Lifie අපි ගේන ආටිකල් සීරිස්වලට ඔබෙන් හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා අපි හිතුවා ඔබේ දැනුම උදෙසා තවත් අලුත් ආටිකල් සීරීස් එකක් පටන්ගන්න. කලින් අපි ලියපු සමහර ආටිකල් ඕපදූප කියලා පස්පඩංගුවේ සමහර පාඨකයෝ බැණලත් තිබ්බා. අපි බලමු මේ ආටිකල්වලට ඔබෙන් ලැබෙන ප්‍රතිචාර කොහොම වෙයිද කියලා. ඒ අනුව අපි ඊළඟ කොටසුත් ලියන්න බලාපොරොත්තු වෙනවා.
1. වෑත්තෑවේ හාමුදුරුවෝ ගියේ චීනෙටද?
වෑත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍යය ලිව්වේ තමන්ගේ ගුරුවරයා වුණු රාහුල හාමුදුරුවන්ගේ හිතේ තමන් ගැන ඇති වුණු කහටක් නිසා කියලා කතාවක් තියෙනවා. ඒ කතාවට අනුව ගුත්තිල කාව්‍යය අසුබ ගණයකින් ආරම්භ වෙච්ච නිසා වෑත්තෑවේ හාමුදුරුවන්ට ලංකාව අත ඇරලා (සමහර ජනප්‍රවාදවලට අනුව) සිවුරු ඇරලා ඉන්දියාවට යන්න වුණාලු. මේ ජනප්‍රවාදේ ගැන අධ්‍යනය කරන ඉතිහාසඥයෝ මතයක් ඉදිරිපත් කරලා තියෙනවා, වෑත්තෑවේ හාමුදුරුවන්ට යන්න සිද්ධ වුණේ චීනයට කියලා. ඒකට හේතුව විදිහට කියන්නේ ගුත්තිල කාව්‍යය ලියන්න උන්වහන්සේට ආරාධනා කරපු හලාවත ජයපාල කියන ප්‍රභූවරයා චීනෙට ගිහින් එහිදී මියගිය බවට චීන වාර්තාවල සඳහන් වීම
2. අලගියවන්න පඬිතුමා කුසදාකව ලිව්ව හේතුව
කුස ජාතකය පාදක කරගෙන ලියවිච්ච සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථ දෙකක් අපිට සාහිත්‍යය හදාරද්දි මුණ ගැහෙනවා. එකක් දඹදෙණි යුගයේ ලියැවුණු කව්සිළුමිණ, අනිත් එක සීතාවක යුගයේදී අලගියවන්න මුකවෙටි පඬිතුමා විසින් රචනා කරපු කුසදාකව. ජනප්‍රවාදයේ කියවෙන විදිහට මුකවෙටි පඬිතුමාගේ සහෝදරියක් විවාහ වුණු නිවසින් ප්‍රශ්නයක් හදාගෙන ආපහු ඇවිත් තියෙනවා. ඒ අවස්ථාවේදී තමන්ගේ සහෝදරියගේ මුරණ්ඩුකම්වලට සමාව දෙන්න කියලා මස්සිනාට දැනුම් දෙන්න තමයි කුසදාකව රචනා කරලා තියෙන්නේ. හැබැයි මේ ජනප්‍රවාදය සනාථ වෙන සාධක නම් කුසදාකව තුළ මුණගැහෙන්නේ නෑ.
3. මුවදෙව්දාවත ලිව්වේ ගජබාහු රජතුමාද?
මෑතකදී මියගිය ආචාර්ය විනී විතාරණ මහතා මුවදෙව්දාවත පොතේ කතුවරයා ගැන අමුතුම මතයක් පළ කළා. එතෙක් කල් මුවදෙව්දාවතේ කතුවරයා කවුද කියන එක ගැන තිබ්බේ ප්‍රශ්නාර්ථයක්. එතුමා කිව්වේ පොළොන්නරු යුගයේ මේ කෘතිය ලිව්වේ ගජබාහු රජතුමා කියලා. මහා පරක්‍රමබාහු රජතුමා සමග ඇති කරගත් සන්ධානයකින් පස්සේ ගජබාහු රජතුමා සිංහාසනය අත් ඇරියා. (සමහරු කියන්නේ මහණ වුණා කියලා). සිංහාසනය අත හැරීමෙන් තමන් විඳින නිරාමිස සතුට පැහැදිලි කරමින්, මඛාදේව ජාතකය පදනම් කරගෙන ගජබාහු රජතුමා විසින් මුවදෙව්දාවත රචනා කළා කියලායි විනී විතාරණ මහත්තයා කියන්නේ.
4. පුද ලද පූජාවලිය
පූජාවලිය රචනා කරලා තියෙන්නේ මයුරපාද පරිවේණාධිපති බුද්ධපුත්‍ර හාමුදුරුවෝ. උන් වහන්සේ වැඩ වාසය කළේ දඹදෙනි යුගයේ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා රජ කරපු සමයේ. උන්වහන්සේ පූජාවලිය රචනා කරලා රාජ සභාවට ඉදිරිපත් කළා. අසාමාන්‍ය උගතකු වුණු දෙවැනි පරාක්‍රමබාහු රජතුමා පූජාවලියේ විශිෂ්ටත්වය ගැන අසීමිත ලෙස පැහැදුණා. රජතුමා ඇතෙක්ව සරසලා ඇතාගේ කුඹය මත පූජාවලිය තියලා මහා පෙරහැරකින් මුළු නගරය පුරාම සංචාරය කෙරෙව්වා. ඒ වගේම බුද්ධපුත්‍ර හාමුදුරුවො වෙනුවෙන් විවිධ පුද සත්කාරත් සිදු කළා.
5. ගුරුළුගෝමීගේ මුණුබුරා
අමාවතුර රචනා කළේ ගුරුළුගෝමි පඬිතුමා කියන එක අපි බොහෝ දෙනෙක් දන්නවා. හැබැයි ඔබ දැනගෙන හිටියද ගුරුළුගෝමී පඬිතුමාගේ ඥාතියෙකු විසින් තවත් ලංකාවේ ප්‍රධානතම සාහිත්‍ය කෘතියක් රචනා කරා කියලා? මේ සාහිත්‍ය කෘතිය තමයි මයුර සන්දේශය. කවීශ්වර නම් වූ ඔහු තමන්ව හඳුන්වලා දෙන්නෙ ගුරුළුගෝමි පඬිතුමා ගේ මුණුපුරා විදිහට. අද කාලේ නම් පරම්පරා කීපයක පිරිස් කෘතීන් රචනා කිරීම සාමාන්‍ය දෙයක් වුණත්, සම්භාව්‍ය සාහිත්‍යය තුළ ඥාතීන් දෙදෙනෙකු විසින් රචනා කළ බවට ස්ථිරවම කිව හැකි කෘති දෙකක් විදිහට අමාවතුර සහ මයුර සන්දේශය සඳහන් කරන්න පුළුවන්.
6. ලංකාවේ දැනට ඉතිරිව තියන පැරණිම සන්දේශ කාව්‍යය
මේ ප්‍රශ්නය අහන බොහෝ තැන්වල දී උත්තර විදිහට ලැබෙන්නේ තිසර සන්දේශය හෝ මයුර සන්දේශය කියන උත්තර. මොකද මේ සන්දේශ දෙකෙන් කලින් ලියවුනේ මොන සන්දේශයද ගැන කියන එක ගැන ඉතිහාසඥයන් අතර විවාදයක් තියෙන නිසා. හැබැයි මේ උත්තර දෙකම වැරදියි කියලා අපි කිව්වොත් ඔබ මොකද හිතන්නේ? චුට්ටක් කල්පනා කරල බලන්න. මෙතැනදී අපි අහලා තියෙන්නේ සිංහල සන්දේශ කාව්‍ය ගැන නෙමෙයි, දැනට ඉතිරි වෙලා තියෙන සන්දේශ කාව්‍ය අතරින් පැරණිම ග්‍රන්ථය ගැන. මේ ප්‍රශ්නෙට උත්තරේ තමයි මානාවුලු සන්දේශය. මේ සන්දේශය ලියැවෙන්නේ පාළි භාෂාවෙන්.
7. මහා කාව්‍ය ලියන්න ආරාධනා කරපු කාන්තාවෝ
සිංහල සාහිත්‍යයේ දී අපිට මහා කාව්‍ය දෙකක් මුණගැහෙනවා. එකක් දඹදෙණි යුගයේදී ලියවුණු කව්සිළුමිණ, අනෙක කෝට්ටේ යුගයේ ලියැවුණු කාව්‍යශේඛරය. විශේෂත්වය තමයි මේ මහා කාව්‍ය දෙකම ලියන්න ආරාධනා කරන්නේ කාන්තාවෝ වීම. දෙවැනි පරාක්‍රමබාහු රජතුමාට කව්සිළුමිණ ලියන්න කියලා ආරාධනා කරන්නේ කලිකල් සරසවි නම් දේවිය. එතකොට රාහුල හාමුදුරුවන්ට කාව්‍යශේඛරය ලියන්න කියලා ආරාධනා කරන්නේ හය වැනි පරාක්‍රමබාහු රජතුමාගේ දූ කුමරිය වූ උලකුඩය දේවිය.
එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්නත් අමතක කරන්න එපා
Leave a Reply