අපෙන් සමුගෙන ගිය වේදිකාවේ රජවරු

අද වෙනකොට වේදිකා නාට්‍ය කියන දේ ගැන සමස්තයක් වශයෙන් අපේ රටේ මිනිස්සු එච්චර උනන්දුවක් දැක්වුවේ නැතත් දීර්ඝ කාලයක් අපේ රටේ ප්‍රධානම රස වින්දන මාධ්‍යය වුණේ වේදිකාව. සිනමාව එද්දි සොහොන් ලකුණු පෙන්නන්න වුණු වේදිකා නාට්‍යය ක්ෂේත්‍රය රූපවාහිනියේ ආගමනයත් එක්ක වළපල්ලටම ගියා. හැබැයි සමහර නාට්‍යකරුවන්ගේ නිර්මාණ නිසා විටින් වි​ට නාට්‍යශාලා පිරී ඉතිරී ගියා. (උදා: ජනක ප්‍රේමලාල්, විජය නන්දසිරි), අපේ මේ Lifie සටහන ලංකාවේ වේදිකාවේ අණසක පතුරවගෙන හිටපු රජවරු කීප දෙනෙක් ගැන. ඒ ගැන කියවන්න කලින් මේ දේත් කියන්න ඕන. ඒ තමයි, මේ අයව පෙළගස්සවලා තියෙන්නේ ශාස්ත්‍රානූකූලව නම් නෙමෙයි කියන එක.

 

1. එදිරිවීර සරච්චන්ද්‍ර

සරච්චන්ද්‍ර කියන්නේ අපේ රටේ වේදිකා නාට්‍ය කලාව උඩුයටිකුරු කළ පුද්ගලයා. මේ විප්ලවය ඔහු සිදු කරන්නේ 1956 දී, මනමේ නාට්‍යය නිර්මාණය කිරීම තුළින්. මනමේ කොයිතරම් විශිෂ්ට නිර්මාණයක්ද කියනවා නම් සරච්චන්ද්‍රගේ මතවාදීමය ප්‍රතිවාදියෙක් වුණු චන්ද්‍රරත්න මානවසිංහ තමන්ගේ වගතුග තීරු ලිපියකින් එම නාට්‍යය මහ ඉහළින් වර්ණනා කරනවා. ඊට පස්සේ සිංහබාහුවලින් මනමේ සමාන ප්‍රකම්පනයක් ඇති කරන්න සරච්චන්ද්‍ර සමත් වෙනවා. එතරම් අපේ සාමාන්‍යය ජනතාව නොදන්නවා වුණත් සමහර විචාරකයෝ කියන්නේ සරච්චන්ද්‍රගේ විශිෂ්ටම නාට්‍ය නිර්මාණය “පේමතෝ ජායතී සෝකෝ”කියලා.

 

2. හෙන්රි ජයසේන

හෙන්රි ජයසේනව අපේ පරම්පරාවට වැඩි වශයෙන් සමීප වුණේ රූපවාහිනිය නිසා. ඒත් හෙන්රි ජයසේන වේදිකාවේ තරම් අන් කිසිම මාධ්‍යක තමන්ගේ මුද්‍රාව තිබ්බේ නෑ. ලංකාවට බර්ටෝල් බ්‍රේෂ්ට්ව හඳුන්වාදීමේ ගෞරවය හිමි වෙන්නේ හෙන්රිට, ඒ හුණුවටයේ කතාව වේදිකා නාට්‍ය මගින්. ඊට පස්සේ ඔහු කරන කුවේණි සම්පූර්ණයෙන්ම ස්වතන්ත්‍ර නිර්මාණයක්. අපට පුතේ මඟක් නැතේ, මනරංජන වැඩවර්ජන මේ ඔහුගේ තවත් නිර්මාණ කීපයක්. හැබැයි මේ නිර්මාණවල විශිෂ්ටත්වයට ​හෙන්රි එක්කම මානෙල් ජයසේනගේ නමත් කියවෙන්න ඕන කියන දේ නොකියම බෑ. 

 

3. සුගතපාල ද සිල්වා

ලංකාවේ වේදිකාවේ “සොදුරු ආඥාදායකයා” කියන නම ගන්න සමත් වෙච්ච පුද්ගලයා සුගතපාල ද සිල්වායි. “අපේ කට්ටිය” කණ්ඩායම එක්ක ඔහු කරපු නාට්‍ය නිර්මාණ ලංකාවේ වේදිකා නාට්‍ය කලාවේ හැරවුම් ලක්ෂ්‍යය වුණා. එච්චර කල් වේදිකා නාට්‍යවල තිබ්බ මහ පොළොවෙන් දුරස් ගතිය අඩු කරලා වේදිකා නාට්‍යය තුළින් සාමාන්‍ය ජන ජීවිතය නිරූපණය කිරීමේ ශක්‍යතාවයට ගෙන ආවේ ඔහු විසින්. තට්ටු ගෙවල්, බෝඩිංකාරයෝ, මරාසාද් ඔහුගේ නාට්‍ය නිර්මාණ අතරින් කීපයක්. සුගතපාල ද සිල්වාගේ විචිත්‍රවත් ජීවිතය ගැන වෙනම සටහනකින් කතා කරන්න ඕන, ඒ ජීවිතය ඒ තරම් රස ගුලාවක්.

 

4. බන්ධුල ජයවර්ධන

ඇවිදින විශ්වකෝෂයක් වුණු බන්ධුල ජයවර්ධන මහත්තයා නාට්‍ය විශ්වය ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සමීප කරන්න උත්සාහ කළා. විශේෂයෙන් වර්තමාන බටහිර නාට්‍ය කලාවට ප්‍රභවය දුන්න පුරෝගාමී ග්‍රීක නාට්‍ය කලාව ගැන ලංකාවේ ප්‍රේක්ෂකයන්ට තියා සරසවි ඇඳුරන්ටවත් දැනුමක් තිබ්බේ නෑ. මේ හිඩැස එතුමා සම්පූර්ණ කළා. නමුත් එතුමා ග්‍රීක නාට්‍යය ගෙඩි පිටින් ලංකාවේ ප්‍රේක්ෂකාගාරයට ගේන්න උත්සාහ කළේ නෑ. හොඳම උදාහරණය විදිහට එතුමාගේ ජනප්‍රියතම නාට්‍යය වුණු “බෙරහඬ” හඳුන්වන්න පුළුවන්.

 

5. දයානන්ද ගුණවර්ධන 

නරි බෑනා නාට්‍යය ගැන නොදන්න කෙනෙක් ඉන්නවා නම් ඒක ලෝක පුදුමයක් වෙන්න ඕන. දයානන්ද ගුණවර්ධන කියන්නේ ආවට ගියාට නාට්‍ය හදපු කෙනෙක් නම් නෙමෙයි. ඔහුගේ හැම නිර්මාණයක් පිටිපස්සෙම විශාල අධ්‍යනයක් තිබ්බා. ඒ වගේම ඔහු තමන්ගේ නළු නිළියන්ගෙන් ඒ හා සමාන කැපවීමක් බලාපොරොත්තු වුණා. පස්සේ කාලෙක චිත්‍රපටියක් වුණු “බක්මහ දීගේ” මුල් අවස්ථාවේදී  “බක්මහ අකුණු” නම් වේදිකා නාට්‍යයක්. නමුත් ඔහු මංගල දර්ශනයෙන් පස්සේ එය නැවත පෙන්වන්නට උත්සහ නොකරන්නේ එහි ඇතැම් නළුනිළියන්ගේ රඟපෑම ගැන සෑහීමකට පත් නොවීම නිසා. “ආනන්ද ජවනිකා, මධුර ජවනිකා, ගජමන් පුවත” මේ ඔහු අතින් නිර්මාණය වූ තවත් හද බැඳගත් නිර්මාණ කීපයක්.

 

6. ආර්. ආර් සමරකෝන්

“කැලණි පාලම, අහසින් වැටුණු මිනිස්සු, ඉඩම, රජකතාව”… මේ ආර්.ආර්ගේ වේදිකා නාට්‍යය අතරින් කීපයක්. මුලින් සඳහන් කරපු වේදිකා නාට්‍ය තුන නිසා ඔහුගේ නම ලංකාවේ වේදිකා නාට්‍යය ක්ෂේත්‍රයේ නොමැකෙන විදිහට තියන්න සමත් වුණා. ඔහුගේ වේදිකා නාට්‍යය තුළින් සම්ප්‍රදායික සුඛාන්ත ඛේදාන්ත නාට්‍ය කලාවට අභියෝග කළා කිව්වොත් වැරැද්දක් නෑ. සමහර වෙලාවට ඔහුගේ නාට්‍යය පුරාවටම ඉන්න චරිත කතාකරන්නේ එකම විදිහට. හැබැයි ඒක කවදාවත් ප්‍රේක්ෂකාගාරයට ප්‍රශ්නයක් වුණේ නෑ. මොකද ප්‍රේක්ෂකයෝ ඒ නාට්‍ය තුළින් දැක්කේ තමන්ට එදිනෙදා මුණගැසෙන චරිත එහෙමත් නැත්නම් තමන්වම.

 

7. විජය නන්දසිරි

මනමේ නාට්‍යයේ මනමේ කුමාරයා වුණු විජය නන්දසිරි පස්සේ කාලෙක රූපවාහිනියේදී හාස්‍යෝත්පාදක රංගනයට සීමා වෙනවා. නමුත් රූපවාහිනියේ තමන් රඟපාන සීමිත චරිතවලට ගරු කරන ගමන් ප්‍රේක්ෂකාගාරයට තමන්ගේ යුතුකම ඉටු කරන්න විජය නන්දසිරි පියවර ගන්නවා. ඒ හාස්‍යෝත්පාදක වේදිකා නාට්‍යය නිර්මාණය කිරීම මගින්. විජයගේ නාට්‍ය බලන්න යන අය හොඳට හිනා වෙනවා. හැබැයි අන්තිමට හිනාවෙලා තියෙන්නේ තමන්ටම කියලා දැනගත්තම තවත් හිනාවෙනවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.