පැණි බීම කියන්නේ මොනවද? සාමාන්‍යයෙන් නම් සීනි අඩංගු වෙන, කාබනීකෘත බීම වර්ග වලට තමයි එහෙම කියන්නේ. ඒ කිව්වේ ඔය අපි නිතර දෙවේලේ බොන ස්ප්‍රයිට්, කෝක්, ෆැන්ටා, පෙප්සි, ජින්ජර් බියර්, ක්‍රීම් සෝඩා වගේ ඕනම පැණි රස, කාබනීකෘත, කැෆේන් අඩංගු බීමක් ගැන තමයි. හරි. මේවා බොන එක බැලූ බැල්මට අවුලක් නෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇබ්බැහි වීමේ. ඒ කියන්නේ කැෆේන් බීම වලට වුනත්, සීනි බීම වලට වුනත් කෙනෙක් ඉතාම ඉක්මනින් ඇබ්බැහි වෙන්න පුළුවන්. ඒ කියන්නේ දවසකට පැණි බීම බෝතලයක් නැතුව කෑම කන්න බැරි ලෙවල් එකට ඇවිත් කියන්නේ ඇබ්බැහි වෙලා කියන එක. ඒකෙන් සිද්ධ වෙන ප්‍රධානතම හානිය විදියට ගොඩක් එක්ස්පර්ට්ස්ලා සඳහන් කරන්නේ තරබාරුකම, දෙවන වර්ගයේ දියවැඩියාව සහ දත් දිරා යාම තමයි. සමහරු කියනවා ඔය කියන තරමේ හානියක් නැහැයි කියලා. හැබැයි වෙන මොකක් වුනත්, අධික සීනි පරිභෝජනය නිසා මේ කාලේ කොයි තරම් සෞඛ්‍ය ගැටළු එනවද කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. අන්න ඒ නිසා හරි පැණි බීම ඇබ්බැහිය නවත්ත ගන්න එක තමයි සුදුසු. ඒකට පාර තමයි මේ.
1. මොනවද අපි මේ බොන්නේ?
ඔය පැණි බීම ඇබ්බැහිය වළක්වා ගන්න පළවෙනි පියවර තමයි තමන් ඇත්තටම බොන්නේ මොනවද කියන කාරණය දිහා හොඳට බලන එක. ඒ කියන්නේ, ඊලඟ වතාවේ පැණි බීම බෝතලයක් අතට ගත්ත ගමන් බොන්නෙ නැතුව, ඒකේ ලේබලේ ගහලා තියෙන ඒවා කියවන්න. ඒකේ තියෙනවා මොනවද ඇත්තටම ඒකේ අඩංගු වෙන්නේ කියන එක. අන්න එතකොට තේරෙයි, ඇත්තටම පැණි බීම කියන්නේ අපේ ශරීරයට අත්‍යාවශ්‍ය තියා අවශ්‍ය දෙයක්වත් නෙවෙයි කියන එක. ඒ විතරක් නෙවෙයි, කොයි තරම් ඇසිඩික් දේවල් ටිකක්ද අපි දිනපතාම අමුතුවෙන් ශරීරයට එකතු කරගන්නේ කියන එක!
2. තමන්ගේම සෞඛ්‍යය දිහා බලන්න
දෙවෙනියට ගන්න ඕන පියවර තමයි තමන්ගේම ශරීර සෞඛ්‍යය දිහා හැරිලා බලන එක. දැන් ඔය සරල ගූග්ල් සර්ච් එකකින් වුනත් හොයාගන්න පුළුවන් දීර්ඝ කාලයක් නොකඩවා පැණි බීම බොනකොට තමන්ගේ ශරීරයට වෙන්න පුළුවන් හානිය. හැබැයි එච්චර ඕන නෑ. ගිහින් සීනි චෙක් කරගන්න. තමන්ගේ ශරීරය කොයි වගේ වෙලාද කියලා බලන්න. දත් දොස්තර ගාවට ගිහින් දත් චෙක් කරගන්න. ඔයත් දීර්ඝ කාලයක් පැණි බීම බොන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ වෙනකොට සෞඛ්‍ය ප්‍රශ්න පටන් අරගෙන තියෙන්න ඕන. ඒකට සෘජු හේතුව පැණි බීම නොවෙන්න පුළුවන්. හැබැයි අනිවාර්යයෙන්ම පැණි බීම වලත් දායකත්වයක් තියෙනවා. දැන්, තමන්ගේ සෞඛ්‍යය රැකගන්න ඕන නම්, ඒ දායකත්වය හරි කපා හරින්න ඕන කියන අවබෝධයට එන්න පුළුවන්.
3. තිබහට වතුර
ගොඩක් දෙනෙක් පැණි බීම බොන්නේ තිබහ නිවාගන්න. හැබැයි හැමෝම දන්න කාරණයක් තමයි, කාබනීකෘත බීම වලින් තිබහ නිවෙන්නෙ නැහැ කියන එක. අර කූල් ගතියත් එක්ක අපි මොහොතකට රැවටෙනවා තිබහ නිවුණා කියලා. හැබැයි ආයෙමත් මොහොතකින් ඔන්න තිබහ මතුවෙනවා. එතකොට අපි තව පැණි බීම එකක් බොනවා. ඔහොම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හොඳම දේ තමයි, තිබහ එන හැම වෙලාවකම හිත දැඩි කරගෙන වතුර බොන එක. විශේෂයෙන්ම මේ දැඩි උෂ්ණ කාලේ අපිට නිතර පිපාසය එනවනේ. ගෙදර ඉන්න වෙලාවක නම් මෙහෙම දෙයක් කරන්න පුළුවන්. වතුර බෝතලයක් ෆ්‍රිජ් එකට දාලා තියන්න ටිකක් වෙලා. ගොඩක්ම සීතල වෙනකල් නෙවෙයි. අර ලාවට චිල් ගතිය එනකල්. ඉන් පස්සේ එලියට අරගෙන බොන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා අති සාර්ථක ක්‍රමයකුත් තියෙනවා. මිලදී ගන්න ගුරුලේත්තුවක්. ඒකට වතුර දාලා තියන්න. අන්න එතකොට ස්වභාවික සීතලට වතුර බොන්න පුළුවන්.
4. ආසාවට තැඹිලි
අපිට සමහර වෙලාවට, විශේෂයෙන්ම ඔය ගමනක් බිමනක් යද්දී එහෙම සීනි රස තියෙන මොකක් හරි බීමක් බොන්න ආසාවක් එනවනේ. හැබැයි ඒ වෙලාවට අපිට ස්වභාවික විකල්ප තියෙනවා කියන එක අමතක කරන්න එපා. සුලභම දේ තමයි තැඹිලි. ඇත්තටම ගමනක් යනකොට අනිවාර්යයෙන්ම කිලෝමීටර් කීපයක් ඇතුළත එක තැඹිලි කඩයක්වත් හම්බුවෙන්න ඕන. නගරාසන්න ප්‍රදේශ වල නම් අඩියෙන් අඩියට සමහර වෙලාවට තැඹිලි විකුණන තැන් තියෙනවා. ඉතින් ඊලඟ වතාවේ පැණි බීම එකක් බොන්න ආසාව එනකොට කෙලින්ම නවතින්න තැඹිලි කඩේක. බොන්න සීතල ගතියට, රසට තියෙන තැඹිලි ගෙඩියක්. ඇඟටත් හොඳයි.
5. ටිකෙන් ටික අඩු කරමු
ඔය පැණි බීම ඇබ්බැහිය අති දරුණුවටම තියෙන සමහරු ඉන්නවා. ඒ කියන්නේ දවසකට මෙගා බෝතලයක් ගහන උන්දැලත් ඉන්නවා. හැබැයි ඉතින් එහෙම ඇබ්බැහියක් හිටි ගමන් නවත්ත ගන්නත් අමාරුයි. ඒකට කරන්න පුළුවන් දේ තමයි, වෙන ඕනම ඇබ්බැහියක් නවත්තන විදියට පියවරෙන් පියවරට ඉස්සරහට යන එක. හෙමිහිට අඩු කරන්න පටන් ගන්න එක. මෙගා බෝතලේකින් එකක් දවසකට පැණි බීම බොනවා නම් ඒක පොඩි ප්ලාස්ටික් බෝතලයක් දක්වා අඩු කරන්න. එහෙම ගිහිල්ලා පැණි බීම එකක් බොන දවස් පරතරය වැඩි කරන්න. ඔහොම ගිහින් නවත්තලම දාන්න.
6. කැෆේන් තියෙන වෙනත් බීම
සමහරුන්ට පැණි බීම එකකින් ඕන කරන්නේ අර කැෆේන් ෆික්ස් එක. ඒ කියන්නේ ඇහැරිලා එන, ජවසම්පන්න ගතිය. හැබැයි ඉතින් එහෙම දැනෙන්න ඇඟට අවශ්‍ය කැෆේන් ප්‍රමාණය ලබාදෙන සහ තවත් බිව්වට සෞඛ්‍ය ගැටළු එන්නෙ නැති තව බීම වර්ග තියෙනවා කියන එක අමතක කරන්න එපා. ඇයි තේ සහ කෝපි? හොඳම දෙයක් තමයි ග්‍රීන් ටී නැතිනම් කොළ තේ වලට හුරු වෙන එක. ගොඩක් දෙනා කොළ තේ වලට ආස නැත්තේ ඒක තිත්තයි කියලනේ. හැබැයි කොළ තේ තිත්ත වෙන්නේ හදන්න දන්නෙ නැති කම නිසා. හරියට හදපු කොළ තේ එකකින් නැතිනම් අඩු සීනි කෝපි කෝප්පෙකින් ඇඟට කැෆේන් ෆික්ස් එකත් ලැබෙනවා. අමතර ප්‍රශ්නත් නැහැ. හැබැයි ඉතින් දවසට කෝප්ප හතරකට වඩා බොන්න නම් එපා.
7. වතුර බෝතලයක් ගෙනියමු
ගොඩක් වෙලාවට අපි මේ දවස් වල එළිමහනේ යනකොට ඉක්මනටම විජලනය වෙනවා. වතුර තිබහත් එනවා. අතේ වතුර බෝතලයක් හැමෝම ගොඩක් වෙලාවට ගෙනියන්නෙ නැහැනේ. අන්න එතකොට වතුර එකක් ගන්නත් කඩේට යන්න වෙනවා. එතකොට පැණි බීම දැක්කහම බොන්නත් හිතෙනවා. ඉතින් ඔය ප්‍රශ්නේ කෙලින්ම අහවර කරලා දන්න පුළුවන් ගෙදරින් වතුර බෝතලයක් ගෙනියනවා නම්. තිබහ එන වෙලාවට අත ලඟ තියෙන වතුර බෝතලෙන් මුලින් බොන එකනේ කරන්නේ. එතකොට අර කඩේට ගිහින් පැණි බීම එකක් බොන්න ඕනය කියන ආසාව යටපත් වෙනවා.
8. ගණන් හදලා බලමු
සාමාන්‍යයෙන් පැණි බීම බෝතල් ගොඩක් මිල අධික නෑ. හැබැයි වතුර බෝතලයක් ඊටත් වඩා මිලෙන් අඩුයි. ඉතින් අධික පැණි බීම ඇබ්බැහියට ලක් වෙලා ඉන්න කෙනෙක්ට තව අමතර උත්ප්‍රේරකයක් තමයි, පැණි බීම වෙනුවෙන් තමන් මාසෙකට වියදම් කරන ගාණ දිහා බලන එක. එහෙම ගණන් හදලා බලන්නෙ නැතුව හිතෙන හිතෙන වෙලාවට පැණි බීම එකක් බොනකොට, ඇත්තටම තමන් ලොකු ගාණක් වියදම් කරනවා කියලා දැනෙන්නෙ නෑ. හැබැයි ගණන් හදලා බලනකොට තමයි ඇස් ඇරෙන්නේ!
දැන් මේ උපදෙස් අනුගමනය කරලා පැණි බීම ඇබ්බැහියට තිත තියන්න පුළුවන් නම්, අනෙක් නරක ජීවන පුරුදුත් ඒ විදියටම කඩා ගන්න පුළුවන් නම්, ටික කාලයක් යනකොට තේරෙයි තමන්ගේ ශරීර සෞඛ්‍යය හොඳ අතට හැරෙන හැටි!
Leave a Reply