Covid-19 එහෙමත් නැත්නම් කොරෝනා වෛරසයෙන් දරුණුවටම බැට කෑ රටක් තමයි දකුණු කොරියාව කියන්නේ. දකුණු කොරියාවට මේ ව්‍යසනය කැඳවන්න භයානක විදිහට දායක වුණු පුද්ගලයෙක් ගැන මේ වන විට මුළු ලෝකයම කතා කරනවා. ඒ තමයි Patient 31. මේ රෝගියා සම්බන්ධ කතාව මගින්, මේ වෙද්දී කොරෝනා වෛරසය පැතිර යන්න පටන් අරන් තියන අපේ රටේ ජනතාවටත් ගන්න ආදර්ශ බොහොමයක් තියනවා. එහෙනම් කියවලා බලමු මේ Patient 31 සම්බන්ධ තොරතුරු ගැන.
1. දකුණු කොරියාවේ කොරෝනා වෛරසය පැතිරීම ඇරඹුම
දකුණු කොරියාවෙන් පළමු කොරෝනා රෝගියාව වාර්තා වෙන්නේ පහුගිය ජනවාරි 20 වෙනිදායි. වූහාන් සිට දකුණු කොරියාවට පැමිණි 35 හැවිරිදි චීන කතක් තමයි කොරියාවෙන් වාර්තා වන පළමු කොරෝනා රෝගියා බවට පත් වෙන්නේ. කොහොම නමුත් මේ රෝගියාව වාර්තා වෙලා සති 4ක් ගත වන විටත් කොරියාව තුළ සිටින්නේ කොරෝනා රෝගීන් 30 දෙනෙක් පමණයි. කොරියානු සෞඛ්‍ය අංශය ඉතාම සාර්ථකව ඒ වන විට කොරෝනා වෛරසය පැතිරීම පාලනය කරමින් පැවතුණා.
නමුත් ඒ සියල්ලම උඩු යටිකුරු වෙන්නේ 31 වැනි රෝගියා කරළියට පැමිණිමත් එක්කයි!
2. ව්‍යසනයට මග පෑදූ අනතුර
පහුගිය පෙබරවාරි 6 වැනිදා දකුණු කොරියාවේ ඩීගු ප්‍රදේශයේදී 61 හැවිරිදි කාන්තාවක් සුළු රිය අනතුරකට ලක් වීම හේතුවෙන් රෝහල් ගත වෙනවා. ඒ වෙද්දී ඇය යම්කිසි හිසේ කැක්කුමකින් පෙළෙමින් හිටියත්, ඇය හිතන්නේ හිසේ කැක්කුමට හේතුව අනතුරින් ඇතිවුණු කම්පනය කියලයි.
3. උණ සහ රෝග ලක්ෂණ පහළවීම
රෝහලේ දින කීපයක් ප්‍රතිකාර ගන්නා අතරතුරදී මේ කාන්තාව උණ ගතියකින් පෙළෙන්නට පටන් ගන්නවා. එවිට රෝහලේ වෛද්‍යවරු ඇයට කියනවා කොරෝනා වෛරසය සඳහා පරීක්ෂණයකට මුහුණ දෙන්න කියලා. නමුත් ඇය ඒ පරීක්ෂණයට මුහුණ දෙන්නේ නැහැ. තමන් විදෙස් රටක සංචාරයක නිරත වෙලා නැති නිසා තමන්ට කොරෝනා වැළඳී නැති බව ඇය දැඩිව විශ්වාස කරනවා. මේ අතරතුර ඇය උණ රෝගයත් තකන්නේ නැතිව ජනාකීර්ණ ස්ථාන කීපයකම ගැවසෙන්නටත් යනවා. හිතවතෙක් එක්ක බුෆේ එකකින් ආහාර ගන්නටත්, පොදු ස්නානාගාරයක නෑමටත්, සති අන්ත දෙකකදී දේව මෙහෙයන්ට සහභාගි වීම සඳහා බැතිමතුන්ගෙන් පිරුණු දේවස්ථානයකටත් ඇය සංචාරය කරනවා.
4. කොරෝනා බවට තහවුරු වීම
මෙම කාන්තාව තුළින් දිනෙන් දිනම වැඩි වශයෙන් කොරෝනා වෛරසයට සම්බන්ධ ලක්ෂණ පෙන්නුම් කරන්නට පටන් ගන්න විට, කොරෝනා සම්බන්ධ පරීක්ෂණයට මුහුණ දෙන්නට යැයි වෛද්‍යවරු නැවතත් ඇයට ඇවටිලි කරනවා. ඇය එයට විරුද්ධ වන්නටත්, වෛද්‍යවරුන් සමග බහින්බස් වන්නටත් පටන් ගන්නවා. ඉන් පසුව එතෙක් ප්‍රතිකාර ගත් රෝහලින් පිටවී වෙනත් රෝහලකට යන ඇය එම රෝහලේදී කොරෝනා වෛරසය වැළඳී ඇතිදැයි පරික්ෂාවකට ලක් වෙනවා. එහිදී ඇයට කොරෝනා වැළඳී ඇති බවට හෙළිදරවු වෙනවා. පෙබරවාරි 17 වැනිදා තමයි මේ තහවුරු කරගැනීම සිද්ධ වෙන්නේ. ඒ අනුව ඇය එරට 31 වැනි කොරෝනා රෝගියා හැටියට නම් වෙනවා. චීනයේ හෝ වෙනත් රටක මෑතකදී සංචාරය නොකළ ඇයට කොරෝනා බෝ වුණ ආකාරය අදටත් සොයාගත නොහැකි අභිරහසක්ව තිබෙනවා.
5. මහා පැතිරීම
ඉහත කාන්තාව කොරෝනා රෝගියෙක් යැයි තහවුරු වී දින කිහිපයක් යන්නට මත්තෙන් දකුණු කොරියාවේ කොරෝනා ආසාදිතයින්ගේ සීඝ්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන්න පටන් ගන්නවා. ආසාදිතයින්ගේ සංඛ්‍යාව සියයද ඉක්මවා යනවා. ඒ සියල්ලක්ම පාහේ මෙම කාන්තාව ගැවසුණු දේවස්ථානය ඇතුළු ඩීගු ප්‍රදේශයේ ගැවසුණු පිරිස් වනවා. ෂින්චොන්ජි නම් ආගමික නිකායකට අයත් මෙම පල්ලියේ බැතිමතුන් 9,300ක පමණ ප්‍රමාණයක් පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව ඔවුන් අතරින් 1,200ක පමණ පිරිසක් කොරෝනා යැයි සැක කෙරෙන ලක්ෂණ පළ කරන බව සෞඛ්‍ය අංශවලට දැකගන්නට හැකි වෙනවා. දිනෙන් දිනම ඉහළ යන කොරෝනා ආසාදිත පිරිස්වලින් 70% – 80%ක පමණ ඉහළ ප්‍රතිශතයක් 31 වැනි රෝගී කාන්තාව ගැවසුණු ස්ථාන හා සම්බන්ධ පිරිස් වනවා.
6. ෂින්චොන්ජි දේවස්ථානයේ බලපෑම
31 වැනි රෝගී කාන්තාව දෙවරක්ම ගොඩ වැදුණු ෂින්චොන්ජි ආගමික පල්ලිය සම්බන්ධවත් නොයෙකුත් කතා මේ වන විට පැතිර ගොස් තිබෙනවා. සමහරු කියන්නේ එම ආගමික නිකායට අයත් බැතිමතුන්ට සෑම ඉරිදාම පල්ලියේ දේව මෙහෙයට පැමිණීම අනිවාර්ය බවයි. එමෙන්ම එකිනෙකාට බොහොම ළඟින් දණ නමාගෙන, එකිනෙකාගේ අත් අල්ලාගෙන සිදු කරන දේව මෙහෙයන් මෙහි පැවැත්වීම නිසා රෝගය පැතිරයාම උත්සන්න වුණා කියායි ඔවුන් කියන්නේ. තවත් සමහරු කියන විදිහට මෙම දේවස්ථානය තුළට මුහුණු ආවරණ එහෙමත් නැත්නම් මාස්ක් දමාගෙන එන එකත් තහනම් යැයි පැවසෙනවා.
7. වත්මන් තත්ත්වය
මේ වන විට දකුණු කොරියාව තුළ “උමතු කාන්තාවක්” හැටියට වෛරයට පාත්‍ර වන්නට 31 වැනි රෝගී කත සමත්වෙලා තියනවා. ඒ වගේම මේ ව්‍යසනයට තවත් හේතුවක් වුණු නොසැලකිලිමත් ෂින්චොන්ජි පල්ලියටත් දැඩි සමාජ විරෝධයක් මේ වන විට එල්ල වෙමින් පවතිනවා. මේ ලිපිය ලියන මොහොත වන විට දකුණු කොරියාවේ කොරෝනා ආසාදිත සංඛ්‍යාව 8,000 ඉක්මවා ගොස් ඇති අතර, මරණ 75ක් වාර්තා වී තිබෙනවා.
අපේ රටටත් මේ වන විට කොරෝනා අවදානම දැඩිව දැනෙන්නට පටන් ගෙන අවසානයි. විදෙස් රටවලින් ආ අපේම මිනිසුන්ගේ සමහර අදූරදර්ශී හැසිරීම් හේතුවෙන් රටේ කොරෝනා අවදානම ඉහළ යන්නටත් හේතු වෙලා තිබෙන අවස්ථාවක් මේක. ඒ තත්ත්වය ගැන කල්පනා කරද්දී අපේ බිය දෙගුණ තෙගුණ වෙන්නට ඉහත කී 31 වැනි රෝගී කාන්තාවගේ සිදුවීමත් බලපානවා. රටක් හැටියට මේ තර්ජනයෙන් අපට ගැලවෙන්නට නම්, සිහි බුද්ධියෙන් යුතුව, සියල්ලන්ගේම යහපත ගැන සිතා කටයුතු කිරීම මේ මොහොතේ ඉතාම වැදගත් වෙනවා.
Leave a Reply