​ළඟ එන අවුරුද්දට ගෙදරදිම කැවිලි හදමු

ඉස්සර ඉඳන් අලුත් අවුරුද්දට අපේ අම්මලා ගෙවල් වලම තමයි කැවිලි ඔක්කොම හැදුවෙ. ඒත් දැන් තියන ජීවන රටාවත් එක්ක කට්ටියට ටයිම් නෑනේ. ඒ වගේම කුස්සියට ආධුනික අයටත් ඉතින් මේ කැවිලි වැඩේ පොඩ්ඩක් අවුල්නේ. ලේසිම ඔප්​ෂන් එක කඩෙන් ගෙනල්ලා මේසෙට තියන එක.මේ සැරේ ඒ වැඩේ නොකර ඔක්කොම ගෙදරදිම හදමුද? අපි කියලා දෙන්නම්. එහෙනම් පටන් ගමු!

 

1. කොණ්ඩෙ බැඳපු කොණ්ඩ කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි ග්‍රෑම් 500
  2. තම්බපු පාන්පිටි ග්‍රෑම් 200
  3. සීනි  ග්‍රෑම් 250
  4. පැණි බෝතල් 3/4
  5. පොල්කිරි කෝප්ප 1/2
  6. ලුණු
  7. බැදගැනීමට තෙල්

 

  • භාජනයක් ලිපේ තියලා පැණි, සීනි හා පොල්කිරි දාලා උණු කරගන්න. ලිපෙන් බාලා නිවෙන්න තියන්න.
  • මේකට වෙන වෙනම හලාගත්ත පාන්පිටි හා හාල්පිටි එකතු කරලා අනාගෙන පැය 8ක් වගේ වහලා තියන්න.
  • දැන් උණුවතුර කෝප්ප එකක් නිවෙන්න තියලා ඒකෙන් ටික ටික දාලා මිශ්‍රණය හදාගන්න. උකුමත් නැති දියාරුමත් නැති මිශ්‍රණයක් හදාගන්න. 
  • තෙල් තාච්චිය ලිපේ තියලා තෙල් හොඳ​ට රත් උනාම පිටි මිශ්‍රණයෙන් ටිකක් පොඩි උල් කටක් තියෙන කෝප්පෙකට දාගන්න. මේ කෝප්පෙ එක කැවුමකට ඇති වෙන සයිස් එකක් නම් ඔයාලට වැඩිය ලේසියි.
  • කෝප්පෙ උල් කට පැත්තෙන් තාච්චියේ අඩියට මිශ්‍රණය වක්කර ගන්න. ඒ වක්කරපු මිශ්‍රණය උඩට තෙල් හැන්දෙන් වටේ තියෙන තෙල් ඉසගන්න. වටෙන් මිශ්‍රණය තැම්බිලා මැද පිම්බෙන කොට ඉරට්ටක් අරගෙන කැවුමෙ මැද්දෙන් තියලා කරකවමින් තෙල් ඉහින්න. එතකොට පෙනෙයි කැවුමෙ කොණ්ඩෙ හැදිලා එනවා.
  • මේකට අත පොඩ්ඩක් හුරු වෙනකල් අමාරු වෙයි. ඒත් වැඩේ අතාරින්න එපා ඕන්.

 

 

2. කෝ අපිට කිස්, කොකිස් කන්න එන්ඩෝ

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි ග්‍රෑම් 250
  2. බිත්තර 1
  3. කහ තේ හැඳි 1/2
  4. මිටිකිරි කෝප්ප 2
  5. ලුණු
  6. ලියාගත් කරපිංචා ටිකක් කැමති නම්

 

  • මේ ඔක්කොම කලවම් කරලා මිටිකිරි දාලා උකු බැටර් එකක් හදාගන්න. ලුණු රස අනුව දාගන්න.
  • තෙල් තාච්චිය ලිපේ තියලා කොකිස් අච්චුව තාච්චිය ඇතු​ළෙ ටිකක් වෙලා තියලා රත් කරගන්න.
  • දැන් කොකිස් අච්චුව අරගෙන තෙල් ටිකක් ගසලා කොකිස් බැටර් එකේ සම්පූර්ණයෙන්ම ඇතුළට ඔබන්නෙ නැතුව අච්චුවේ උසෙන් 3/4ක් වගේ බැටර් එක තවර ගන්න. 
  • දැන් මේක තෙල් එකේ ඔබාගන්න. හැබැයි අඩියෙ ගෑවෙන්න දෙන්න එපා. එහෙම උනොත් කොකිස මුක්කන් වෙනව. 
  • කොකිස බැදීගෙන එනකොට ඉරටුවක් ​හෝ කූරක් ආධාරයෙන් කොකිස අච්චුවෙන් ගලවගන්න පුළුවන්. දැන් දෙපැත්ත හරවමින් බැදගෙන තෙල් බේරගන්න. කොකිස් අච්චු පදම් කරන්න අමාරු අයට නන්ස්ටික් අච්චු තියෙනවා දැන් වෙළඳපලේ. 

 

3. ආස්මී

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. බණ්ඩක්කා කරල් 10-15
  2. වතුර
  3. ලුණු
  4. මිටිකිරි කෝප්ප  2
  5. සුදු හාල් වතුරෙ විනාඩි 10ක් පොඟවලා, කොටලා, හලාගත්ත පිටි ග්‍රෑම් 500ක්

 

  • මුලින්ම හාල් පිටි ටික සිහින් හිල් සහිත පෙනේර​යකිනුත් ඕගන්දි වගේ රෙද්දකිනුත් දෙතුන් පාරකුත් හලාගන්න ඕන. අතින් ඇල්ලුවම ඇට ගතියක් නැති පවුඩර් වගේ සිහින් පිටි ඕන ආස්මි වලට. 
  • බණ්ඩක්කා කෑලි කපල යන්තම් වතුර ටිකක් දාලා වංගෙඩියෙ කොටාගන්න.
  • කොටාගත්ත බණ්ඩක්කා රෙදි කෑල්ලකට දාල මිරිකගෙන  සෙවල ඉස්ම ටික පෙරාගන්න.
  • පොල්කිරි වලට ලුණු ටිකක් දාගන්න.
  • හාල්පිටි වලින් පොඩ්ඩක් අයින් කරන් ඉතිරිය භාජනේකට දාල ඒකට පොල්කිරි එකතු කරල අනාගන්න. මේකට බණ්ඩක්කා ඉස්​ම ටික ටික දාලා අනාගන්න.
  • සැරෙන් සැරේ අත උස්සලා බලන්න නොකැඩී නූල වගේ වැටෙන පදමට ඇවිත්ද කියලා. දියාරු වැඩි උනොත් අයින් කරපු හාල් පිටි එකතු කරල පදම හදාගන්න.
  • තෙල් රත්වෙන්න තියාගන්න. ආස්මි හැන්දක් නැත්තන් අත මිශ්‍රණයේ කීපවරක් ඔබලා අරන් තාච්චිය වටේට රවුමක් විදිහට වක්කරගන්න. 
  • ආස්මිය බැදෙනකොට හොඳටම බැදෙන්න කලින් තෙලේ තියෙද්දිම තෙල් හැන්දෙන් දෙකට නවාගන්න. නවලා තද කරගන්න කැඩෙන්නෙ නැති වෙන්න. 
  • මේ ටික බැදගෙන, තෙල් බේරගෙන, හොඳට හුළං නොවදින්න භාජනයක අසුරලා තියන්න. අයෙ දවස් 4කින් වගේ දෙවෙනි පාරට බැදගන්න ඕනේ. එතකොට තමයි ආස්මිය සුදු පාටට ලස්සනට එන්නෙ. දෙවනි පාර වැඩි වෙලා බදින්න අවශ්‍ය නෑ. තෙලට දාපු ගමන් සුදු පාට උනාම අරගන්න. 

 

ආස්මියට පැණි දැමීමට

  1. සීනි ග්‍රෑම් 100
  2. වතුර
  3. ‍රතු කලරින්

 

  • සීනි හා වතුර එක්කරලා ලිපේ තියන්න. ඒක නූල් ඇදෙන පදමට ආවම කලරින් එකතු කරලා ආස්මි උඩින් රටාවට වක්කරගන්න.

 

 

4. මුං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. මුං ඇට ග්‍රෑම් 250
  2. සීනි ග්‍රෑම් 250
  3. හාල්පිටි ග්‍රෑම් 100
  4. පැණි බෝතල් 1/2

 

  • මුං ඇට ටික කබලෙ බැදලා කුඩු කරගන්න. භාජනයක් ලිපේ තියලා සීනි හා පැණි දාලා උණු කරගන්න.
  • මේකෙන් පැණි ටිකක් අයින් කරගන්න. ඉතිරි පැණි එක ටිකක් නිවෙන්න තියල හාල්පිටි හා මුං පිටි එකතු කරලා හැඳි ගාගන්න.
  • පිටි මදිනම් තව දාල, පැණි මදි නම් අයින් කරපු පැණි දාල අතේ නොඇලෙන පදමට හදාගන්න. දැන් පිටි ඉසගත් ලෑල්ලක තුනී කරලා කිරිබත් කෑලි හැඩයට පොඩියට කපාගන්න.

 

බැටර් එකට

 

  1. හාල්පිටි ග්‍රෑම් 100
  2. මිටිකිරි කෝප්ප 1
  3. කහ ස්වල්පයක්

 

  • මේ ටික කලවම් කරලා උකු බැටර් එකක් හදාගන්න. කපාගත් මුං කැවුම් කෑලි බැටර් එකේ දාලා, රත් වුණු තෙලේ බැදලා ගන්න.

 

5. අලුවා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල්පිටි ග්‍රෑම් 500
  2. පැණි බෝතල් 1/2
  3. සීනි ග්‍රෑම් 50
  4. කජු

 

  • හාල්පිටි කබලෙ බැදගන්න. ඒකෙන් ටිකක් අයින් කරගන්න. කජු පොඩියට කපලා පිටි එකට දාගන්න.
  • පොල්පැණි හා සීනි එකතු කරලා උණු කරගන්න. පදම හරියට ගන්න ඕනේ. ඒ කියන්නෙ පැණි බිංදුවක් වතුරට දැම්මම යට යන පදමට එන්න ඕනේ. 
  • දැන් මේ පැණි පොඩ්ඩක් නිවුනම ටික ටික පිටි වලට එකතු කරන්න. ලා තද ගතියක් එනකල් අනාගෙන පිටි ඉහපු තැටියක ඉක්මණින් තුනී කරල උඩින් තව පිටි ඉසගෙන කපාගන්න.

 

 

6. පැණි වලලු / උඳුවැල්

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. උඳු ඇට ග්‍රෑම් 250
  2. හාල්පිටි ග්‍රෑම් 100
  3. පාන්පිටි ග්‍රෑම් 50
  4. ඇඹුල් කෙසෙල් ගෙඩි 1
  5. ලුණු
  6. සීනි මේස හැඳි 1
  7. මිටිකිරි කෝප්ප 1/2

 

පැණිපත් කිරීමට

  1. පැණි බෝතල් 1/2

 

  • උඳු ඇට සෝදල රැයක් පෙඟෙන්න තියලා අරන් ඇඹුල් කෙසෙල් ගෙඩියක් දාලා, වතුර පොඩ්ඩක් දාලා අඹරගන්න.
  • මිශ්‍රණය පැයක් වගේ තියලා ලුණු හැර අනික් ඔක්කොම දාලා බැටර් එකක් හදාගන්න. මේක අවම පැය 5ක්වත් පිපෙන්න තියන්න ඕනේ.
  • පැය පහකට පස්සෙ ලුණු දාලා අනාගෙන පයිපින් බෑග් එකකින් හෝ පිරිසිදු රෙදි කෑල්ලක හිලක් හදලා රත් වුණු තෙලට රවුමට වගේ වක්කරන්න.
  • දැන් දෙපැත්ත හරවලා හොඳට බැදගන්න. 
  • පැණි ටික වෙනම භාජනේක ලා රස්නෙට රත් කරගෙන බැ​දපු වළලු ඒකට දාගෙන පැණි උරාගන්න තියන්න. 

 

7. අග්ගලා

අවශ්‍ය ද්‍රව්‍ය 

 

  1. හාල් ග්‍රෑම් 200
  2. සීනි ග්‍රෑම් 50
  3. සිහින්ව ගාගත් පොල් කෝප්ප  1
  4. කුඩුකරගත් එනසාල් ඇට ටිකක්
  5. ලුණු
  6. ගම්මිරිස්කුඩු
  7. පැණි බෝතල් 1/4

 

  • හාල් ටික පෙඟෙන්න තියල අරන් රන්වන් පාට වෙනකල් කබලේ බැදගන්න. දැන් මේක කුඩු කරගන්න. 
  • පැණි ටික රත් කරගෙන ඒකට  පොල්, එනසාල්, ලුණු, ගම්මිරිස්කුඩු එකතු කරලා ඒකටම කුඩු කරපු හාල් එකතු කරල අතේ නොඇලෙන පදමට ආවම ගුලි හදාගන්න.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *