පත්තර කලාවට ආයුබෝවන් කියපු ලංකා​වේ පත්තර 7ක්

1832 “කළම්බු ජර්නල්” පුවත්පතින් උපත ලැබූ ශ්‍රී ලාංකික මුද්‍රිත මාධ්‍ය කලාව වර්තමානය වෙද්දී අවුරුදු 182ක ආයු කාලයක් ගෙවමින් ඉන්නවා. තාක්ෂණයේ දියුණුවත් එක්ක මුද්‍රිත මාධ්‍ය ශීඝ්‍රයෙන් නූතන නවීන පරම්පරාවෙන් ගිලිහී යාමේ තත්ත්වයක් තමයි දැන් පවතින්නේ. මොකද සාම්ප්‍රදායික තොරතුරු සැපයුම් මාධ්‍ය විතැන් කරමින් ‘සමාජ මාධ්‍ය‘ පෙරට ඇවිල්ලා ඉවරයි. ඒත් අති බහුතර සාමාන්‍ය ජනතාවගේ මනසට තවමත් පුවත්පත් කියන්නේ බලපෑම් කළ හැකි මාධ්‍යයක්. ඒත් නව මාධ්‍යයන් වල අණසකට නතු වීම නිසා, වාණිජ්‍යමය හේතු නිසා සහ දේශපාලනික හේතු සාධක නිසා පහු ගිය කාලේ වගේම ඈත අතීතයේදීත් ගොඩක් පුවත්පත් ප්‍රකාශයට පත් කිරීම නවතා දැමුවා. අද අපි ඔබට මේ තොරතුරු ගෙන එන්නේ පත්තර කලාවට ආයුබෝවන් කියපු ඒ වගේ ලාංකීය පුවත්පත් අතරින් තෝරාගත්ත 7ක් ගැන තොරතුරුයි.

 

1. දිනපතා ප්‍රවෘත්ති

ලංකාවේ ප්‍රථම දිනපතා පුවත්පත තමයි “දිනපතා ප්‍රවෘත්ති” කියන්නේ. එය 1895 ඉඳලා 1907 ජුලි 15 දක්වා වසර 12ක් තිස්සේ අඛණ්ඩව පළ වුණු පුවත්පතක්. එම පුවත්පත නතර වුණේ එහි හිමිකාර කර්තෘ දොන් බස්තියන් ජයවීරආරච්චි බලවත් ආකාරයට රෝගාතුර වෙලා පත්තරය කරගෙන යෑමට තරම් අසීරු තත්ත්වයකට පත් වුණු නිසායි. 

 

2. දවස 

දවස ප්‍රකාශකයට පත් කළේ ගුණසේන සමාගමයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහය දැක්වූ පත්තරයක් විදිහටයි ඒ කාලේ දවස ජනප්‍රිය වුණේ. ඒත් 1970 අවුරුද්දේ පත් වුණු සමගි පෙරමුණ ආණ්ඩුවේ ඇතැම් පක්ෂවල සාමාජිකයන් ගුණසේන ආයතනය තුළ වෘත්තීය සමිති පිහිටුවා ගැනීමෙන් මතු වූ අරගල නිසා ම ආණ්ඩු විරෝධී පුවත්පතක් බවට ඒක පරිවර්තනය වුණා. 1977 බිහි වූ නව රජයත් සමඟ ආණ්ඩු‍වේ හොරණෑවක් බවට පත් වූ දවස පුවත්පත වැඩිකල් යන්නේ නැතුව පාඨකයන්ගෙන් ගිලිහෙන්නට පටන් ගත්තේ පාලකයන්ගේ දේශපාලන අරමුණු පාඨකයන්ට වැදගත් නොවන නිසායි. අලුත් තාක්ෂණය සමඟ ගැටීම දුෂ්කර වීමත්, ඒ සඳහා විශාල පිරිවැයක් දැරීමට අපහසු වීමත් නිසා 1990 දෙසැම්බර් 26 වැනි දින දවස පුවත්පත වහලා දාන්න සිද්ධ වුණා.

 

3. සත්දින

1979 පෙබරවාරි 04 වෙනිදා මල්ටිපැක්ස් ආයතනය මඟිනුයි “සත්දින” පුවත්පත ආරම්භ කළේ. එහි අධිපති හරිස් හුළුගල්ල විසින් පසු කාලීනව පත්තරය නැවැත්තුවේ එය එක්සත් ජාතික පක්ෂයට පක්ෂග්‍රාහි ව කටයුතු කිරීම නිසයි. මෙම පත්තරයේ කර්තෘ ධූරය හෙබවුයේ චන්ද්‍රසේන කිරිවත්තුඩුව යි.

 

4. ලක්බිම

1994 වර්ෂයේ ආරම්භ කරපු ලක්බිම පුවත්පත සුමති සමාගමේ ප්‍රකාශනයක්. ලක්බිම පුවත්පත අවුරුදු 25ක් තරම් දීර්ඝකාලයක් පැවතුණත් වාණිජ අභියෝග ජයගැනීම දුෂ්කර වුණු නිසා ලක්බිම දිනපතා පුවත්පත 2018 නොවැම්බර් මස 30 වැනිදා නවතා දැමුවා. ලක්බිම ඉරිදා සංග්‍රහය දිගටම ප්‍රකාශයට පත් වුණත් ජූනි 9 වැනිදායින් එම ගමනද අවසන් වුණා. ලක්බිම පුවත්පතේ විශේෂත්වය වන්නේ විශේෂාංග ලිපි සහ ශීර්ෂ පාඨ පිළිබද නව මානයක් සටහන් කිරීමයි. විශේෂයෙන්ම පත්තර කලාවට ටැබ්ලොයිඩ් සංකල්පය හඳුන්වා දුන්නේ ලක්බිම “රිද්ම” පත්තරෙනුයි. එහි පළමු කර්තෘ ධූරය දරපු බන්දුල පද්මකුමාර, සුන්දර නිහතමානී ද මැල්, නිහාල් පීරිස්, තිස්ස ප්‍රේමසිරි, සමන් වගාආරච්චි වගේ විශිෂ්ට මාධ්‍යවේදීන් රැසක් ලක්බිමෙන් බිහි වෙලා තියෙනවා.

 

5. රැස

 සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම විසින් ප්‍රකාශ කරන නවතම දිනපතා පුවත් පතක් විදිහට ‘රැස‘ පුවත්පත එළි දැක්වුණේ 2018 වසරේ ජනවාරි 11 වනදා යි. මුද්‍රිත මාධ්‍ය කලාවට නව ආරක් සනිටුහන් කරමින් එළි දැක්වුණු රැස පුවත්පත පාඨකයන් අතට ආවේ ලේක් හවුස් සමාගමේ නවතම ප්‍රකාශනයක් විදිහටයි. ජාතිවාදී, ආගම්වාදී අදහස් ඉවතලමින් පුවත්පත් කලාවේ ඉහළම වෘත්තිකයන් සමඟින් මිත්‍යාව සහ අවිචාරය පිටුදකිමින් සාර්ථක ගමනක් එන්න රැසට පුළුවන් වුණත්, ආණ්ඩු මාරු වීම් සමඟ ඇති වුණු දේශපාලනික හැලහැප්පීම් හමුවේ පසු ගිය ජනවාරි 29 වන දා එම පුවත්පත වසා දැමුණා. පළමු කර්තෘ චාමර සම්පත් වුණු අතර ඔහුගේ අභාවයෙන් පසුව රංජිත් කුමාර සමරකෝන් කර්තෘ ධූරය දැරුවා. තිඹිරියාගම බණ්ඩාර, මංජුල සමරසේකර, ජයසිරි ජයසේකර වැනි දක්ෂ මාධ්‍යවේදීන් රැසක් වගේම තරුණ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද රැසත් සමඟ අත් වැල් බැඳ ගෙන සිටියා. 

 

6. සන්ඩේ ලීඩර්

සන්ඩේ ලීඩර් කියන්නේ ලීඩර් පබ්ලිකේෂන්ස් (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉංග්‍රීසි බසින් ශ්‍රී ලාංකික පාඨක ජනතාවට තිළිණ වුණු සතිපතා පුවත්පතක්. එය 1994 දීයි ආරම්භ කළේ. ඉරුරැස (ඉරුදින) සහ මෝනිං ලීඩර් පත්තර ද්විත්වය සහෝදර පුවත්පත් විදිහට පැවතුණා. ලසන්ත වික්‍රමතුංග සහ ලාල් වික්‍රමතුංග සහෝදරයන් විසින් ආරම්භ කරන ලද මෙම පුවත්පත මතභේදාත්මක ප්‍රවෘත්ති ආවරණය සඳහා ප්‍රසිද්ධ සුවිශේෂී පත්තරයක් වුණා. විශේෂයෙන්ම පුවත්පතට සහ එහි කාර්ය මණ්ඩලයට කිහිප වතාවක්ම පහර දීම් සහ තර්ජනය කිරීම් එල්ල වුණු අතර එහි ආරම්භක කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනය පවා සිද්ධ වුණේ ඔවුන් මතු කළ නිර්භීත මාධ්‍යකරණය හේතුවෙන් බවටයි වැඩි දෙනෙක් විශ්වාස කරන්නේ. ඉන්පසු සන්ඩේ ලීඩර් කර්තෘ ධූරය එහි සමකාලීන මාධ්‍යවේදිනී ෆෙඩ්‍රිකා ජෑන්ස් ට හිමි වුණා. ඇයත් පසු කාලීනව එම ධූරයෙන් ඉල්ලා අස් වුණේ දේශපාලනික ගැටුම් හමුවේයි. 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී සන්ඩේ ලීඩර් ප්‍රකාශයට පත් කිරීම නවතා දැමුවා. 

 

7. උදයන්

උදයන් කියන්නේ උදයන් පුවත්පත් සමූහයේ කොටසක් වන නිව් උදයන් පබ්ලිකේෂන් (පුද්ගලික) සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද දෙමළ භාෂාවෙන් පළ වුණු ශ්‍රී ලංකාවේ දිනපතා පුවත්පතක්. එය 1985 වර්ෂයේදී ඊ. සරවනපවන් විසින් ආරම්භ කෙරූ අතර යාපනයේ සිටයි එය ප්‍රකාශයට පත් කළේ. එහි සහෝදර පුවත්පත වන්නේ කොළඹ පදනම් කරගත් සුඩාර් ඔලි යි. ලංකාවේ සිවිල් යුද්ධය පැවැති කාලයේ පවා ප්‍රකාශනය නතර නොකළ, යාපනයේ සිට ප්‍රකාශයට පත් කළ එකම පුවත්පත වුණේත් උදයන් පුවත්පතයි. මෙම පුවත්පතට ද කිහිප වතාවක්ම පහර දීම් සිදු වුණා වගේම නිරන්තරයෙන් පුවත්පතට තර්ජන ද එල්ල වුණා. මුද්‍රණාලයට එල්ල වුණු බෝම්බ ප්‍රහාරයකින් පස්සේ උදයන් ප්‍රකාශනය නතර කළත් නැවතත් වර්තමානයේදී යාපනය අර්ධ ද්වීපය තුළ පමණක් ප්‍රකාශයට පත් කරලා බෙදා හැරීම් ආරම්භ කරලා තියනවා.

 

තිනෙති නානායක්කා​ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *