුලේ හොයාගන්න බැරි වෙන එකක් නෑ.
5. හැබැයි රෝස මල් යහනා බලාපොරොත්තු වෙන්න එපා
මෙන්න මේක ඉතාම වැදගත්. අපි ගොඩක් වෙලාවට ජීවිතේ ආසාව වෙන ජොබ් එක දකින්නේ හරි රොමෑන්ටික් විදියට. ඒ කියන්නේ ඔය ඇඩ්වර්ටයිසින් නම්, අපිට පේන්නේ ලස්සන ඔෆිස් වල වෙනස් විදියේ ආටිස්ටික් වැඩ කරන වෙනස් විදියේ මිනිස්සු. අපි ආස ලේඛකයෙක් වෙන එක නම්, අපිට පේන්නේ එයා ටීවී ඉන්ටර්වීව් වල කතා කරන විදිය, කෝපි බිබී ලියන එකේ තියෙන මාර එක වගේ දේවල් තමයි. හැබැයි ඇත්ත කතාව ඇතුළේ ඔයිට වඩා දේවල් තියෙනවා කියන එක අපිට තේරුම් ගන්න වෙනවා. උදාහරණයක් විදියට කිවුවොත්, ඇඩ්වර්ටයිසින් වල ඔය විදියේ ආතල් ලස්සනක් තියෙනවා තමයි. හැබැයි ඒ වගේම තියෙනවා ඩෙඩ්ලයින්ස්, වැඩක් හරියන කල් ආයෙ ආයෙ කරන්න වෙන එක වගේ වාත වැඩ. ලේඛකයෙක් වෙන එකේ තියෙන රොමෑන්ටික් ගතිය එක්කම නිදිමරාගෙන වැඩ කරන්න වෙන රාත්තිරීන්, ලියපු එක ආයෙ ආයෙ කපමින් කොටමින් එඩිට් කරන එකේ තියෙන වෙහෙස වගේ වාත දේවලුත් තියෙනවා. වෙන ඕනම රැකියාවක් ගත්තත් එහෙමයි. අන්න ඒ නිසා තමන් කොයි තරම් සිහින මවන දෙයක් වුනත් යථාර්ථයේදී වෙනස් කියන එක ගැන සවිඥාණික වෙන්න ඕන.
6. හැබැයි එහෙම රොමෑන්ටික් බවක් නැත්තේ නෑ
අපි උඩින් කියලා තියෙන්නේ අපි ආස දේ මොකක් වුනත්, ඇත්ත ලෝකෙදී ඒක වාතයි කියන එක නම් නෙවෙයි. උදාහරණයක් විදියට ගත්තොත්, අපිට හීනයක් තියෙන්න පුළුවන් නර්ස් කෙනෙක් වෙන්න. අපි කරන්න ආස දේත් ඒකම තමයි. හැබැයි ඇත්තටම නර්ස් රස්සාව කරනකොට තමයි රඟේ තේරෙන්නේ. සතියට නයිට් දෙක තුන අදින්න වෙනකොට එහෙම මේක ඇත්තටම අපි ආස දේද, කරුමයක්ද කියලා හිතෙන්න ගන්නවා. හැබැයි ඇත්තටම නම් පැය විසිහතරක් වැඩ කරලා පුටුවකට වැටෙනකොටත් අපිට නර්ස් කෙනෙක් වීම ගැන සතුටක් දැනෙන්නේ නැද්ද? තමන් මෙච්චර මහන්සි වෙලා කරපු වැඩ කොටස ගැන ආස හිතෙන්නේ නැද්ද? ලේඛකයෙක් වෙන්න හීන දැකලා ලේඛකයෙක් වුණු කෙනෙක්ට, පොතක් ලියන ප්‍රොසෙස් එකේදී ලේඛක හීනේ එපා වෙන්න පුළුවන්. ඒත් අවසානේ ඒ දාඩිය මහන්සිය ඵල දරලා පොතක් එලියට එනකොට අර රොමෑන්ටික් හීන ඇත්තයි කියලා හිතෙන්නෙ නැද්ද?
7. පුංචි කාලේ හීන දැක්කේ කවුරු වෙන්නද?
පුංචි කාලේ අපි ලොකු වුනහම වෙන්න හීන දකින දේවල් දෙයාකාරයි. සමහර වෙලාවට ඔය කටට එනවට, ලොකු අය නිතර කියන ඒවා අල්ලගෙන පොඩි අය කියනවා ‘මට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕන’, ‘මට පයිලට් කෙනෙක් වෙන්න ඕන’ වගේ ඒවා. හැබැයි ඔය අතරේ තියෙනවා අපිට ඇත්තටම තියෙන, බොක්කෙන්ම දැනෙන හීන. සමහර වෙලාවට ඒ හීන ජොබ් වලට ආස වෙන්නේ ඒවල තියෙන පිට ඔපේට රැවටිලා වෙන්න පුළුවන්. ඒත් එව්වා ජීවිතේට වටිනවා. අන්න ඒ නිසා තමන්ගේ ඩ්‍රීම් ජොබ් එක හොයනකොට, තමන්ට පුංචි කාලෙදී ඕන වුණු දේ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න.
අන්තිමට කියන්න තියෙන්නේ මෙච්චරයි. තමන්ට ඩ්‍රීම් ජොබ් එක හරි, ඩ්‍රීම් ජොබ් එකට ලඟින් යන එකක් හරි තෝරගන්න පුළුවන් වුනා නම්, ඒක කරන්න තමන්ගේ තියෙන කුසලතා, දක්ෂතා, හැකියාවන් වැඩිදියුණු කරගන්න එක, මුවහත් කරගන්න එක කළ යුතුමයි. ආන්න එතකොට තමයි ඒ ඩ්‍රීම් ජොබ් එක හිසරද අඩු ලෙවල් එකකින් කරන්න, ඒ ඩ්‍රීම් ජොබ් එකේ ඉස්සරහට යන්න, ඩ්‍රීම් ජොබ් එකේ තියෙන රොමෑන්ස් එක විඳින්න පුළුවන් වෙන්නේ.
Leave a Reply