අපට අමතකව ගිය බෞද්ධ පැවිදි පඬිවරු – දෙවැනි කොටස

මීට මාස කීපයකට කලින් Lifie අපි, අපේ රටේ බුද්ධ ශාසනයට සහ බෞද්ධ අධ්‍යාපනයට සුවිශාල සේවයක් කරපු භික්ෂූන් වහන්සේලා කීප නමක් පිළිබඳව සටහනක් තැබුවා. නමුත් අවාසනාවකට වගේ එම ලිපියට ඔබෙන් එතරම් හොඳ ප්‍රතිචාරයක් ලැබිලා තිබ්බේ නැහැ. ඒ දේ අපි සඳහන් කරන්නේ අපි පළ කරන ඇතැම් විනෝදාත්මක ආටිකල්වලට “මේ ඕපදූප නැතුව අපිට ඉගෙන ගන්න දෙයක් ලියන්න” කියලත් කමෙන්‍ට් වැටෙන පසුබිමක. මේ නිසා අපි හිතුවා පළවෙනි ආටිකල් එකට ඒ තරම්ම හොඳ ප්‍රතිචාර ලැබිලා තිබ්බේ නැතත් දෙවැනි ආටිකල් එහෙකුත් ලියලා ඔබෙන් ලැබෙන ප්‍රතිචාර බලන්න. ඒ ප්‍රතිචාර උඩ මේ ආටිකල් එකේ තෙවැනි කොටසක් ලියවීම හෝ මේ මාතෘකාව යටතේ ලියවෙන දෙවැනි සහ අවසාන ආටිකල් එක බවට මේ ආටිකල් එක පත්වීම සිද්ධ වේවි.

අපට අමතකව ගිය බෞද්ධ පැවිදි පඬිවරු පළමු කොටස මෙතනින් කියවන්​න

 

1. මොරටුවේ සාසනරතන හිමි

 

මහායාන බුද්ධාගම අධ්‍යයනය කිරීම නැවත ආරම්භ කරන්න පුරෝගාමී වුණු භික්ෂූන් වහන්සේ විදිහට මොරටුවේ සාසනරතන හාමුදුරුවන්ව සඳහන් කරන්න පුළුවන්. උන්වහන්සේ ලියූ “ලංකාවේ මහායාන අදහස්” නම් ග්‍රන්ථයට සමාන කරන්න පුළුවන් මහායානය පිළිබඳව සිංහලෙන් ලියවුණු වෙනත් පොතක් නෑ කිව්වොත් නිවැරදියි. මීට අමතරව උන්වහන්සේ විසින් මහායාන බුද්ධාගම පිළිබඳව විවිධ පොත්පත් රාශියක් රචනා කළා. නමුත් අවාසනාවකට වගේ මේ බොහොමයක් කෘති අද වෙනකොට මුද්‍රණයේ නැහැ.

 

2. බෙන්තොට අත්ථදස්සි හිමි 

අපි කලින් ආටිකල් එකේදී සඳහන් කරපු යාත්‍රා මුල්ලේ ධම්මාරාම හාමුදුරුවන්ගෙන් ගුරු හාමුදුරුවෝ වුණේ මුන්වහන්සේ. කරතොට ධම්මාරාම හාමුදුරුවන්ගෙ ශිෂ්‍ය පරම්පරාවෙන් පැවතගෙන ආපු බෙන්තොට හාමුදුරුවෝ විශිෂ්ට ගෝල පරම්පරාවක් බිහි කළා. පොතුවිල ඉන්ද්‍රජෝති හාමුදුරුවෝ, රාමඤ්ඤ නිකාය ආරම්භ කරපු අඹගහපිටියේ හාමුදුරුවෝ වගේම අමරපුර නිකාය බබළවපු වැලිගම සුමංගල හාමුදුරුවෝ උන්වහන්සේ ගේ ප්‍රධාන ගෝලයන් විදිහට සලකන්න පුළුවන්. කෝට්ටේ ශ්‍රී කල්‍යාණි ධර්ම සභාව ආරම්භ කරන්නේත් බෙන්තොට හාමුදුරුවෝ ඇති කරපු අධිමාස වාදය නිසා. ඒ  වගේම උන්වහන්සේ මිෂනාරීන්ගේ බෞද්ධ විරෝධී පොත පතවලට එරෙහිව “ක්‍රිස්තියානි ප්‍රඥප්තියට පිළිතුරක්” නමින් කෘතියකුත් රචනා කළා.

 

3. වැලිගම සුමංගල හිමි 

හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ සමග පාණ්ඩිත්වයෙන් තරග කිරීමට සමත් වුණු එකම භික්ෂූන් වහන්සේ විදිහට වැලිගම සුමංගල හිමියන්ව සැලකෙනවා. ඒ වගේම උන්වහන්සේ බෞද්ධ පාසල් ආරම්භ කරන්න පුරෝගාමී වුණු භික්ෂුන් වහන්සේ නමක්. බටහිර රටවල බොහෝ උගතුන් උන්වහන්සේ සමඟ ලිපි ගනුදෙනු සිදු කරනු ලැබුවා. උන්වහන්සේ විසින් රචනා කළ කරනු ලැබූ “ඉතිහාසය” ග්‍රන්ථය නිසා ලංකාව තුළ  මහත් ආන්දෝලනයක් ඇති වුණා. එසේ ම උන්වහන්සේ විසින් “හිතෝපදේශය” සඳහා විශිෂ්ට ගණයේ සන්නයකුත් “සිද්ධාන්තශේඛර” නම් සංස්කෘත ව්‍යාකරණ ග්‍රන්ථයට ව්‍යාඛ්‍යානයකුත් රචනා කරනු ලැබුවා.

 

4. යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හිමි 

බොහෝ දෙනා යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් ලියූ කෘතීන් විදිහට දන්නේ “වනකතා” පොත් දෙක පමණයි. නමුත් උන් වහන්සේ ලංකාවේ පහළ වුණු දුර්ලභ ගණයේ පඬිරුවනක් බව දන්නා පිරිස ඉතාමත් අල්පයක්. උන්වහන්සේ ජීවමානව වැඩ සිටි කාලයේ ලංකාවේ සිටි අද්විතීය සංස්කෘත උගතා ලෙස උන් වහන්සේව සැලකුවත් උන්වහන්සේ ප්‍රකාශ කළේ තමන් වහන්සේ වඩා දක්ෂ සංස්කෘත භාෂාවට නොව පාලි භාෂාවට කියලා.”භක්ති ගීත” වැනි කාව්‍ය ග්‍රන්ථ රචනා කළ උන් වහන්සේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ඇතැම් අදහස නිර්දය ලෙස විවේචනය කරමින් “බවතරණ මග” සහ “බුද්ධ චරිතය” , “ගුත්තිල විචාර” වැනි කෘතී රචනා කරනු ලැබුවා.

 

5. පොල්වත්තේ බුද්ධදත්ත හිමි 

ලංකාවේ පාලි භාෂාව හැදෑරීම සරල කිරීමේ ගෞරවය හිමි වන්නේ පොල්වත්තේ බුද්ධදත්ත හිමියන්ට. ඒ උන්වහන්සේ “පාලි භාෂාව තරණය” නම් කෘති පෙළ රචනා කිරීම නිසා. ඒ වගේම කුඩා කාලයේ බුරුමයේ ඉගෙනුම ලැබූ උන්වහන්සේ මෙරටින් සොයාගැනීමට නොහැකිව තිබූ “සීහලවත්ථු ප්‍රකරණය”, “සහස්සවත්ථුප්පකරණය” වැනි කෘති නැවතත් මෙරටට හඳුන්වාදීමටත් කටයුතු කළා. ඒ වගේම ලංකාවේ මහාවංශයේ අඩංගුව නොතිබූ බොහෝ දෑ අඩංගු කාම්බෝජ මහාවංශය ලංකාවට හඳුන්වාදීමේ ගෞරවය හිමිවන්නේ ද උන්වහන්සේටයි.

 

6. හොරණ වජිරඥාන හිමි 

හොරණ ප්‍රදේශය තමන්ගේ ඡන්ද බිම කරගත්ත වජිරඥාන හාමුදුරුවන්ගේ ජයභූමිය වුණෙත් හොරණ ප්‍රදේශයමයි, ඒ හොරණ විද්‍යාරත්න පිරිවෙන. උන්වහන්සේ හුදෙක් පිරිවෙන දියුණු කරනවාට සීමා නොවී ප්‍රදේශයේ බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනය ඉහළ නංවන්නට කටයුතු කළා. ඒ වගේම සාහිත්‍යය මණ්ඩලය වගේ තැන් වලට තමන්ගේ සේවය සලසලා රට තුළ සාහිත්‍ය ප්‍රබෝධය ඇති කරන්න කටයුතු කළා. “සිංහල සාහිත්‍ය ප්‍රදීපිකා, විනය සාහිත්‍යය, රයිගම්පුර ඉතිහාසය” මේ උන්වහන්සේ විසින් රචනා කළ කෘති අතරින් කීපයක්.

 

7. පැලෑණේ වජිරඥාන හිමි 

වජිරඥාන හාමුදුරුවෝ ලංකාවේ අලුත්ම භික්ෂු සම්ප්‍රදායක් ඇති කරන්න මුල පුරපු මහා යතිවරයාණන්වහන්සේ නමක්. උන්වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේලා වන මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ, නාරද හාමුදුරුවෝ වගේම පසුගියදා අපවත් වී වදාළ අම්පිටියේ රාහුල හාමුදුරුවෝ මේ සම්ප්‍රදාය ඉදිරියට ගෙන ගියා. බොහෝ භික්ෂූන්වහන්සේලා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට යොමු වීම රැල්ලක් වගේ පැතිරිලා ගිය කාලෙක මේ රැල්ලට ප්‍රතිවිරුද්ධ අත පීනමින් නැවතත් පන්සල තුළ භික්ෂූන් වහන්සේලාට ගැළපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට උන් වහන්සේ මුල පිරුවා.

 

එහෙමනම් ඉතින් අපි මුලින් සදහන් කළා වගේම ඔබේ ප්‍රතිචාර මේ ලිපිය වෙනුවෙනුත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන ගමන් ආටිකල් එකත් කැමතිනම් ෂෙයාර් කරන්න.

Leave a Reply

Your email address will not be published.