වෙළඳ සන්නාමයක් කියන්නේ මොකක්ද ඇත්තටම? ඕනෑම භාණ්ඩයක් වෙළඳ පොලේ අලෙවි කරගන්න ඒ භාණ්ඩය නිෂ්පාදනය කරන ආයතනයෙන් තෝරාගන්න නම, ඒ කිව්වේ සරලව තේරෙන විදිහට කිව්වොත් Brand Name එක තමයි වෙළඳ සන්නාමයක් කියල අපි හඳුන්වන්නේ. විකුණන භාණ්ඩයේ විවිධ ගුණාංග, කම්පැනි එකේ නම වගේ එක එක දේවල් යොදාගෙන ඔවුන් මේ නම් තෝරාගන්නවා. හැබැයි ඒ භාණ්ඩයේ සැබෑ නම ඒක නෙමෙයි හුඟක් වෙලාවට. අන්න එහෙම හැබෑ නමටත් එහා ගිහින් ජනප්‍රිය වුණු වෙළඳ සන්නාම කීපයක් තමයි මේ කියන්න යන්නේ. බලන්නකෝ ඔයාලත් අහල තියෙනවද කියල මේවා.
1. පැනඩෝල්
පැනඩෝල් කිව්වම කව්ද ඉතින් නොදන්නේ. මේ කියවන මොහොත වෙනකනුත් සමහරු නොදන්නවා ඇති පැනඩෝල් වල හැබෑ නම, ඒ කිව්වේ ඒ බෙහෙතේ නම පැරසිටමෝල් බව. පැනඩෝල් කියන්නේ පැරසිටමෝල් නිෂ්පාදනය කරන එක කම්පැනි එකක් වෙන SmithKline Beecham (GlaxoSmithKline) කම්පැනි එකෙන් එයාලගෙ brand name එක විදිහට තෝරගත්ත නම විතරයි. උණක්, ඇඟේ අමාරුවක් වගේ ලෙඩක් හැදුන ගමන් හැමෝම හොයන්නේ පැනඩෝල් තමයි. කොච්චර ප්‍රසිද්ධ වෙලාද කියනවනම් 2018 Brand Finance’s Ranking වල “Most Loved Brand” කියන ප්‍රභේදය යටතේ දෙවන ස්ථානය දිනාගන්නත් පැනඩෝල් වලට පුළුවන් වෙලා තියෙනවා.
2. සිග්නල්
නෑ නෑ.. මේ කියන්නේ පාරෙ වාහන වල දාන සිග්නල් නම් නෙමෙයි. දත් මදින සිග්නල්. සිග්නල් කියන්නෙත් බ්‍රෑන්ඩ් නේම් එකක් විතරක් උනාට, වෙළඳ පොලේ සිග්නල් වලට අමතරව ක්ලෝගාර්ඩ්, ක්ලෝස්අප් වගේ හුඟක් දන්තාලේප වර්ග තිබුණට දන්තාලේප කිව්වම ඕන කෙනෙකුට ඉතින් මතක් වෙන්නේ සිග්නල් තමා. කොටින්ම කඩේ ගිහින් ඉල්ලන්නෙත් සිග්නල් එකක් දෙන්න කියලයි.
3. බාටා
බාටා කියන්නෙ රබර් සෙරෙප්පු නිෂ්පාදනය කරන එක ආයතනයක්. මේ බාටා කියන නම හැදෙන්නෙ ආයතනය ආරම්භ කරන Thomas Bata කියන පුද්ගලයගේ නමින්. හැබැයි අදටත් රබර් සෙරෙප්පු කිව්වම කාටත් ඉස්සෙල්ලම මතක් වෙන්නෙ Bata කියන නම. අපි කතාවටත් කියන්නේ “බාටා දෙකක් ගන්න යනවා”, “බාටා දෙකක් දාගෙන කඩේට ගියා” කියල එහෙම.
4. ඇස්ට්‍රා
”ඇස්ට්‍රා ගාල පාන් පෙත්තක් කමුද?” බටර්, මාගරින් කිව්වම කාටත් මුලින් මතක් වෙන නම තමයි ඇස්ට්‍රා. හැබැයි මෙතන පොඩි වැරදි වැටහීමකුත් තියෙනවා. අපි බටර් වලටත්, මාගරින් වලටත් පොදුවේ ඇස්ට්‍රා කිව්වට, ඇස්ට්‍රා කියන්නේ බටර් වර්ගයක් නෙමෙයි. මාගරින් වර්ගයක්. හැබයි ලංකාව ඇතුලේ බටර් වලට තියෙන ඉතා ඉහල මිල නිසා ඇස්ට්‍රා බටර් වලටත් ආදේශකයක් විදිහට හුඟක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. කොහොම උනත් මේකත් තවත් ජනතාව අතරට ගිය ප්‍රසිද්ධ වෙළඳ සන්නාමයක්.
5. රින්සෝ
රින්සෝ දාල රෙදි හෝදපු නැති කෙනෙක්නම් අපි අතරේ ඉන්න විදිහක් නෑ. රින්සෝ කියන්නෙත් අපි රෙදි සෝදන සබන් කුඩු ඒ කිව්වේ Laundry Detergent Powder කොයි එකටත් පොදුවේ භාවිත කරන්න පුරුදු වෙලා තියෙන නමක්. මොන සබන් කුඩු වර්ගය දැම්මත් “රින්සෝ ටිකක් දාල රෙදි හේදුවා” කියන වචනේ නෑහුනොත් තමා පුදුම.
6. පැම්පර්ස්
පැම්පර්ස් කියල අපි කියන්නේ ඩයපර්ස් වලට. ඒ කිව්වේ පුංචි ළමයින්ට අන්දන තෙතමනය උරාගන්නා යට ඇඳුමක්. ඇමරිකාවේ Procter & Gramble කියන ආයතනයෙන් නිෂ්පාදනය කරන diaper බ්‍රෑන්ඩ් එකක් තමා Pampers කියන්නේ. හැබැයි ඩයපර්ස් කියන ඇත්ත නමට එහා ගිහින් හුඟ දෙනෙක් අතරේ, විශේෂයෙන්ම ලංකාවේ අම්මලා හුඟක් දෙනෙක් අතරේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මේ පැම්පර්ස් කියන නම.
7. කීල්ස්
කීල්ස් කියන්නේ අද වෙද්දී නම් විශාල ලෙස පැතිරුණ ආයතන සමුහයක්. ඒ කිව්වේ John Keels ආයතන සමූහය. හැබැයි මේ කියන්නේ ඉස්සර අතිශයින් ප්‍රසිද්ධ වුණු කීල්ස් සොසේජස් ගැනයි. බ්‍රෑන්ඩ් නේම් එකක් විතරක් උනත් කීල්ස් කියන්නේ, සොසේජස්නම් කීල්ස් කියන තරමටම ප්‍රසිද්ධ වුණු නමක්. අදටත් හුඟක් දෙනෙක් සොසේජස් වෙනුවට කීල්ස් කියන නම තමයි මේවට පාවිච්චි කරන්නේ.
8. TVP
මේකනම් දැන් ඉන්න අය හුඟදෙනෙක් අහල තියෙන නමක්නම් නෙමෙයි. TVP කියන්නේ සෝයාමීට් වර්ගයක්. 1980 ගණන් වලදී විතර සෝයාමීට් කියන නමට වඩා වෙළඳපලේ ප්‍රසිද්ධ වෙලා තිබුනේ මේ TVP කියන නම තමයි. හැබැයි මේ වෙද්දීනම් TVP කියන නම තියා සෝයාමීට් වර්ගයවත් වෙළඳපලේ හොයාගන්නත් නැති තරම්. දැන් ඉතින් මේ නම අපිට මතක් වෙන්නේ ඉඳලා හිටලා පරණ කෙනෙකුගේ කටින් ඇහුනොත් තමයි.
9. ඊවා
ඊවා කියන්නේ හුඟක් ප්‍රසිද්ධ සනීපාරක්ෂක තුවා වර්ගයක්. කොච්චරද කියනවනම් ලංකාවේ ප්‍රසිද්ධම සනීපාරක්ෂක තුවා වර්ගය ඊවා කියල කිව්වත් වරදක් නැහැ මම හිතන්නෙ. ෆෙම්ස්, විස්පර්, ආර්යා වගේ හුඟක් සනිපාරක්ෂක තුවා වර්ග වෙළඳපලේ තිබුනත් වැඩිම දෙනෙක් භාවිතා කරන සනීපාරක්ෂක තුවා වර්ගය මේ ඊවා තමයි. ඒ විතරක් නෙමෙයි පොදුවේ සනීපාරක්ෂක තුවා හඳුන්වන්නත් මේ ඊවා කියන නම තමයි හුඟක් පාවිච්චි වෙන්නෙත්. වක්‍රාකාරව ඒක ඉතින් මේ ඊවා කියන බ්‍රෑන්ඩ් එකේ වෙළඳාම ඉහල යන්නත් හේතුවක් වෙලා තියෙනවා. මොකද කොච්චර බ්‍රෑන්ඩ්ස් තිබ්බත් කඩේට ගිහින් ඉල්ලන්නේ ඊවා පැකට් එකක් දෙන්න කියලනේ.
10. ටීපෝල්
ටීපෝල් කියන්නෙත් කලින් කියපු TVP වගේ ටිකක් පරණ කාලේ ප්‍රසිද්ධ වුණු බ්‍රෑන්ඩ් නේම් එකක්. ටීපෝල් කියන්නේ සේදුම්කාරක දියර වර්ගයක්. ඒ කාලේ වැසිකිලි එහෙම පිරිසිදු කරන්න යොදාගත්ත මේ දියර වර්ගයේ නම තාමත් පරණ මිනිස්සු අතරේ හුඟක් ප්‍රසිද්ධයි. දැන්නම් සේදුම්කාරක දියර වර්ග ඕනෑතරම් වෙළඳපොලේ තියෙන නිසා අපිටනම් ටීපොල් කියන නමේ එච්චර විශේෂයක් නැහැ. හැබැයි අපේ ආච්චිලා සීයලානම් තාමත් ඕනෑම සේදුම්කාරකයක් හඳුන්වන්නේ ටීපෝල් කියල තමයි.
Leave a Reply