2020 වසරේ මේ තාක් ලොව බලවත්ම කාන්තාවෝ

2020ත් මාස තුනක් ගත වෙලා. මේ අවුරුද්දට තියෙන කාන්තා දිනයත් පහු වෙලා. මීට අවුරුදු ගණනකට පෙර කාන්තාව කියන්නේ සමාජයේ හිටපු අන්තිම නොවැදගත් චරිතයක්. නමුත් දැන් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස්. ලෝක බලවතුන් අතරත් සිටින්නේ බොහෝ කාන්තා චරිත. මේ විදියට විශේෂයෙන් කාන්තා චරිත අවධාරණය කෙරෙන්නේ අර පැවතිච්ච සමාජ ක්‍රමයේ අමිහිරි මතකවලට උත්තරයක් විදියට. ඉතින් මේ වන විට ලොව විවිධ ක්ෂේත්‍රවල බලවත් කාන්තා චරිත කීපයක් පිළිබඳ කතා කරන්න අපි හිතුවා. 



1. ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ


ඇමරිකානු මහ මැතිවරණයේ දී නිව්යෝක් ආසනය වෙනුවෙන් ඇය ජෝෂප් ක්‍රොවෙල් පරදා 57%ක ඡන්ද ප්‍රතිශතයකින් තමන්ගේ ජයග්‍රහණය සනිටුහන් කරනවා. ඒක විශේෂ වෙන්නේ ජෝෂප් ක්‍රොවෙල් කියන්නේ කවුද කියලා දැනගත්තොත් තමයි. ජෝෂප් කියන්නේ දේශපාලන ලොව පතාක යෝධයෙක්. ඩිමොක්‍රටික් පක්ෂ ධුරාවලියේ හතර වෙනියා. මීළඟ පාර්ලිමේන්තු කතානායක වෙයි කියලා පවා කතා තිබුණා. දේශපාලනයට අලුත් වගේ ම තරුණ ඇලෙක්සැන්ඩ්‍රියා ඔහුව පරාජයට පත් කරනවා. කොන්ග්‍රසයට තේරුණ ලාබාලම තැනැත්තිය. ඇයට ජෝෂප් එක්ක බලද්දී ඡන්දයට වියදම් කරන්න මහා ලොකු සල්ලියක් තිබුණේ නෑ. නමුත් මිනිස්සු හම්බ කිරීමේ දක්ෂකම ඈ සතුව තිබුණා. කයිවාරුවලට සීමා නොවී මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් සමඟම ඇය පාරට බහිනවා. කිව යුතු දෙයක් වෙත් නම් කෙලින් ම කියනවා. ඇලෙක්සැන්ඩ්‍රියා එක්ක තර්ක කරන්න අයෙක් හිතන් ඉන්නවා නම් ඒ ඇලෙක්සැන්ඩ්‍රියාගේ ම යටි හිත වෙන්න ඕනි. ඇය අද එතරම් බලවත්.



2. ෂෙරිල් සෑන්ඩ්බර්ග්


බුකිය ගැන කිව්වොත් අපි දන්නේ සකර්බර්ග් ගැන විතරයි. සකර්බර්ග් ඒක හැදුවා හරි. නමුත් ඕක පවත්වාගෙන යන එක එයාට තනියම කරන්න බෑ. ඉතින් එතන වෙන ම පරිපාලනයක් වෙනවා. සමහරවිට හොඳ ම වැඩ්ඩෝ ඉන්නේ එතන. ෂෙරිල් එහෙම කෙනෙක්. ෆේස්බුක් ජාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනිය ඇයයි. ෆේස්බුක් මිලියන ගණනින් පාඩු ලැබූ අවස්ථාවල ඇගේ තීරණ නිසා ලෝකයෙන් තුරන් නොවී පවතින්නට බුකියට හැකි වුණා. කුඩා ව්‍යාපාර සඳහා ඇඩ්වර්ටයිසින් කරන්න ෆේස්බුක් එක භාවිත කිරීමට ඉඩ ලබා දීමත් ඇගේ අදහසක්. ඇය ෆෝබ්ස් සඟරාවේ බිලියනපතියන්ගේ ලැයිස්තුවට පවා ඇතුල් වෙලා තියනවා.

 


3. කයිලී ජෙනර්


ෆෝබ්ස් සඟරාවට අනුව ලොව තනිව ගොඩ නැගුණු ලාබාලතම කෝටිපතිනිය තමයි කයිලී. ඇය වරක් සකර්බර්ග්ගේ සියලු වාර්තා බිඳ දමනවා. ඇයට මේ තරම් ධනයක් උරුම කර දෙන්නේ සිය රූපලාවණ්‍ය නිෂ්පාදන ව්‍යාපාරය. 2019 වසරෙදී ඇගේ ව්‍යාපාරය ඇමරිකානු ඩොලර් මිලියන 900ක අගයක් ගන්නවා. ඒ අංශයට අමතරව සමාජ ජාලා පරිහරණය කරන අයිකන් එකක් විදියටත් ඈ බලසම්පන්නයි. 



4. ග්‍රේටා තන්බර්ග්


අවුරුදු 17දී ටයිම් සඟරාවට අනුව වසරේ පුද්ගලයා වීම නම් ඇත්තෙන් ම සෑහෙන ලොකු දෙයක්. ස්වීඩනයේ ග්‍රේටා ලෝකයටම බලපෑමක් කරන චරිතයක් බවට පත් වෙන්නේ දේශගුණික විපර්‍යාසවලට ඇය හඬ නැගූ ආකාරය නිසයි. අවසානයේ ඇය නතර වෙන්නේ එක්සත් ජාතීන්ගේ කාලගුණ ක්‍රියාකාරී සමුළුවේ දී. එහි දී ඇය කළ කතාව ලොව සිදු කළ විස්මයජනක ම කතා අතුරින් එකක් බවට පත් වෙනවා. වගකිවයුතු සියලු පාර්ශ්වවලට කිසිම බියකින් තොරව දෝෂාරෝපණය කළ මේ පුංචි කෙල්ල එවක් පටන් පරිසරය වෙනුවෙන් පෙනී සිටින ගෝලීය චරිතයක් බවට පත් වෙනවා. 



5. සෙරීනා විලියම්ස්


ජවසම්පන්න ටෙනිස් ක්‍රීඩිකාවක වන සෙරීනා මේ වනකොට ග්‍රෑන්ඩ් ස්ලෑම් 23කුත් ඔලිම්පික් පදක්කම් 4කුත් දිනාගෙන ඉන්නවා. ගැහැනු පිරිමි භේදයකින් තොරව ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ගණනකට හිමිකම් කියන්නේ ඇයයි. ඇය ක්‍රීඩා කරන විලාසය නිසා ම කාන්තා ටෙනිස් ක්‍රීඩාව විප්ලවයකට හසු කළ තැනැත්තිය ලෙසින් සෙරීනාව හඳුන්වනවා. ඇයගේ සොයුරිය වීනස් විලියම්ස් ද ටෙනිස් ක්‍රීඩිකාවක වීම විශේෂත්වයක්.

 


6. රියානා


ලොව ධනවත්ම ගායිකාව ඇයයි. ඇයගේ ජනප්‍රියත්වය 2000 වසරේ ඇරඹුණා. එවක් පටන් සංගීත තරුවක් විදියට අපේ රටේ පවා රසික පිරිසක් ඇය වටා එක් වෙනවා. නමුත් සංගීතයට පමණක් සීමා නොවී ඇය සාර්ථක ලෙස ව්‍යාපාර කීපයක් ද මේ වන විට කරගෙන යනවා. ඊට අමතරව කාන්තාවන් වෙනුවෙන් පෙනී සිටිනා ක්‍රියාකාරිනියක ලෙස ද ඇය ක්‍රියා කරනවා. ගායක ක්‍රිස් සමඟ ඇය පැවති සම්බන්ධතාවෙදී හිංසනයට ලක් වීම මේ සඳහා හේතු වුණැයි ඇය වරක් මාධ්‍යයට පවසා තිබුණා.

 


7. එලන් ඩිජෙනරස්


එලන්, ලොවක් ආදරය කරන වැඩසටහන් ඉදිරිපත් කරන්නියක්. ඒ වගේ ම සමරිසි පුද්ගලයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නියක්. ගෝල්ඩන් ග්ලෝබ්ස් සම්මාන වගේ ම ඇමරිකානු පුරවැසියෙකුට ලැබිය හැකි ඉහළම සම්මානයක් වන ‘Medal of Freedom Award’ සම්මානය එවකට ජනපති ඔබාමා අතින් ලබාගන්නවා. මේ සියලු ජයග්‍රහණ විශේෂ වන්නේ ගැරහුම් මැද ආ අතීතයක් ඇයට තිබුණ නිසා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *