වැඩිම පිරිසකට තරඟ නැරඹිය හැකි ලෝකයේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගන 7

හොඳට ප්‍රේක්ෂකයො පිරිලා පැක් වෙච්ච ක්‍රිකට් පිටියක ඉඳන් තරඟයක් නරඹලා තියනවනම්, එතන තියන ගැම්ම, ක්‍රිකට් සංස්කෘතිය ගැන ඔබට අමුතුවෙන් විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මේ සංස්කෘතිය රටකින් රටකට වෙනස් වෙනවා. ඒ හැම වෙනසක්ම ඒවාට ආවේණික විදිහට ලස්සනයි.

හරි, එහෙම කියන් ආටිකල් එක පටන් ගත්තට, අපි කියන්න ආවේ රට රටවල ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ගැන නම් නෙමෙයි. ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වැඩි පිරිසකට එක් රොක් වෙලා තරඟ නරඹන්න පුළුවන් ලෝකේ ලොකුම ක්‍රිකට් ක්‍රීඩාංගන ගැනයි.

 

1. සර්දාර් පටේල් ක්‍රීඩාංගනය (Sardar Patel Stadium) – ඉන්දියා​ව

ප්‍රේක්ෂක ප්‍රමාණය – 110,000

මෑතක් වෙනකන් ලෝකයේ ලොක්කා වෙලා හිටපු මෙල්බෝර්න් ක්‍රිකට් ක්‍රීඩාංගන පරද්දමින් ලෝකේ වැඩිම ප්‍රේක්ෂකයො පිරිසක් එක්රොක් කරන්න පුළුවන් විදිහට හදපු ඉන්දියාවේ අලුත්ම ක්‍රීඩාංගනය තමයි මේක. ​අලුතින්ම හදපු ක්‍රීඩාංගනයක් වුණාට, අහමඩාබාදයේ ​මේක පිහිටපු තැන කලිනුත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් තිබ්බා. මොටේරා ක්‍රීඩාංගනය කියල තමයි ඒක වැඩිපුර ජනප්‍රිය වෙලා තිබ්බේ. 1983 දී හදපු ඒ ක්‍රීඩාංගනේ 2015දී බිමට සමතලා කරලා තමයි මේ අලුත් ක්‍රීඩා පිටිය ගොඩ නගන්නේ. මේක සාමාන්‍යයෙක් ප්‍රේක්ෂකයින් 110,000කට විතර එකට ඉඳන් නරඹන්න පුළුවන් ක්‍රීඩාංගනයක්. ආරංචියේ හැටියට 2021 මුල් හරියෙදි එංගලන්තය එක්ක පවත්වන දිවා රාත්‍රී ටෙස්ට් තරඟයකින් මේ පිටිය ක්‍රියාකාරී වෙන්න යන බවයි පැවසෙන්නේ.

 

2. මෙල්බෝර්න් ක්‍රිකට් පිටිය (Melbourne Cricket Ground) – ඕස්ට්‍රේලියාව

ප්‍රේක්ෂක ප්‍රමාණය – 100,024

ඊයේ පෙරේදා වෙනකම් ලෝකේ වැඩිම ප්‍රේක්ෂක පිරිසක් රැඳවිය හැකි පිටිය හැටියට වැජඹුනේ MCG නමින් හඳුන්වන මේ පිටිය තමයි. 100,024ක් හැටියටයි මේ පිටියේ ප්‍රේක්ෂකයන් රැඳවිය හැකි ප්‍රමාණය ගැන සඳහන් වෙන්නේ. 1853 තරම් දුර ඈත අතීතයක ආරම්භ වෙච්ච මේ පිටියේ ඔලිම්පික් සහ පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟාවලි පවා පවත්වලා තියනවා. ඒ වගේම ක්‍රිකට් ඉතිහාසයේ වැදගත්ම තරඟ දෙකක් වෙන, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වුණු මුල්ම ටෙස්ට් සහ එක්දින තරඟත් පවත්වලා තියෙන්නේ මේ පිටියේ තමයි. 

 

3. ඊඩ්න් ගාඩ්න්ස් (Eden Gardens) – ඉන්දියාව

ප්‍රේක්ෂක ප්‍රමාණය – 66,000

ඊඩ්න් ගාඩ්න්ස් කිවුව ගමන් ලාංකික අපේ සිහියට නැගෙන්නේ 1996 ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයේදී ඉන්දියාවට එරෙහිව අපි වාර්තා කරගත්ත සුවිශේෂී ජයග්‍රහණය. ඒත් එක්කම ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ ප්‍රචණ්ඩකාරීව හැසිරුණු ඉන්දීය ප්‍රේක්ෂකයින්වත් අපිට අමතක කරන්න බැහැ. 1864 දී ආරම්භ වුණු මේ ක්‍රීඩාංගනයේ ඒ කාලය වෙද්දි 40,000ක විතර ප්‍රේක්ෂක පිරිසක් රඳවන්න පුළුවන්කම තිබුණා. 1934 දී ඉන්දියාව සහ එංගලන්තය අතර තමයි මේ ක්‍රීඩාංගයේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ. 1987 දී පාකිස්ථානය සහ ඉන්දියාව අතර මෙහි පළමු එක්දින තරඟය පැවැත්වුණා. එක කාලයකදී නරඹන්නන් ලක්ෂයකට විතර පහසුකම් සලසන්න තරම් මේ ක්‍රීඩාංගනය විශාල වුණත්, පස්සේ කාලෙදි අයිසීසීයේ නිර්දේශිත තත්ත්වයන්ට අනුව ක්‍රීඩාංගනය නැවත සකසන්න වුණු නිසා උපරිම ඉඩකඩ ප්‍රමාණය 66,000 දක්වා අඩු කරන්න සිද්ධ වුණා.

 

4. ශාහිඩ් වීර් නාරායන් සිංග් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගන​ය (Shaheed Veer Narayan Singh International Cricket Stadium) – ඉන්දියා​ව

ප්‍රේක්ෂක ප්‍රමාණය – 65,000

2008 වසරේදී ගොඩ නැගූ මේ ක්‍රීඩාංගනයේ 65,000ක විතර ප්‍රේක්ෂක ප්‍රමාණයක් රඳවන්න හැකියාව තියෙනවා. බොහොම නවීන තාක්ෂණය සහ පහසුකම් සහිතව නවීන පන්නයට ගොඩ නංවපු ක්‍රීඩාංගනයක් මේක. අයිපීඑල් තරඟාවලි සඳහා භාවිතා වුණත්, ඉන්දියාව සහභාගී වන අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සඳහා නම් මේ ක්‍රීඩාංගනය යොදාගෙන නැහැ තවම. මේකට හේතු හැටියට සමහරු කියන්නේ ක්‍රීඩකයන්ට නවාතැන් ගැනීම​ට මේ ක්‍රීඩාංගනය අවට හොඳ පහසුකම් සහිත හෝටල් නොමැතිවීමත්, ක්‍රීඩාංගනය වෙනුවෙන් ලොකු වියදමක් දරන්න වෙන නිසාත් මේ පිටියේ ජාත්‍යන්තර තරඟ පැවැත්වීම ඇන හිටලා තියෙනවා කියලයි.

 

5. පර්ත් ක්‍රීඩාංගනය (Perth Stadium) – ඕස්ට්‍රේලියාව

ප්‍රේක්ෂක ප්‍රමාණය – 60,000

පර්ත් කිවුවාම මේක පර්ත් වල පිහිටි වකා (WACA) පිටිය එක්ක පටළවා ගන්න හොඳ නැහැ. OPTUS නමින් හැඳින්වෙන මේ පර්ත් ක්‍රීඩාංගනය 2017 තරම් මෑත ඉතිහාසයක ගොඩනගපු ක්‍රීඩාංගනයක්. 60,000ක විතර ප්‍රේක්ෂකයින් පිරිසකට පහසුකම් සලසන්න මේ ක්‍රීඩාංගනය සමත්. ඕවලාකාර හැඩයක් හිටින විදිහට තමයි මේ ක්‍රීඩාංගනය නිර්මාණය කරලා තියෙන්නේ. ඒකට හේතුව මේ පිටිය ක්‍රිකට්වලට අමතරව ඕස්ට්‍රේලියානු ෆුටී පාපන්දු තරඟ සඳහාත් යොදාගන්න නිසයි. ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් ලීග් කණ්ඩායමක් වෙන පර්ත් ස්කෝචර්ස් පිළේ නිල ක්‍රීඩාංගනය හැටියට මුලින් තිබ්බේ අපි කලිනුත් සඳහන් කරපු වකා ක්‍රීඩාංගනය. නමුත් 2018 ඉඳන් ඔවුන් තමන්ගේ තරඟ සඳහා ​යොදාගන්නේ මේ අලුත් පර්ත් ක්‍රීඩාංගනයයි. මේ වෙද්දි ඕස්ට්‍රේලියාව සහභාගි වන ටෙස්ට් එක්දින වගේම විස්සයි 20 තරඟත් අලුත් පර්ත් පිටියේදි පැවැත්වෙලා තියනවා.

 

6. රාජිව් ගාන්ධි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය (Rajiv Gandhi International Cricket Stadium) – ඉන්දියාව

ප්‍රේක්ෂක ප්‍රමාණය – 55,000 – 60,000 අත​ර

හයිද්‍රාබාදයේ පිහිටි මේ ක්‍රීඩාංගනය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නිල ක්‍රීඩාංගනය වෙනවා. 2003 අවුරුද්දෙදි අරඹපු මේ ක්‍රීඩාංගනයේ පළමු ටෙස්ට් තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාව සහ නවසීලන්තය අතරයි. ඒ 2010 අවුරුද්දේ නොවැම්බරයෙදි. මේ වෙද්දි ටෙස්ට් තරඟ 5ක්, එක්දින තරඟ 6ක් සහ විස්සයි 20 තරඟ 2ක් මේ ක්‍රීඩාංගනයේදි පවත්වලා තියනවා. පිතිකරුවන්ට බොහොම ලේසියෙන් ලකුණු රැස් කරගන්න පුළුවන් විදිහේ තණ තීරුවක් තිබෙන මේ ක්‍රීඩාංගනයේ එක අන්තයක් හිටපු ඉන්දීය ක්‍රීඩක VVS ලක්ෂ්මන් නමිනුත් නම් කරලා තියනවා.

 

7. ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය (Adelaide Oval) – ඕස්ට්‍රේලියා​ව

ප්‍රේක්ෂක ප්‍රමාණය -53,585

ඕස්ට්‍රේලියාවේ වගේම ලෝකයේත් සුන්දරම ක්‍රිකට් ක්‍රීඩංගනයක් හැටියට සැලකෙන ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගනය ආරම්භ වෙන්නේ 1871 අවුරුද්දේදියි. මේ ක්‍රීඩාංගනය ක්‍රිකට් වලට අමතරව පාපන්දු, රගර්, ටෙනිස් ආදී වු වෙනත් ක්‍රීඩා සහ සංගීත සන්දර්ශන ආදියට භාවිතා කරන ක්‍රීඩාංගනයක්. 1884 දී තමයි මේ පිටියේ පළමු ටෙස්ට් තරඟය පවත්වන්නේ. ඒ තරඟයේදී එංගලන්තය අතින් ඕස්ට්‍රේලියාව කඩුළු 8ක පරාජයක් ලබනවා. 1975 දී ඕස්ට්‍රේලියාව සහ බටහිර ඉන්දීය කොදෙවු කණ්ඩායම අතර මේ පිටියේ පළමු එක්දින තරඟය පැවැත්වෙනවා. එයින් ඕස්ට්‍රේලියාව කඩුළු 5කින් ජයගන්න සමත් වෙනවා. 1999 අවුරුද්දේ රොස් ඉමර්සන් විසින් මුරලිදරන්ට පන්දුව දමා ගැසීමේ චෝදනාව එල්ල කරන්නෙත් මේ ඇඩිලේඩ් ඕවල් පිටියේදී තමයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *