චරිත 7කින් උලපනේ ගුණසේකර අපට සමීප වූ හැටි

හඬකවපු කාටූන් අපි ඉස්සර තමයි පැල් බැඳගෙන බැලුවේ. එහෙම බලද්දී වැටෙන නාමාවලිය ගැන අපි අවධානයක් යොමු කරා ද? එහෙම කරා නම් හඬකැවීම් ශිල්පීන්ගේ ලැයිස්තුවේ පෙනුණ නමක් තමයි උලපනේ ගුණසේකර. දෙයියො දුන්නු අපූරු කටහඬකින් දරු පරම්පරාවකටම ආසා හිතෙන ළමා කාලයක් දුන්නු ඒ නමේ අයිතිකාරයා පහුගිය දවසක ජීවිතයෙන් සමු ගන්නවා. නමුත් ඒ මතක අපට තවම ඇහෙනවා. මේ එහෙම ඇහුණු මතක කීපයක් සහ බලපු මතකයක්.



1. වෙද පප්පා


උලපනේ ගුණසේකරගේ අනෙකුත් හඬ කැවීම් මොන තරම් දක්ෂ වපසරියක තිබුණත් මේ තරමට ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගන්න බැරි වුණා ඔය එකකටවත්. ඒ කාටූන් චරිතයට ඒ හඬ හරියටම ගැලපුණා. ජිම් පප්පට කිසිම විදියකින් අරිෂ්ට පොවන්න ලෑස්ති නැති හඬ, ආතල් එකේ අරිෂ්ට හොයන්න අඩුම කුඩුම හොයන්න කැලේට යනකොට තියෙන හඬ, ඒ මදිවට පිස්සුත් හැදුණම එන හඬ, බය හිතුණම, තරහා ගියාම මේ ඔක්කෝම ඒ සිද්ධිත් එක්ක මතකයේ රැඳෙනවා නම් එහෙම වුණේ ඒ දෙබස්වලට මේ හඬ ගැලපුණ නිසයි. 



2. ඒකදත්ත


රූපවාහිනියේ ගියපු මහාකාබාසිනියා රජතුමාගේ කතාව පංකාදු කතාවක්. ඒකේ මේ කාබාසිනියාගේ පුරෝහිත ධුරය දැරුවේ ඒකදත්ත. ඒකදත්ත කොයි වෙලෙත් කාබාසිනියාගෙන් බැනුම් අහනවා. හැබැයි ඉතින් කරන තරමක් නසරාණි වැඩවලට ඒකදත්ත තමයි උපදේශන සේවා සපයන්නේ. එහෙම චරිතයකට, ඒ කිව්වේ වයසක කල්ල කපටි ඒත් බයාදු වගේ ම අමනුස්ස ෆෘට් සැලඩ් එකක් වගේ චරිතයකට අවශ්‍ය කරන ඒ හඬමුසුවත් ගාණටම තිබ්බා.



3. මාස්ටර්


බලන්න ඒ චරිතවල තියන විවිධත්වය. දැන් මේ හඬකවන්නේ මනුස්සවත් නොවන චරිතයකට. පත ඌරු මීයෙකුට. අපි රජ ඉබ්බෝ කාටුන් මාලාවේ ඉබ්බොන්ගේ මාස්ටර් තමයි ඒ. එහෙම මාස්ටර් කෙනෙක්ට තියන ශික්ෂණය, කාරුණික බව වගේ ම ඉබ්බෝ ටික නාහෙට අහන්නේ නැතුව වැඩ කරනකොට චුට්ටක් සැර වැර කරන එක මේ හැම දෙයක් ම ගාණට මිම්මට. 



4. මහතුං අයියා


මණ්ඩුක භවනත් සූර පප්පා වගේ ම හඬකැවීම අතින් ඉහළින් ම හිටපු කතාවක් නේ. ඒකේ ප්‍රධාන චරිතය මණ්ඩුක වුණාට ඒකේ අනෙක් සුළු චරිතවලිනුත් වුණේ ස්වල්ප කාරණාවක් ද? මහතුං අයියගේ හඬට ආයෙත් අර සුපුරුදු හඬ චරිතයත් එක්ක මිශ්‍ර වෙනකොට ඒක කලින් චරිතවලින් සියුම් විදියට වෙනස් වෙනවා. ඒ කතාවේ චරිතය එක්ක එකම මනුස්සයා හඬ වෙනස් කරනවා සුළු වශයෙන් හරි. ඒක මැජික් එකක්.



5. වලස් රාල


පැංචා, අනේ ඒකත් පොඩි කාලයට අයිති ලස්සනම ලස්සන කතාවක්නේ. ඒකේ කතා නායක පැංචා ජීවත් වෙන්නේ එයාගේ තාත්තා එක්ක. ඒ කියන්නේ වලස් රාල, දැනුම් තේරුම් ඇති ලොකු ම ලොකු ඒත් ආදරණීය තාත්තා කෙනෙක්. එතකොට ඒ වෙන් වෙන් වශයෙන් කියපු දේවල් ඔක්කොම ඒ තාත්තාගේ තියන බව අපි දැනගන්නේ කටහඬේ වෙන වෙනස්කම්වලින්. 



6. වෙද මාමා


වෙද පප්පාගෙන් වෙද මාමාට නෙවේ ඉස්සෙල්ලම වුණේ වෙද මාමාගෙන් වෙද පප්පට ගියපු එක. මේක කාටුන් එකක් නෙව්‍රෙ ගුවන්විදුලි නාට්‍යයක්. ඒ කියන්නේ අපේ වැඩිහිටි පරම්පරාව අත්විඳපු දෙයක්. මුවන්පැලැස්ස කියන ගුවන්විදුලි නාට්‍යයේ වෙද මාමාගේ චරිතයට හඬකැවීමත් ඔහු තමයි කරලා තියෙන්නේ. එතකොට මොකෝ රූපයක් පේනවද. තනිකර වැඩේ හඬනළුවගේ අතේ.



7. කූඹියෝ කතා මාලාවේ චරිතය


මෑතකාලීනව ඔහුව දැකගන්න ලැබුණේ කූඹියෝ කතා මාලාවේ සුළු චරිතයකට කළ දායකත්වයෙන්. අර කලින් කියාපු හැම කාටුන් චරිතයකටම ආදරය කරපු පරම්පරාව කූඹියෝ බැලුවේ ඇත්තටම මේ ඒ හඬකැවීම් ශිල්පියා බව දැන නොදැන ද කියන ප්‍රශ්නය නම් තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *