අපි කලින් වතාවක බ්‍රිතාන්‍ය රජ පවුලේ නොසන්ඩාලයෝ ගැන ලිපියක් පළ කළා. අද අපි කතා කරන්න යන්නේ මේ රජ පවුලේ වාසගම ගැන කියන කතා ගැන. බ්‍රිතාන්‍ය රජපවුල ගැන තියෙන බොහෝ කතාවලට පදනමක් නෑ. හුදු හිතළු .කොහොම වුණත් අපි මේ ආටිකල් එකේදී විශ්වාසනීය තොරතුරු විතරක් භාවිතා කරන්න වග බලා ගත්තා.
1. රජපවුලේ වාසගම
බොහෝ දෙනෙක් හිතන්නේ බ්‍රිතාන්‍ය රජ පවුලට වාසගමක් නැහැ කියලා. හැබැයි ඒ කතාව අර්ධ සත්‍යයක්. වර්තමාන රජ පවුල අයත් වෙන්නේ “Windsor”රාජ වංශයට. මේ නිසාම රජ පවුලේ සාමාජිකයන් බොහෝ දෙනෙක් තමන්ගේ නම අවසානයට Windsor කියලා භාවිතා කරනවා. නමුත් Windsor කතාව එන්නේ පළවෙනි ලෝක යුද්ධ කාලේදි. ඒ කාලේ වෙනකල් බ්‍රිතාන්‍ය රජ පවුල අයත් වුණේ ” Saxe coburg – gotha” කියන රාජවංශයට. නමුත් Saxe coburg gotha කියන්නේ ජර්මනියේ රාජ වංශයක් නිසා පස්වැනි ජෝර්ජ් රජතුමා තමන්ගේ රාජ වංශය Windsor ලෙස නම් කරනු ලබනවා.
2. නම් පෙරළියට ජර්මන් ප්‍රතිචාර
මේ සිදුවීම වෙද්දී ජර්මනියේ අධිරාජ්‍යයා වෙලා හිටියෙ දෙවැනි විල්හෙල්ම් අධිරාජයා. ඔහු සහ පස්වැනි ජෝර්ජ් රජු ඥාති සහෝදරයන්. විල්හෙල්ම්ගේ මව වුණු වික්ටෝරියා කුමරිය සහ පස්වැනි ජෝර්ජ් රජුගේ පියා වුණු හත්වෙනි එඩ්වර්ඩ් සහෝදර සහෝදරියන්. ඔවුන් දෙදෙනාගේ මව වූණේ සුප්‍රකට වික්ටෝරියා රැජනයි. බ්‍රිතාන්‍යය කෙරෙහි දැඩි විරෝධයක් දක්වපු දෙවැනි විල්හෙලම් අධිරාජ්‍යයා තමන්ගේ මිත්තණිය වුණු වික්ටෝරියා රැජිනට දැඩිව ආදරය කරපු කෙනෙක්. කොටින්ම ඇය මරණ මංචකයේ වැතිරිලා ඉන්නවා කියලා දැනගත්ත ඔහු සියලු කටයුතු පසෙක ලා බ්‍රිතාන්‍යයට යනවා. ඒ වගේම ඇය මිය යන විට ඇය ළඟින්ම හිටියේ විල්හෙල්ම් අධිරාජ්‍යයා. බ්‍රිතාන්‍ය රාජවංශය නම වෙනස් කරා කියලා ඇහුවම විල්හෙල්ම් උපහාසයෙන් කියන්නේ “එහෙමනම් ජර්මනියෙදි විලියම් ශේක්ස්පියර්ගේ Merry Wives of Windsor කියන වේදිකා නාට්‍යය Merry Wives of Saxe coburg Gotha කියලා වෙනස් වෙන්න ඕන” කියලා.
3. Mountbatten සහ Battenberg
බ්‍රිතාන්‍ය රජ පවුල විවාහ වලින් බැඳිච්ච ජර්මානු කුඩා රාජ වංශයක් තියනවා. මේ රාජ වංශය හැඳින්වුණේ Battenberg කියන නමින්. මේ රාජවංශයට සම්බන්ධ කුමාරවරු කීපදෙනෙක් වික්ටෝරියා රැජනගේ දියණියක් හා මිණිබිරියක් විවාහ කරගෙන බ්‍රිතාන්‍ය රජ පවුලේ සමීපතමයන් බවට පත් වෙනවා. නමුත් පළමු ලෝක යුද්ධයේදී ඇති වුණ ජර්මන් විරෝධී ආකල්ප නිසා ඔවුන්ටත් තමන්ගේ රාජ වංශයේ නම වෙනස් කරන්න සිද්ධ වෙනවා. Batten නම් කන්ද කියන නිරුක්තිය සහිත මේ රාජ වංශය Mountbatten කියලා ඉංග්‍රීසියට හැරවෙනවා.
4. ග්‍රීක රජ පවුල
අපි ඒ බ්‍රිතාන්‍ය රජ පවුල ගැන පොඩ්ඩක් කතා බහ නවත්තලා, ග්‍රීක රජ පවුලට හැරෙමු. ඒ ඇයි කියල පස්සෙ ඔයාලට තේරෙයි. ඔටෝමන් තුර්කි අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගත්තට පස්සේ ග්‍රීසියට නව රජෙක් ඕන වුණා. පළමු වතාවේ දී ජර්මන් රාජවංශයක් ස්ථාපිත කරන්න හැදුවත් සාර්ථක වුනේ නැහැ. පස්සේ ඒ වෙනුවට ඩෙන්මාර්ක රජ පවුලෙන් කුමාරයෙක්ව ගෙනල්ලා පළවෙනි ජෝර්ජ් නමින් රජකමට පත් කරගත්තා. ජර්මන් සම්භවයක් තිබ්බ මේ ඩෙන්මාර්ක් රාජවංශය හැඳින්වුනේ Glücksburg රාජ වංශය නමින්,(නමුත් මෙහි දීර්ඝ ස්වරූපය Schleswig-Holstein-Sonderburg-Glücksburg රාජවංශය ලෙස හැදින්වුණා.)
5. ග්‍රීසියෙන් බ්‍රිතාන්‍යයට
ග්‍රීක රජපවුලේ සාමාජිකයෙක් වුණු ඇන්ඩෘ නම් කුමාරයා විවාහ වුණේ ඒ වෙද්දි වික්ටෝරියා රැජිනගේ මිණිබිරියක් හා විවාහ වෙලා බ්‍රිතාන්‍යයේ පදිංචියට ගිය Battenberg රාජ වංශයේ කුමරෙකුගේ දියණියක් වුණු ඇලිස් කුමරිය එක්ක. මේ විවාහයෙන් ඔවුන් දෙදෙනාට දියණියන් හතර දෙනෙක් සහ පුතෙකු ලැබුණා. මේ පුතාව හැඳින්වුනේ පිලිප් යන නමින්. ඇලිස් සහ ඇන්ඩෘගේ විවාහයේ ඇති වූ විවිධ හැලහැප්පීම් නිසා පිලිප්ව ඔහුගේ මෑණියන්ගේ මව බ්‍රිතාන්‍යයට ගෙන්වාගත්තා. ඒ වගේම ඇලිස්ගෙ තවත් සහෝදරයෙක් වුණු සුප්‍රකට මවුන්ට්බැටන් සාමිවරයා පිලිප්ගේ අධ්‍යාපන කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළා. මේ අතරතුරේදී පිලිප් සහ බ්‍රිතාන්‍ය කිරුළ හිමි එළිසබෙත් කුමරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වුණා. මේ නිසා පිලිප් තමන්ගේ ග්‍රීක ජර්මන් වාසගම් ඉවත් කරගනිමින් සිය මවගේ පවුල අනුව යමින් මවුන්ට්බැටන් වාසගම ලබා ගත්තා.
6. මවුන්ට්බැටන් ද වින්ඩ්සර් ද?
හයවෙනි ජෝර්ජ් රජුගේ මරණයත් එක්ක බ්‍රිතාන්‍ය දේශපාලන ලෝකය, රදළ සමාජය දැඩි අවිනිශ්චිතාර්තයක ගිලී ගියා.ඒ බ්‍රිතාන්‍යය රාජවංශය මින් ඉදිරියට මවුන්ට්බැටන් ලෙස හැඳින්වෙයිද කියන ප්‍රශ්නය නිසා. දෙවෙනි ලෝක යුද්ධය අවසානව තිබ්බත් ජර්මන් විරෝධීබව බ්‍රිතාන්‍ය සමාජය තුළ දැඩිව පැවතුණා. පිලිප් කුමාරයගේ සහෝදරියන් සිව් දෙනාම විවාහ වී සිටියේ නාසි පක්ෂයට සම්බන්ධ කුමාරවරු සමඟ වීම මේ විරෝධතා දැඩි කිරීමට තවත් හේතුවක් වුණා. අවසානයේ දී දෙවැනි එළිසබත් රැජන තව දුරටත් තම රාජ වංශය වින්ඩ්සර් ලෙසම හැඳින්වෙන බවට විශේෂ ප්‍රකාශයක් සිදු කළා. මේ තීරණය ගැන සිය නොකමැත්ත පෙන්වමින් පිලිප් කුමාරයා “තම දරුවන්ට වාසගම ලබා නොදිය හැකි එකම තැනැත්තා” තමන් බව ප්‍රකාශ කළා.
7. වින්ඩ්සර් – මවුන්ට්බැටන්
නමුත් කාලයත් සමග බ්‍රිතාන්‍ය සමාජය තුළින් ජර්මන් විරෝධී ආකල්ප කෙමෙන් කෙමෙන් බැහැර වුණා. මේ වෙනකොට බ්‍රිතාන්‍ය රජපවුලේ බොහෝ සාමාජිකයන් වින්ඩ්සර් මවුන්ට්බැටන් කියන වාසගම භාවිතා කරනවා. මුලින් බ්‍රිතාන්‍ය කිරුළ හිමි චාල්ස් කුමාරයා එසේ භාවිතා නොකළත් පසුව ඔහුත් සිය වාසගම ලෙස අවස්ථා කීපයක්දී එසේ භාවිතා කළා. නමුත් නිල වශයෙන් රාජකීය පවුලේ සමාජිකයෙක් සඳහා මවුන්ට්බැටන් – වින්ඩ්සර් නම භාවිතා වුණේ එළිසබත් රැජිනගේ බාල පුත්‍රයා වූ එඩ්වඩ් කුමාරයාගේ දියණිය වෙනුවෙන්. ඇය නම් කෙරුණේ Louise Alice Elizabeth Mary Mountbatten-Windsor නමින්. මේ කොහොම වුණත් තවමත් නිල වශයෙන් ප්‍රධාන රාජවංශය නම ව්න්ඩ්සර්.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක share කරන ගමන් comments section එකේ ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply