ලංකාවේ තියන ලස්සනම බස් රූට් 7ක්


මේ දවස්වල බස් ට්‍රෙන්ඩ් වෙන්නේ බස් සින්දු, කන පලන නලා, එලෝ මෙලෝ නැතුව ඩ්‍රයිව් කරන එක, අනතුරු වගේ දේවල් නිසා. හැබැයි බස් ගැන කතා කරනවා නම් ආසා හිතෙන ආදරේ හිතෙන දේවලුත් තියෙනවා. අපි තාම අපේ රටේ ලස්සන ගැන හරියටම දන්නේ නෑ. ඒ ලස්සන දැක බලා ගන්නත් උදේ රෑ නැතුව බනින බස් එකක නැග්ගොත් පුළුවනි. සමහරු මේ රූට්වල ගිහිල්ලා ඇති. නැත්තන්ට ඒ අත්දැකීම ලබා ගැනීමේ ආසාව ඇති වේවා!



1. අංක 21 බදුල්ල – මහනුවර


අති අලංකාර බස් රූට් එකක් වෙන්න ප්‍රධාන හේතුව මිනිසුන් අඩුවෙන් දකින්න ලැබෙන එක ද මන්දා. මේ බස් එක බදුල්ලේ රිදීපානෙන් ඉස්සරහට පැන්නුව මොහොතේ ඉඳන් තියෙන්නේ තනිකර ම කොළ පාට විතරමයි. ඒක ආය කොන්ක්‍රීට් වෙලා එන්නේ තැන්නෙකුඹුරෙදී. මේ රූට් එකට කියන්නේ පැරණි රජ මාවත. රජ මාවතක් නේන්නම්. වික්ටෝරියා – රන්දෙණිගල – රන්ටැඹේ අභය භූමිය මැදින් ජලාශ සහ වේලි බලාගෙන යන ගමනක් මේක. වෙලාවකට පාරේ අලිත් ඉන්නවා. නමුත් කිසිම දිනක වාහනයකට උන් ප්‍රහාරයක් එල්ල කරලා නෑ. 



2. අංක 99 බදුල්ල – කොළඹ


කොළ පාට, කඳු, තේ වතු, මහා වනස්පතියෝ, ඒ ලස්සන වැඩි කරවන වංගු, සීතල කියන දේවල් එක්ක කොළොම්පුරයට ඇදෙන මේ ගමනේ බලන්න මොනවද නැත්තේ. බදුල්ල – බණ්ඩාරවෙල – හපුතලේ – හල්දුම්මුල්ල – පඹහින්න – බලංගොඩ යනාදී ස්ථාන පහු කරන් ආවා කියන්නේ ඉතින් ලංකාවේ ලස්සනම ස්ථාන කීපයක් පහු කරගෙන ආවා කියන එකයි. හපුතලේ දී අනන්තය දක්වා ම පේන දර්ශන ටිකක් බලාගන්න පුළුවන්. බලංගොඩ හරියෙදි කොළ පාට අස්සෙන් වැටෙන දිය සීරා එක්ක අමුතුම ලස්සනක් තියෙනවා. 



3. අංක 488 බලංගොඩ – හැටන්


අංක දෙකේ බස් රූට් එකකින් මිදිලා ප්‍රාදේශීය රූට් එකකට පැන්නේ අපි කතා කරන්නේ ලස්සනම බස් රූට් ගැන විතරක් නිසා. මේ රූට් එකේ දී බගවන්තලාව පහු කරනවා. ඒ කියන්නේ ඉතින් තේ වතු තමයි. තේ වතුවලට අමතරව අමුතු යමක් ඒ කිව්වේ ස්වාභාවික නොවන යමක් විදියට දකිනවා නම් ඒ තේ පටවාගත්තු ලොරි තමයි. හැබැයි දැන් ඒවත් ඒ පරිසරයට අනුගත වෙලා.



4. අංක 31 මාතර – බණ්ඩාරවෙල


ඔන්න ඉතින් අපි මේ ගමනේ දකුණු රටත් අමතක කරේ නෑ. මාතර – බෙලිඅත්ත – තංගල්ල – අම්බලන්තොට – හම්බන්තොට – ලුණුගම්වෙහෙර ආදී ප්‍රදේශ පහු කරගෙන එද්දී දකුණට ආවේණික වුණ පරිසර පද්ධතියේ එක යායට තියෙන කුඹුරු සහ තැනිතලා බිම් දකින්න පුළුවන්. ඔය ගමනේ අමුතු ම ලස්සන ඇල්ල – වැල්ලවාය පාර තමයි. ආයෙ ඉතින් ඒක වෙනම අත්දැකීමක්. වැස්ස කාලෙට අතිභයානකයි නාය යන වැඩෙත් එක්ක. රාවණා ඇල්ලත් ලස්සනට ගලාගෙන යනවා. ඒ අපූරු පරිසරය කුඹල්වෙල හන්දියෙන් එළියට බහිනකන් ම තියනවා. එතන ඉඳන් බණ්ඩාරවෙලටත් ඒ සෙතේ ම තමයි. නම් විතරයි වෙනස්.



5. අංක 87 තංගල්ල – යාපනය


ලංකාවේ තියන දිගම බස් ගමන තමයි මේ. ආසන්න වශයෙන් කිලෝමීටර 600 ගාණක් තියනවා. ලංකාවෙන් භාගයක් ම කවර්. පැය 14ක් වගේ කාලයක් යනවා. මාතර – ගාල්ල පැත්තේ ඉඳන් ඒ නගර ටික පහු කරගෙන ගාලු පාරේ සිරිය එක්ක කොළඹ එනවා. කොළඹ – මීගමුව – පුත්තලම – අනුරාධපුරය – මැදවච්චිය – වව්නියාව – කිලිනොච්චිය – අලිමංකඩ – යාපනය විදියට ඒ ගමන ඉවර වෙනවා. මේ එකකට එකක් වෙනස් පාරිසරික විෂමතා දැක බලාගන්න පුළුවන් හරි අපූරු ගමනක්. 



6. අංක 15 අනුරාධපුරය – කොළඹ


කොළඹ දිසාව පහු කරන් ඇවිත් වරකාපොළ – පොල්ගහවෙල – කුරුණෑගල – ඉබ්බාගමුව – මැල්සිරිපුර – ගලේවෙල – දඹුල්ල – මඩාටුගම – කැකිරාව – මරදන්කඩවල – තිරප්පනේ – ගල්කුලම ඉඳන් අනුරාධපුරයට බහින මේ ගමන් මගේ කිසිම විඩාවක් දැනෙන එකක් නෑ. අනුරාධපුරය ගැන අපේ හිත්වල තියන කර්කෂ වියළි ස්වාභාවයට වඩා නැවුම් ගතියක් මග දෙපැත්තේ තියන ගස් පේළිය නිසා ලැබෙනවා.

 


7. අංක 22 මහනුවර – මහියංගනය

මේ පාරේ සුවිශේෂ ම අංගය දහඅට වංගුව. නුවර ඉඳන් උඩුදුම්බර පහු කරගෙන දැන් පල්ලම් බහින්නයි සූදානම. පාර අලුතින් හදා ඇති නිසා දැන් අත දිග ඇරලා වංගු කපන්න පුළුවන්. ඒ වුණත් බොහෝ අනතුරු සිද්ධ වෙලා තියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *