පහු ගිය දවසක අපි ලංකාවේ සුප්‍රකට පුද්ගලයන්ගේ විවාහ ගැන ආටිකල් එකක් ලිව්වා. මේ ආටිකල් එකට අතළොස්සක පිරිසක් බැනල තිබ්බට බහුතරයකගෙන් ලැබිලා තිබ්බේ ඉතාමත් හොඳ ප්‍රතිචාර. මේ නිසා අපි හිතුවා ඒ ආටිකල් එකේම දිගුවක් විදිහට සිංහල දෙමළ විවාහ ගැන කතා කරන්න. මේ ආටිකල් එක කියවලත් බනිනවා නම් බනින්න වගේම ප්‍රතිචාර දක්වන අයටත් ප්‍රතිචාර දක්වන්නත් පූර්ණ නිදහස තියනවයි කියන එක අපි මතක් කරන්න කැමතියි.
1. උලකුඩය දේවිය
ලංකාවේ ඉතිහාසයේ අපිට මුණගැහෙන සුප්‍රසිද්ධම සිංහල දෙමළ විවාහය විදිහට සැලකෙන පුළුවන් හය වැනි පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය වුණු ලෝකනාථා කුමරිය විසින් “නන්නූර්තුනයා” නම් දෙමළ ජාතික අමාත්‍යවරයා විවාහ කර ගැනීම. මේ විවාහයෙන් පස්සේ ඇයව උලකුඩය දේවිය විදිහට හැඳින්වුණා කියලත් කියවෙනවා. කාව්‍යශේඛරය ලියන්න රාහුල හාමුදුරුවන්ට ආරාධනා කරන්නේ මේ උලකුඩය දේවියමයි. ඔවුන් දෙදෙනාට පුත් රුවනක් ප්‍රාර්ථනා කරමින් තමයි රාහුල හාමුදුරුවෝ සැළලිහිණි සංදේශය ලියන්නේ. ලැබෙන පුත් කුමාරයා ජයබාහු නමින් වසර තුනක් වගේ රජකම් කළත් ඔහුව පහ කරනවා, හය වැනි පරාක්‍රමබාහු රජතුමා විසින් හදාගන්න ගත්ත තවත් පුත් කුමාරයෙක් වුණු සපුමල් කුමාරයා. මෙම සපුමල් කුමාරයා තමයි බුවනෙකබාහු නමින් රජ වෙන්නෙ.
2. කැරොලයින් ගුණවර්ධන
කැරොලයින් ගුණවර්ධන කියන නම අද වෙනකොට දේශපාලන ලෝකය තුලින් අමතක වෙලා ගිය චරිතයක් වුණත් සමසමාජ පක්ෂයේ ඉතිහාසය තුළ කැරොලයින් ගුණවර්ධන කියන නම අමතක කරන්නම බැහැ. බොරලුගොඩ සිංහයා විදිහට හඳුන්වපු රූපසිංහ ගුණවර්ධන රාළහාමිගේ දියණියක් වුණු ඇය පිලිප් ගුණවර්ධනගේ සහෝදරියක්. පහත රට ප්‍රබල රදළ පවුලකට අයිති වුණත් කැරොලයින් ගුණවර්ධන විවාහය සඳහා තෝරා ගන්නේ එස්.සී.සී ඇන්තනි පිල්ලේ නම් වූ වෘත්තීය සමිති නායකයව. මේ විවාහයට ගෙදරින් දැඩි ලෙස විරුද්ධ වුණත් කැරොලයින් ගුණවර්ධන තඹ සතේකට ඒ විරෝධතා ගණන් ගන්නේ නැහැ. ඔවුන් දෙදෙනා විවාහ වෙනවා වගේම ඇන්තනි පිල්ලේගේ දේශපාලන කටයුතුවලට ඇගේ පූර්ණ සහයෝගය ලබා දීමත් සිදු කරනවා.
3. තරුෂි නානායක්කාර
බොහෝ දෙනෙක් දැඩි දෙමළ ජාතිවාදියෙක් විදිහට හංවඩු ගහන සී.වී. විග්නේශ්වරන්ගේ පුතුන් දෙදෙනා විවාහ වෙලා ඉන්නේ සිංහල තරුණියන් සමග. එක පුතෙක් විවාහ වෙලා ඉන්නේ වාසුදේව නානායක්කාරගේ දියණිය වුණු තරුෂි නානායක්කාර එක්ක. අනෙක් පුතා විවාහ වෙලා ඉන්නේ කේසර ලාල් ගුණසේකගේ ඥාති දියණියක් එක්ක. මේ විවාහ සම්බන්ධකම් හින්දා සමහර අවස්ථා වලදී දෙමළ ජාතිවාදීන් වගේම සිංහල ජාතිවාදීන් විවිධ විරෝධතා විග්නේෂ්වරන්ට වගේම වාසුදේවටත් එල්ල කළා.
4. නිරූපමා රාජපක්ෂ
නිරූපමා රාජපක්ෂ වතාවන් කිහිපයකදී පාර්ලිමේන්තුව නියෝජනය කරන්න සමත් වුණු රාජපක්ෂ පවුලේ සාමාජිකාවක්. ඇගේ පියා වුණු ජෝර්ජ් රාජපක්ෂ, ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ ඥාති සහෝදරයෙකු වෙනවා. ඇය විවාහ වෙලා ඉන්නේ ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන තිරුකුමාර් නඩේසන් සමගයි. විවිධ අවස්ථාවල දී ඇය සිය විවාහය ගැන මාධ්‍යවලට විවෘතව අදහස් පළ කරල තියෙනවා. ඇය කියන විදිහට ඇය බුද්ධාගමට වගේම හින්දු ආගමටත් එක ලෙස ගරු කරනවා.
5. ඉන්ද්‍රානි පෙරේරා
“ඔබ සොයනා කලු කළු කෙල්ල මමයි” කියලා ගීතයක් ගායනා කරාට ඉන්ද්‍රානි පෙරේරාට ඒ දවස්වල පෙම්වතෙක් හිටියේ නැහැ. හැබැයි ඇයට තමන්ගේ පෙම්වතා හම්බ වෙන්නේ තවත් සින්දුවක් නිසා. ඇය විසින් ගායනා කරන “හා හා හොරේ දැනුනා” ගීතයේ නිෂ්පාදකයාටත් හොරෙන් ඔහුගේ හිත ඉන්ද්‍රානි පෙරේරා වෙත බැඳිලා තිබ්බා. මේ නිෂ්පාදකයා තමයි ජේම්ස් ශ්‍රී නිවාසන්. ඔවුන් දෙදෙනාගේ විවාහයෙන් දරුවන් දෙදෙනකු ලැබුණා. නමුත් ඔවුන් දෙදෙනා නම් මව වගේ ගායන ක්ෂේත්රයට පිවිසුණේ නැහැ.
6. අනුරාධා පෙරේරා
නැසීගිය ගායක ෂෙල්ටන් පෙරේරා මහතාගේ දියණිය වූ අනුරාධා පෙරේරාත් කෙටි කාලයක් තුළ ජනප්‍රිය ගීත කීපයක් ගායනා කරපු ගායිකාවක්. ස්කන්ධකුමාර් නම් තරුණයා සමඟ විවාහයෙන් පස්සේ ඇය ලංකාව අතහැරලා කැනඩාවේ පදිංචියට ගියා. නමුත් විටින් විට ලංකාවට පැමිණෙන ඇය කියන්නේ තමන්ගේ හිත තියෙන්නේ ලංකාවේ කියලා. විවාහයට පවුල්වලින් දැඩි ලෙස විරෝධය එල්ල වෙද්දී ඒ විරෝධතා සමනය කරන්න ක්‍රියා කරපු, මීට වසර කීපයකට කලින් අප අතරින් සමු ගෙන ගිය ඇගේ වැඩිමහල් සහෝදරයා වුණු සතිෂ් පෙරේරාව ඇය සිහිපත් කරන්නේ ඉතාමත් හැඟීම්බරවයි.
7. විනීතා ගුණසේකර
“සිංහල සින්දු කියන නලලේ තිලක තියන කිරිල්ලී” ගීතය ගැන දන්න බොහෝ දෙනෙක් මේ ආදර කතාව ගැන දන්නවා. එල්.ටී.ටී.ඊ සංවිධානයේ පොලිස්පතිවරයා විදිහට රාජකාරි කරපු නඩේසන් ගේ ප්‍රිය බිරිඳ වුණේ සිංහල ජාතික කාන්තාවක්. එල්.ටී.ටී.ඊ සංවිධානය බිහි වීමට පෙර ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල්වරයෙකු විදිහට සේවය කරපු නඩේසන්, මහරගම පොලිසියේදී සේවය කරද්දී මිරිහාන පොලිසියේ සේවය කරපු විනීතා ගුණසේකර දැකලා හිත යනවා. වීනිතාගේ දෙමව්පියන් විනීතා මිය ගියයි කියලා සලකලා හත් දවසේ දානෙකුත් දෙනවා. විනීතා කිසිම දෙයක් ගණන් ගන්නේ නැතුව නඩේසන් එක්ක යනවා.නමුත් අවසානයේදී අවසන් සටනේදී ඔවුන් දෙදෙනාටම එකට මියයන්න සිද්ධ වෙනවා.
එහෙම නම් ඉතිං බණින කට්ටියට බණින්න ආරාධනා කරන ගමන්ම මේ පෝස්ට් එක ෂෙයාර් කරන්න කියන්න ඉල්ලීමත් කරනවා.
Leave a Reply