සාමාන්‍යයෙන් යුග ගීතයක් කියන්නේ ගායකයෙක් සහ ගායිකාවක් එකතු වෙලා ගායනා කරන ගීත. හැබැයි මේ සම්මතයට පිටින් ගිහිල්ලා ගායකයන් එක් අයෙක් හෝ කීප දෙනෙක් ගායනා කරන යුග ගීත තියනවා. ඒ වගේ ගීත ගැන අපි කලින් දවසක සටහනක් තිබ්බා.
අපි අද කථා කරන්න යන්නේ ඒ මාතෘකාවෙම විරුද්ධ මාතෘකාව. ඒ කිව්වේ ගායිකාවන් දෙදෙනකු ගායනා කරපු යුග ගීත ගැන.
1. මුළු රැයක් පුරා – සමිතා මුදුන්කොටුව/ මරියසෙල් ගුණතිලක
ප්‍රේම ත්‍රිකෝණවලට මැදි වීම අද සමාජයේ සුලබ දෙයක්. එකම පිරිමියෙකුට පෙම් බැඳි කාන්තාව සහ ඔහුගේ බිරිඳ අතර සිදු වන ආත්මීය සංවාදයක් මේ ගීතයට වස්තු විෂය වෙලා තියෙනවා. විශේෂත්වය වෙන්නේ ඔවුන් දෙදෙනාම එකිනෙකාට දොස් පවරගන්නේ නැති එක. ආචාර්ය දයාරත්න රණතුංග ගායනා කරන “සමකෝණී ත්‍රිකෝණයකි” ගීතය තුළ කතා වෙන්නේ මේ වගේම කතාවක් වුණත් එහි කියවෙන්නේ පිරිමියාගේ කතාව. නන්දා මාලනිය විසින් ගායනා කරන “රන් කෙන්ඳෙන්” ගීතය තුළ පිරිමින් දෙදෙනෙකුට මැදිවුණු කාන්තාවකගේ චිත්ත ස්වභාවය විස්තර කෙරෙනවා. නමුත් තුන් කොන් ප්‍රේම කතාවක ස්ත්‍රීන් දෙදෙනකුගේ ආත්ම ප්රකාශනය ගැන කියවෙන එකම ගීතය මෙය වෙන්න පුළුවන් (ඔබ දන්න වෙනත් ගීත තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ ඒ ගැන අදහස් පළ කරන්න, අපි මේ සටහන නිවැරදි කරන්නම්)
2. රතු ගුරු පාරේ – ලතා වල්පොළ/ ධම්මිකා වල්පොළ
ලතා වල්පොළ සහ ධම්මිකා වල්පොළ විසින් ගායනා කළ මේ ගීතය ඉතා ජනප්‍රිය ගීතයක්. දියණියක් සහ මවක් තම සිතැඟි එකබව හෙළි කරමින් ගායනා කරන මේ ගීතය සාමාන්‍යයෙන් මවක් අවවාද කරන ආකාරයෙන් බැහැරව ගායනා කරන ගීතයක්. තම දියණිය පිළිබඳව ආඩම්බර වන මවක්, තමන් සහ දියණිය සහෝදරියන් දෙදෙනෙකු විලසින් සමීප විය යුතු බව මින් පවසනවා. මේ ගීතය තුළ දියණිය තමන්ගේ මවට දක්වන අසීමිත සෙනෙහසත් මව තමන්ගේ දියණිය කෙරෙහි දක්වන දයාර්ද්‍ර හැඟීමත් රසිකයාට සමීප කරවනවා.
3. සිනා මල් ගොඩක් – නිර්මලා රණතුංග/ සෙව්වන්දි රණතුංග
නිර්මලා රණතුංග සහ සෙව්වන්දි රණතුංග එක්ව ගායනා කළ මේ ගීතය තුළ අපි කලින් සඳහන් කරපු ආකාරයේ මවක් විසින් තම දියණියට ලබා දෙන අවවාද ඇතුළත් වනවා. විශේෂත්වය වන්නේ එම අවවාද සෘජු වශයෙන් නොව ඉතාමත් සාහිත්‍යය අනුකූලව ව්‍යංගයෙන් ඉන් ලබා දීමයි. දියණිය කුඩා බැවින් බොහෝ දේවල පිට ඔපයට රැවටීම ස්වභාවික බව අම්මා දන්නවා. මේ නිසා මේ අම්මා තමන්ගේ දියණියට කියන්නේ පිට ඔපය තුළ සැඟවුණු කටුකත්වය සහ රැවටිලිසහගත ස්වභාවය ගැන අවධානයෙන් ඉන්න කියලා.
4. සෙනෙහස පුදා – මාලනී බුලත්සිංහල/ සන්ධ්‍යා බුලත්සිංහල
ලංකාවේ ගීත සාහිත්‍යය තුළ අම්මාවරුන් ගැන කියවෙන ගීත බොහොමයක් තියෙනවා. නමුත් ඒ අතරින් පිය ගුණ ගීත තියෙන්නෙ අල්පයක්. ඒ අල්පයෙනුත් පිය ගුණ ගීත වැඩි වශයෙන් ගායනා කරලා තියෙන්නේ පිරිමින් විසින්. සමහර විට පිරිමි නිසා තාත්තා ගැන අගය වැඩිපුර දැනෙනවා ඇති. හැබැයි පිය ගුණ ගීත ගැන කියද්දී අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුම ගීතයක් තමයි අපි ඒ ඉදිරිපත් කළේ. මාලනී බුලත්සිංහල සහ සන්ධ්‍යා බුලත්සිංහල සහෝදරියන් විසින් ගායනා කරපු මේ ගීතය දියණියන් සිටින පියවරුන්ගේ හදවතටම කිඳා බහින ගීතයක් කියලා කිව්වොත් වැරැද්දක් නැහැ කියලා අපි හිතනවා.
5. ලස්සන රත්තරන් බබෝ – රුක්මණී දේවී/ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර
“සැමියා බිරිඳගේ දෙවියාය” චිත්‍රපටයට ඇතුළත් වන රුක්මණී දේවිය සහ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර විසින් ගායනා කරන මේ ගීතය ඉතාමත් ලයාන්විතයි. ඊටත් වඩා සුවිශේෂ වන්නේ මවක් වීමට අසීමිතව කැමැත්තෙන් සිටින කාන්තාවක් තව අද දැරියක් කෙරෙහි දක්වන ආදරය නිරූපණය කරමින් ලියැවී ඇති සහ ගායනා කරන ගීතයක් වීම නිසයි. විශේෂයෙන්ම එම චිත්‍රපටි සන්දර්භය තුළ ගත් කළ මෙම ගීතය සාමාන්‍ය අසන්නෙක්ට වඩා චිත්‍රපටි ප්‍රේක්ෂකයාට වැඩියෙන් දැනෙන බව කිව යුතුයි.
6. ගාලා සුවඳ රස අඳුන් – ත්‍රී සිස්ටර්ස්
ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ගායනා කරන බොහෝ ගීත ගායනා කළේ එතුමිය තනියෙන්ම පමණක් නෙමෙයි, ඇගේ සහෝදරියන් වුණු මල්ලිකා සහ අයිරාංගනී සමඟයි. ඔවුන් තිදෙනා ප්‍රසංග වේදිකාව තුළ දී “Three Sisters” නමින් ප්රකටව හිටියා. නමුත් මල්ලිකාගේ මරණයත් සමග අනෙක් සහෝදරිය වුණු අයිරාංගනීත් ගායන ලෝකයෙන් සමු ගත්තා. ඉන් පසුව ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය තනියම ගීත ගායනා කිරීම ආරම්භ කළා. හැබැයි Three sisters ආරම්භ වෙන්නත් කලින් ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය ජනප්‍රිය තරුවක් බවට පත් ව හිටියා. මේ නිසා ඇගේ පියාගේ යෝජනාවක් අනුවයි Three sisters ගොඩනැගෙන්නේ.
7. දල්වාලමු අපි එක ඉටි පහනක්
මේ ගීතය බොහෝ දෙනෙක් හිතන්නේ චරිතා ප්‍රියදර්ශණී මහත්මිය ගේ පමණක් නිර්මාණයක් කියලා. නමුත් මෙම ගීතයට ජීවය ලබා දෙන්න ගායිකාවෝ සිය දෙනෙක් සම්මාදන් වෙලා තියෙනවා. පුෂ්පා රම්ලනී මහත්මියගේ ගී පද රචනයක් වුණු මෙම ගීතය චරිතා ප්‍රියදර්ශනී මහත්මිය ගේ තනුවකින් රස ගැන්වී කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ අනුග්‍රහයෙන් තමයි බිහිවෙන්නෙ. ලංකාවේ කාන්තාවන් අගය කරමින් ලියැවුණු විශිෂ්ටතම ගීතයක් විදිහට මේ ගීතය සලකන්න පුළුවන්.
අපිට මේ ලැයිස්තුවට එකතු කරන්න මග හැරුණු තවත් ගීත තියෙනවා නම් ඒ ගැන කමෙන්ට් සෙක්ෂන් එකේ කතා කරන්න කියලා ඔබට ආරාධනා කරනවා. ඒ වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply