ලංකාවේ අපිටම ආවේණික වුන කෑම වලට අපි කවදත් ආදරෙයිනේ… කොහෙ හරි දුර ගමනක් ගියත් කන්න හොයන්නෙ ගමේ කෑමනේ… ඒ වගේම කාටහරි ස්වයං රැකියාවක් විදියට හදලා කඩවල් වලට දාන්නත් පුළුවන් ජාතියෙ කෑම රෙසිපි ටිකක් තමයි අද අපි ගෙනාවේ…
1. ලැවරියා
අවශ්‍ය ද්‍රව්‍ය
- ඉඳිආප්ප පිටි ග්‍රෑම් 500
- පොල් බෑයක පොල්
- සීනි ග්‍රෑම් 200
- තලාගත් කරදමුංගු ඇට 4-5
- වතුර කෝප්ප 1/2
- ලුණු
- මුලින්ම පැණිපොල් එක හදාගන්න භාජනයක් ලිපේ තියලා සාමාන්‍ය ගාණට ගින්දර දාගන්න. භාජනේ රත් වේගෙන එනකොට සීනි ටික දාගන්න. සීනි ටික රන්වන් පාට වේගෙන එනකොට හැඳිගාන්න. අඩිය අල්ලන්න දෙන්න එපා. තද පාටට කැරමල් වේගෙන ආවම වතුර දාලා හැඳිගාන්න.
- ඒකට තලාගත්තු කරදමුංගු ටිකත් එක්ක කැමති නම් ලුණු පින්ච් එකක් දාගන්න. උතුරලා බුබුලු දාන තරමට ආවම පොල් ටික දාගන්න. හොඳට කලවම් කරලා ලිපෙන් බාගන්න.
- ඉඳිආප්ප පිටි ටික පැකට්ටුවේ සඳහන් විදියට අනාගෙන ඉඳිආප්ප වංගෙඩියට පුරවගන්න.
- තෙල් ගාගත්ත කෙසෙල් කොළයක් හෝ ලන්ච් ශීට් එකක් උඩට ලොකුවට ඉඳිආප්පයක් වක් කරගන්න.
- මේක මැද්දට පොල්පැණි දාගෙන කෙසෙල් කොළේ දෙපැත්තෙන් අල්ලල පරිස්සමෙන් නවාගෙන ලොකු ලැවරියා වට්ටියක් උඩට හෝ ඉඳිආප්ප වට්ටි දෙකක් උඩට ලැවරියා එක දාගෙන විනාඩි හත අටක් ස්ටීම් කරගන්න.
2. පෑන් කේක්
බැටර් එක සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 300
- ලුණු
- බිත්තර 1
- කහකුඩු පින්ච් එකක්
පැණි පොල් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
- පොල් බෑයක පොල්
- සීනි ග්‍රෑම් 200
- තලාගත් කරදමුංගු ඇට 4-5
- වතුර කෝප්ප 1/2
- ලුණු
- මේ ඔක්කොටම වතුර ටික ටික දාලා බ්ලෙන්ඩ් කරගන්න. තරමක උකු බැටර් එකක් හදාගන්න.
- පැණිපොල් එක ලැවරියා වලට වගේම හදාගන්න.
- දැන් පෑන් එක ලිපේ තියලා බටර් ටිකක් ගාලා බැටර් එක දාලා තුනී රොටියක් දාගන්න.
- මේක අඩු ගින්දරේ පුච්චගන්න. මොකද පෑන් කේක් හදන කොට පුච්චගන්නෙ එක පැත්තයි. අනික් පැත්ත තැම්බුනාම ඇති.
- දැන් ලිපෙන් බාලා රස්නෙ තියෙද්දි පුච්චපු නැති පැත්තෙ කෙලවරින් පැණිපොල් ටික තියලා දෙපැත්තෙන් නවාගෙන ලස්සනට බුරුල් වෙන්නෙ නැතිවෙන්න රෝල් කරගන්න.
3. වණ්ඩු ආප්ප
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බාගත් පාන්පිටි ග්‍රෑම් 500
- පොල්වතුර කෝප්ප 1
- මිටිකිරි කෝප්ප 1
- සීනි ග්‍රෑම් 250 හෝ පැණි කෝප්ප 2
- දියකිරි කෝප්ප 1
- එනසාල් ඇට 3-4
- ආප්ප සෝඩා තේ හැඳි 1/2
- පාන්පිටි වලට ලුණු දාලා කලවම් කරගන්න. මේකට පැණි, පොල්වතුර හා දියකිරි දාලා හොඳට අනාගන්න. එනසාල් ටිකත් එකතු කරගන්න. මිශ්‍රණය තරමක දියාරුවට එයි. ඒක කමක් නෑ. දැන් මේක පැය 6ක් හෝ උදේට හදනව නම් රැයක් වහලා තියන්න ඕනේ.
- ඊට පස්සෙ අරගෙන මිටිකිරි ටික දාලා අනාගෙන ආප්ප සෝඩා තේ හැඳි 1/2ක් දාලා අනලා පැය භාගයක් තියන්න.
- ස්ටීම් කරගන්න පොඩි ඇලුමිනියම් කප් ටිකක් ලෑස්ති කරලා ඒකට කැන්ද කොළ දාලා මේ මිශ්‍රණයෙන් ටික ටික දාලා විනාඩි 20ක් ස්ටීම් කරගන්න.
4. ඥාණ කතා
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 250
- බටර් ග්‍රෑම් 50
- බිත්තර 1
- සීනි ග්‍රෑම් 100
- බේකින් පව්ඩර් තේ හැඳි 3
- වැනිලා ටිකක්
- මුලින්ම බටර් හා සීනි බීට් කරගන්න.
- සීනි හොඳට දිය උනාම බිත්තරේ දාලා බීට් කරගන්න. පාන්පිටි හා බේකින් පව්ඩර් එක් කරලා වෙනම හලාගෙන තියාගන්න.
- මේ පිටි මිශ්‍රණය බැටර් එකට එකතු කරලා වැනිලා ටිකකුත් දාල අනාගන්න. පොඩ්ඩොන්ට දෙන්න පාට පාට ඥාණ කතා හදන්න නම් කැමති පාටක් එකතු කරගන්න.
- අතේ නොඇලෙන පදමට ඩෝ එක ආවම පොඩි පොඩි බෝල හදාගන්න. අතින් පොඩ්ඩක් පැතලි කරලා එක පැත්තක සීනි තවරගෙන බටර් ගාගත් තැටියක දාලා 180°Cට විනාඩි 20ක් බේක් කරගන්න.
5. අඩ
අවශ්‍ය ද්‍රව්‍ය
- පාන්පිටි ග්‍රෑම් 500
- සීනි ග්‍රෑම් 350
- බිත්තර 1
- බටර් ග්‍රෑම් 50
- යීස්ට් පින්ච් එකක්
- ආප්ප සෝඩා තේ හැඳි 1
- පොල්කිරි කෝප්ප (උකු) කෝප්ප 1
- ලුණු පින්ච් එකක්
- සීනි, බිත්තර සහ බටර් එකට දාලා බීට් කරගන්න. දැන් ඒකට උකු පොල් කිරි වලින් භාගයක් දාලා කලවම් කරගන්න.
- ලුණු සහ පිටි ටික දාගන්න. ඉතුරු කිරි වලට යීස්ට් ටික දාලා කලවම් කරලා ඒක අර කලින් හදාගත් මිශ්‍රණයට දාලා කලවම් කරගන්න. අන්තිමට ආප්ප සෝඩා ටික දාගන්න.
- මේක රැයක් පිපෙන්න තියලා අරගන්න. ඉන් පස්සේ තාච්චියකට තෙල් ටිකක් ගාලා මේ මිශ්‍රණයෙන් ටිකක් දාලා, අඩු ගින්දරේ ලිපේ තියල ගිනි අඟුරු හෝ පුළුස්සපු පොල් ලෙලි දාගත්ත පියනකින් වහන්න ඕන.
- දර ලිපක නම් පොල් ලෙලි දාන්න පහසුයි. නැත්නම් පොල්කටු ටිකක් පුච්චල දුම් අල්ලන විදියට සකසගෙන ගන්න පුළුවන්.
- මේ ක්‍රමය අමාරු අයට අඩ අලුත් ක්‍රමේට බේක් කරන්නත් පුළුවන්. මෆින් ට්‍රේ එකකට දාල සෙල්සියස් 160ට ප්‍රීහීට් කරපු අවන් එකක විනාඩි 8-10ක් වගේ බේක් කරගන්න.
Leave a Reply