අපි දන්න කියන දේශපාලනඥයන්ගේ මුල් රැකියා

පසුගිය දවසක ෆේස්බුක් එකේදි අපිට අපූරු සටහනක් හම්බ වුණා. මේ සටහන තබලා තිබ්බේ උදය ප්‍රභාත් ගම්මන්පිලගේ ෆේස්බුක් පේජ් එකේ.ඒ සටහනේ දක්වලා තිබ්බේ අපේ රටේ දේශපාලනඥයන්ගේ වෘත්තීය සුදුසුකම්. ඕ ලෙවල් පාස් නැති නූගත් දේශපාලනඥයෝ බහුතරයක් අපේ රටේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා යැයි කියන කතාව කොයි තරම් බොරුවක්ද කියලා ඒ සටහනින් පැහැදිලි වුණා.

ඒ  සටහනට අනුව පූජ්‍ය පක්ෂය නියෝජනය කරමින් එක් මන්ත්‍රීවරයෙකුත් (රතන හාමුදුරුවෝ) නීතීඥයෝ තිස් හත් දෙනෙකුත් වෛද්‍යවරු හත් දෙනෙකුත් ඉංජිනේරු වෘත්තිකයෝ හත් දෙනෙකුත් ගණකාධිකාරිවරු දෙදෙනෙකුත් ගුරුවරු අට දෙනෙකුත් මාධ්‍යවේදියෝ පස් දෙනෙකුත් රාජ්‍ය සේවකයෝ පස් දෙනෙකුත් ආර්ථිකවේදියෝ දෙදෙනෙකුත් ආදී වශයෙන් වෘත්තීමය පසුබිමක් සහිත මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සිටිනවා. තමන්ව දේශපාලනඥයින් විදිහට විතරක් හඳුන්වගන්න මන්ත්‍රීවරු දොළොස් දෙනෙක් පමණයි සිටින්නේ. ඒ වගේම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන උපාධිධාරීන් ගණන හැට දෙකක්.

මේ නිසා අපි හිතුවා දන්න කියන දේශපාලනඥයින් කීප දෙනෙක්ගේ මුල් රැකියා ගැන සටහනක් ඔබ වෙත ගේන්න.

 

1. මහින්ද රාජපක්ෂ 

මහින්ද රාජපක්ෂ මහත්තයා වෘත්තියෙන් නීතිඥයකු වුණත් එතුමාගේ මුල්ම රැකියාව වුණේ පුස්තකාල සහායක තනතුර. විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ  උපකුලපති ධූරය දැරූ පල්ලන්නොරුවේ විමලධම්ම හිමියන් සමග ඇති වුණු බහින්බස් වීමකින් පස්සේ මහින්ද රාජපක්ෂගේ සෘජු ස්වභාවය ගැන පැහැදුණු විමලධම්ම හිමියන් එම තනතුර සඳහා ඔහුව පත් කළ බව කියවෙනවා. මේ කාලය තුළ දී විශ්වවිද්‍යාල සඳහා පොත් බඳින්නෙකු ලෙස සේවය කළ සිරිසුමන ගොඩගේ හට පොත් ප්‍රකාශකයෙකු ලෙස ගමනක් ආරම්භ කළ යුතු යැයි මුල් අදහස ලබා දෙන්නේද මහින්ද රාජපක්ෂ විසින්.

 

2. මෛත්‍රීපාල සිරිසේන 

මෛත්‍රීපාල සිරිසේනගේ මුල් රැකියාව මොකක්ද කියන එක නම් ආයෙත් ආපහු මේ සටහනට දාන්න ඕනෙ නෑ කියලත් අපේ මුලින් හිතලා ආපහු ඔන්න ඔහේ දාන්න තීරණය කළා. මොකද වෘත්තියෙන් ග්‍රාමසේවක කෙනෙක් වුණු කෙනෙකුන් වූ එතුමාගේ ඒ රැකියාව ගැන ඕන තරම්  නිර්මාණ පහුගිය කාලේ දී ෆේස්බුක් එකේ එහෙට මෙහෙට ෂෙයාර් වුණා. වතාවක් කලකිරීමට පත් වෙලා ග්‍රාම නිලධාරී තනතුරෙන් අස්වෙන්න හිතාගෙන මෛත්‍රීපාල සිරිසේන, දිසාපතිවරයාව මුණ ගැහෙන්න යනවා. ඒ වෙලාවෙදි දිසාපතිවරයා එහෙම කරන්න එපා කියලා අවවාද කරනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වෙද්දි මේ දිසාපතිවරයා ජනාධිපති ලේකම් වෙනවා. මේ දිසාපතිවරයා තමයි ඔස්ටින් ප්‍රනාන්දු.

 

3. ඩී.බී. විජේතුංග 

ලංකාවේ ජනාධිපති ධූරයට පත් වෙලා අඩුවෙන්ම බැනුම් අහපු පුද්ගලයා විදිහට සැලකෙන්නේ ඩී. බී විජේතුංග. පක්ෂ විපක්ෂ සියලු දෙනාම එතුමාට ගරු කළා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගැමියෙකු වූ එතුමාට දෛවය විසින් වාසනාව ගෙනාවා. එතුමා තමන්ගේ ජීවිතය ආරම්භ කරන්නේ පොලිස් කොස්තාපල්වරයෙක් විදිහට. රටපුරා පොලිස් ස්ථාන කීපයක සේවය කරන එතුමා පස්සෙ කාලෙකදි ඒ රැකියාවට ආයුබෝවන් කියලා සමුපකාර පරීක්ෂකවරයෙක් විදිහට නව රැකියාවක් ආරම්භ කරනවා. ඊට ටික කාලෙකට පස්සේ ඒ. රත්නායක අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා විදිහට වැඩ කටයුතු ආරම්භ කරනවා. ඒ තමයි ඩී.බී. විජේතුංග මහත්මයාගේ දේශපාලන ජීවිතයේ ආරම්භය.

 

4. විලියම් ගොපල්ලව 

ලංකාවේ  පළමු ජනාධිපතිවරයා වුණු විලියම් ගොපල්ලව මහතා තමන්ගේ ජීවිතය ආරම්භ කරන්නේ ගුරුවරයෙක් විදිහට. ඒ මාතලේ බෞද්ධ පාසලෙන්. ගුරු සේවයෙන් උපයපු වැටුපට වඩා විශාල මුදලක් වැය කරලා පාසල වෙනුවෙන් පුස්තකාලයක් තැනීම එතුමා විසින් සිද්ධ කරා. ඒ වගේම පාසල තුළ පළමු බාලදක්ෂ කණ්ඩායම නිර්මාණය කිරීමේ ගෞරවය හිමි වෙන්නේ විලියම් ගොපල්ලව මැතිතුමාට. තමන් සේවය කරපු පාසලේ අඩුපාඩු සකස් කිරීමේදී ඇතිවන තත්ත්වය නිසා තමයි එතුමා තීරණය කරන්නේ සමාජ සේවය දෙසට අවධානය යොමු කරන්න. එහි ප්‍රතිඵලයක් විදිහට පස්සෙ කාලෙකදි එතුමා දේශපාලනයටත් පිවිසෙනවා.

 

5. දි.මු. ජයරත්න 

මාස කීපයකට පෙර අප අතරින් සමුගත් දිමු ජයරත්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භක සාමාජිකයන් අතරින් අවසාන පුද්ගලයා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගනිද්දී තමන් කොලුගැටයෙක්ය කියපු දි.මු, ඊට ටික කාලෙකට පස්සේ දොලුව මහා විද්‍යාලයේ ගුරුවරයෙක් විදිහට සේවයට බැඳෙනවා. ඊට ටික කාලෙකට පස්සේ දොළුව තැපැල් ස්ථානයේ තැපැල් ස්ථානාධිපතිවරයා බවට පත් වෙන්නත් ඔහු සමත් වෙනව. පස්සේ කාලෙකදී ඔහු තැපැල් ඇමතිවරයා බවටත් පත්වනවා.

 

6. රෝහිත අබේගුණවර්ධන 

බොහෝ දෙනෙක් රෝහිත අබේගුණවර්ධන අමාත්‍යවරයාගේ මුල් රැකියාව ගැන විවිධ අදහස් පළ කරනවා. නමුත් වගකීමක් තියෙන වෙබ් අඩවියක් විදිහට අපිට ඒ වගේ කට කතා ගැන අදහස් දක්වන්න බෑ. නමුත් හිටපු අමාත්‍යවරයෙකු වූ එදිරිවීර ප්‍රේමරත්නගේ දියණිය වුණු අචිනි එදිරිවීර කියන විදියට නම් රෝහිත අබේගුණවර්ධන ඇගේ පියාගේ රියදුරා විදිහට සේවය කරලා තියෙනවා. වරක් ඇය “කලම්බු ටෙලිග්‍රාෆ්” අඩවියට ලිපියක් ලියමින් ප්‍රශ්න කළේ තමන්ගේ නිවසට පාපැදියෙන් ආපු රෝහිත කොහොමද බිලියනපතියෙක් වුණේ කියලා.

 

7. ජී. එල්. පීරිස් 

අද වෙනකොට පාර්ලිමේන්තුව නියෝජනය නොකළත් බොහෝ විට ඊළඟ පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තුවෙන් ජී. එල් පීරිස්ව පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. වෘත්තියෙන් නීතිඥයකු වන ජී. එල් පීරිස් උසාවියේ පෙනී සිටීමට වඩා කළේ ඉගැන්වීම. කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිය පිළිබඳව මහාචාර්යවරයෙක් විදිහට තමන්ගේ ජීවිතය ආරම්භ කරලා, නීති අංශය අංශයේ පීඨාධිපති බවට පත් වෙලා, අවසානයේ කොළඹ විශ්වවිද්‍යාලයේ දෙවන උපකුලපතිවරයා බවට පත් වීමට ඔහුට හැකියාව ලැබුණා. ඔහු උපකුලපතිවරයා බවට පත්වන අවස්ථාව වන විට හිටපු උපකුලපති ස්ටැන්ලි විජේසුන්දර මහතා ඝාතනය කිරීමෙන් ඇති වෙලා තිබ්බේ අවිනිශ්චිත තත්ත්වයක්. නමුත් ඔහු ඒ අභියෝගය භාර ගත්තා. චන්ද්‍රිකා බණ්ඩාරනායක සමඟ පොදු පෙරමුණු රජයට සම්බන්ධ වෙනකන් ඔහු ඒ උපකුලපති තනතුර දැරුවා.

 

එහෙමනම් ඉතිං වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *