බල්ලො පූසෝ විතරද හුරතලේට ඇති කරන්න පුළුවන්? ඒ ඇරෙන්න වෙන සත්තු ඇතිකරන්න බැරිද?

අපි ඇත්තටම ඇයි සතෙක්ව හුරතලේට ඇති කරන්නේ? හේතු තියෙනවා ඒකට. එකක් තමයි අපේ තනිකම, පාලුව හුරතල් සතෙක් නිසා නැතිවෙනවා. විශේෂයෙන්ම ඔය බල්ලෙක් බළලෙක් වගේ සතෙක් ක්‍රම ක්‍රමයෙන් පවුලේ සාමාජිකයෙක් බවට පත් වෙනවා. ඒ වගේම හුරතල් සත්තු නිසා අපේ ජීවිතේ තියෙන පීඩනය, සිත්තැවුල්, ආතතිය වගේ දේවලුත් දුරු වෙනවා. නිකමට ගිහින් මාළු ටැංකියක් ගාව ඉඳන් උන් දිහා බලාගෙන ඉන්න. එතකොට තේරෙයි ඒ කිව්ව කතාව ඇත්ත නෙවෙයිද කියලා. ඇත්තටම හුරතලේට මිනිස්සු ඇති කරන්නේ බල්ලො නැතිනම් පූසෝ. ඒ අතරේ තවත් ගොඩක් දෙනෙක් මාළු ඇති කරනවා. එතකොට හුරතලේට ගිරවු, පරවියෝ වගේ කුරුල්ලෝ ඇති කරන අයත් ඉන්නවා. ඒ ඇරෙන්න ගෘහාශ්‍රිතව ඔය හරක්, එළුවෝ එහෙමත් හැදෙනවා තමයි. සමහරුන්ගේ ගෙවල් වල මීමැසි පෙට්ටි එහෙමත් තියෙනවා තමයි. හැබැයි ඔය එකක්වත් හුරතල් සතුන් ගණයට වැටෙන්නෙ නෑ. ඒවා අයිතිවෙන්නේ කෘෂිකර්මයේ කොටසක් වෙන පශුපාලනයට.

හරි, ආයෙමත් හුරතල් සත්තුන්ගේ පැත්තට ගියොත්, අපිට ඇත්තටම හුරතලේට ඇතිකරන්න පුළුවන් බල්ලෝ, පූසෝ, කුරුල්ලෝ, මාළු විතරක් නෙවෙයි. තව සත්තු වර්ග ඉන්නවා. අන්න එහෙම වැඩිදෙනෙක් හුරතලේට ඇතිකරන්න කියලා හිතන්නෙ නැති සත්ව හුරතල්ලු කීප දෙනෙක් ගැන තමයි මේ කියන්න යන්නේ!

 

1. හාවෝ

හාවෙක් කියපු ගමන් අපේ ඔළුවට එන්නේ පැන පැන යන, නිහඬ, මාරම අහිංසක සතෙක්නේ. ඒක වැරදී කියලම කියන්න බෑ. හැබැයි ඉතින් හුරතලේට ඇතිකරන හාවෙක් හැම මොහොතකම එහෙම නෑ. විශේෂයෙන්ම පැටියා කාලේ ඉඳලා හැදිලා වැඩිලා තමන්ගේ අයිතිකාරයාට හොඳට හුරු වුනාට පස්සේ හාවෙක් පුදුමාකාර ආදරයක් දක්වනවා. එතකොට හැම වෙලේම පැන පැන යන්නෙත් නැති හාවෙක් ගොඩක් වෙලාවට මාරම කම්මැලියෙක් විදියට තමයි ඉන්නේ. හැබැයි දඟ වැඩත් එමට තියෙනවා. සාමාන්‍යයෙන් පුංචි ඉඩක වුනත් හාවෙක්ට හොඳ කූඩුවක් හදලා ඇතිකරන්න පුළුවන් වීම වාසියක්.

 

2. හැම්ස්ටර්

හැම්ස්ටර් කියන්නේත් කාලෙක තිස්සේ ඉඳලා ජනප්‍රිය සුරතල්ලු ජාතියක්. මේ අය ඇත්තටම කෘන්තක පවුලට, එහෙම නැතිනම් ලේසියෙන් කිවුවොත් මී පවුලට අයිති සත්තු ජාතියක්. හැබැයි අපි ගෙදර දකින මීයොන්ට වඩා ඉතාම ලේසියෙන් හුරු කරලා, හුරතල් සතෙක් විදියට හදා ගන්න පුළුවන්. මේ ගොල්ලෝ ටිකක් ගිනියා ඌරන්ට සමාන වුනත්, ඊට වඩා සෑහෙන්න පොඩියි. හැම්ස්ටර් සතෙකුත් හුරතලෙක් විදියට මාරම ආදරේ වෙන, සමහර වෙලාවට පිස්සු නටන සත්තු ජාතියක්. හැබැයි මේ අයව ඉතාම අඩු මිලකට මිලදී ගන්න පුළුවන් වගේම, අඩු ඉඩකඩක ඇති කරන්නත් පුළුවන්. ඒ වගේම නඩත්තුවට යන්නෙත් පොඩි වියදමක්. හැබැයි හැම්ස්ටර්ලා කම්මැලි සත්තු නෙවෙයි. අතිශයින්ම ක්‍රියාශීලීයි. ඒ නිසාම හැම්ස්ටර්ලා දෙන්නෙක් තුන්දෙනෙක් එකට හදන එකත් ප්‍රායෝගික නෑ. මරාගෙන තමයි ඉවර වෙන්නේ.

 

3. ඉබ්බෝ

ඉබ්බෝ කියන්නේ ඇත්තටම ඉස්සර ලංකාවේ හුරතලේට ඇතිකරන්න ආගන්තුක සතෙක් නෙවෙයි. හැබැයි එකක්. හැම ඉබ්බවම හුරතලේට ඇතිකරන්න නීතියෙන් අවසර නෑ. උදාහරණයක් විදියට කිව්වොත්, පාකර්ගේ ගල් ඉබ්බා, කිරි ඉබ්බා, තාරකා ඉබ්බා හෙවත් මාවර ඉබ්බා වගේ ඉබි විශේෂ හුරතලේට ඇතිකරන්න ගත්තොත් නඩු තමයි. හැබැයි අවුලක් නැතුව ඇතිකරන්න පුළුවන් ඉබ්බෝ හුරතල් සතුන් විකුණන්න ඉන්න තැන්වල තියෙනවා. ඉබ්බා කියන්නේ හෙමිහිට ගමනේ යෙදෙන කම්මැලි සතෙක් විදියට අපි දැක්කත්, ඇත්තටම ඉබ්බෙක් පුංචි අවකාශයක ඇති කරන්න බෑ. ඉබ්බගේ ප්‍රමාණයට සාපේක්ෂව සෑහෙන ලොකු ඉඩක් තියෙන්න ඕන. ඒ ඇරෙන්න පිරිසිදුකම පවත්වා ගන්න එකත් හරියට කරන්න පුළුවන් නම් ඉබ්බෙක් හුරතලෙක් විදියට මරු.

 

4. ගිනියා ඌරෝ

ගිනිපිග්ස් නැතිනම් ගිනියා ඌරෝ කිව්වට මුන් ඌරොත් නෙවෙයි, මුන් ඇවිත් තියෙන්නේ ගිනියාවෙනුත් නෙවෙයි. හැබැයි බොහොම සමාජශීලී ආදරණීය සුරතල්ලු විදියට මේ අය ලෝකේ පුරා ප්‍රසිද්ධයි. සාමාන්‍යයෙන් තමන්ගේ අයිතිකරුවාට බොහොම ආදරේ වෙන ගිනිපිග්ලා සුරතල්ලු විදියට හදනවා නම් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න වෙනවා. එකක් තමයි බොහොම ක්‍රියාශීලී සත්තු වෙන ගිනිපිග්ලාට දුවන්න කරන්න හොඳ ඉඩක් තියෙන්න ඕන. ඒ කියන්නේ ගිනි පිග් කොටුවක් අඩු තරමින් වර්ග මීටර් හතරක්වත් එක්කෙනෙක්ට තියෙන එකක් වෙන්න ඕන. ඒ වගේම ගිනි පිග්ලා සමාජශීලී නිසා තනියෙන් හදන එක හරියන්නෙ නෑ. දෙන්නෙක්වත් හදන්න ඕන. එතකොට උන්ට යන ඉඩත් ඒ වගේම විශාලයි. කන්න දෙන්න නම් ලොකු ගැටළුවක් නැත්තේ ගිනි පිග්ලා එළවළු, පළතුරු ආසාවෙන් කන නිසායි. හැබැයි අයිතිකාරයාගේ ආදරයත් ගිනි පිග්ලාට ඒ විදියටම අවශ්‍යයි.

 

5. ඌරෝ

ඌරෝ කියපු ගමන් අපේ අයියලාගේ කටට කෙළ උණනවනේ. හැබැයි ඇත්තටම ගොඩක් දෙනෙක් ඌරෝ ගැන හිතාගෙන ඉන්නේ වැරදියට. අනික ඌරෙක් හුරතලෙක් විදියට හදන්න කියලා කිවුව ගමන් ගොඩක් දෙනෙක් අප්පිරියාවෙන් හිතයි ඌරා මඩේ ලගින, අපිරිසිදු සතෙක් කියලා. හැබැයි ඇත්ත කතාව තමයි ඌරෝ ඉතාම පිරිසිදු සත්තු ජාතියක් කියන එක. උන් මඩේ ලගින්නේ ශරීරය සිසිල්ව තියාගන්න. හැබැයි කැත කුණු වල ලගින්නේ නෑ. ඒ ඇරෙන්න ඌරෝ අතිශයින්ම බුද්ධිමත්, අතිශයින්ම සමාජශීලී සත්තු කොටසක්. අන්න ඒ නිසා බල්ලෙක් වගේම බොහොම හොඳට පුහුණු කරන්න පුළුවන්, ගෙදර ඇතිකරන්න පුළුවන් සතෙක් තමයි ඌරෙක් කියන්නේ. ඇත්තටම හුරතල්ලු විදියට ඇතිකරන්න පුළුවන් පොඩි ප්‍රමාණේ ඌරෝ ඉන්නවා. හැබැයි උන්ව හදන එක බල්ලෙක්ව හදනවා වගේ තමයි. හරියට ඉඩ පහසුකම් ඕන, කන්න බොන්න හරියට දෙන්න ඕන වගේම උන් එක්ක කාලය ගත කරන්නත් ඕන. ඔය ඔක්කොම කරන්න පුළුවන් නම් ඌරෝ කියන්නේ හරිම අපූරු, ඥාණවන්ත සුරතල්ලු.

 

6. ගෙම්බෝ

ගෙම්බෝ ගැන සමාජේ තියෙන්නේ එකිනෙකට වෙනස් අදහස්. සමහරුන්ට නම් ගෙම්බෙක්ව දැක්කහම ඊයා වුනාට, තවත් සමහරු ගෙම්බන්ට කැමතියි. සමහර වෙන රටවල අයට එහෙම නම් ගෙම්බෙක්ව පේන්නේ කෑමක් විදියට. කොහොම වුනත් ගෙම්බෙක්ව සුරතල් සතෙක් විදියට ඇති කරනවා නම්, ඒක සාපේක්ෂව ලේසියි කියලා කියන්න පුළුවන්. ඒ වගේම ලොකු වියදමක් යන්නෙත් නෑ. සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් ජීවත් වෙන්නත් පුළුවන්. හැබැයි කැලෙන් අල්ලගත්තු ගෙම්බෙක්ව හදාගන්න ගන්න එක සාර්ථක වැඩක් නෙවෙයි, ඒක අනතුරුදායක වෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් ඔය ගෘහාශ්‍රිත ගෙම්බෙක්ව නම් අවුලක් නෑ. හැබැයි ඉතින් හදනව වගේ නෙවෙයි, ඌට ප්‍රමාණවත් ඉඩක් තියෙන තැනක් තියෙන්න ඕන. ඌට කෑම සප්ලයි කරන්නත් ඕන. හැබැයි ගෙම්බෙක්ව සුරතලෙක් විදියට හදන එකේ අමුතු අලංකාරයක් තියෙනවා කියන එක අමතක කරන්න බෑ!

 

7. කටුස්සෝ

සාමාන්‍යයෙන් කටුස්සෝ දකින්න ලැබෙන්නේ වනාන්තර වල විතරක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගස් කොළං තියෙන ගෙවත්තක නම් එළියට බැහැලා බැලුවොත් කටුස්සෝ දෙන්නෙක් තුන්දෙනෙක්වත් හොයාගන්න පුළුවන්. උන් අපිට ඒ තරමටම බයකුත් නෑ. ඒත් ගොඩක් ලං වුනොත් පැනලා දුවනවා. හැබැයි කටුස්සෙක් සුරතලෙක් විදියට ඇති කරනවා කියන්නේ වෙනම වැඩක්. සුරතලෙක් විදියට ඇතිකරන්න හොඳම කටුස්සෝ කියලා කියන්නේ Bearded dragons කියන වර්ගය. මේ කටුස්සන්ව ගත්තට පස්සේ ඇතිකරන එකට අඩු වියදමක් තමයි යන්නේ, වෙනත් සත්ව සුරතලෙක්ට සාපේක්ෂව ගත්තහම. හැබැයි කටුස්සෙක්ව වුනත්, බෝදිලිමෙක්ව වුනත් සුරතල් සතෙක් විදියට හදනවා නම් හොඳ ඉඩක් තියෙන්න ඕන. විශාල ප්‍රමාණයේ ටැංකියක එයාගේ ස්වභාවික පරිසරය නිර්මාණය කරන්න පුළුවන් නම් සුපිරි. කොහොමත් සුරතලේට කටුස්සෙක්, බෝදිලිමෙක් හදනවා කියන්නෙත් ආකර්ෂණීය වැඩක් තමයි!

 

මේ ඇරෙන්න ඉතින් පිඹුරෝ, ඉත්තෑවෝ, දඬු ලේන්නු, මුවෝ, ගෝන්නු වගේ සත්තුන්ව වුනත් සමහරු හුරතලේට ඇති කරන්න හිතයි. හැබැයි මතක තියාගන්න ඕන මේ වගේ සත්තුන්ව ඇති කරන එක වනජීවී දෙපාර්තමේන්තුවෙන් නඩු දාන්න තරමටම නීතියෙන් වරදක් බව. වෙන එකක් තියා, අපි හාවෝ හුරතලේට ඇතිකරන එක ගැන කිව්වට, ඇත්තටම ඒ කිව්වේ හුරතල් සතුන් විකුණන තැන්වල ඉන්න රට හාවෝ ගැන. ලෝකල් හාවෝ ඇතිකරන්න ගියොත් ඒත් වනජීවී එකෙන් කේස්. අන්න ඒ ටිකත් මතක තියාගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *