අපි ටික ටික ලොකු වෙන්න තේරුම් ගත්ත දෙයක් තමයි මේ ලෝකේ අපි ආදරෙයි කියලා හිතන් හිටිය උදවිය අපිට ඒ තරම් ආදරේ නෑ කියන එක. හැබැයි ආන්න ඒ ලෝක ධර්මය වෙනස් කරපු තැනැත්තියක් තමයි කාගෙත් ආච්චි අම්මා. ඒ කාලෙත් ආදරේ දැනුණා. කරඳඩු උස් වෙනකොටත් දැනුණා. අනාගතේ දවස්වලත් ඒක එහෙම ම වේවි. ආච්චි අම්මා ගැන එච්චරම ආදරයක් ඇයි?
1. රස කෑම
සුබ කාරණේකින් පටන් ගත්තා එහෙනම්. ආච්චි අම්මට ලෝකේ තියන වැදගත්ම සහ එකම රාජකාරිය තමයි තමන්ගේ දරු මුණුබුරන්ට කෑම හදලා දෙන එක. ඒවත් නිකන් ආවට ගියාට හදන ඒවා නෙවෙයි කෙලින් ම රාජ භෝජන. මේක බටහිර වේවා පෙරදිග වේවා වෙනසක් නැහැ. ආච්චි අම්මලා හිතන්නේ ගෙවල්වල අපි සාගතෙන් ඉන්නවා ය කියලා. අනික ඔය අත්ගුණේ කියන එක මේ සම්බන්ධයෙන් වැදගත් වෙනවනේ. මෙහෙම කෑම හදලා දෙන එකෙන් ආච්චි අම්මලා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. හැබැයි ඊළඟ පාර කෑමක් සෙට් වුණාම ඒකේ රස ගැන ආච්චි අම්මා එක්ක කතා කරන්න.
2. රස කතා
ඉස්සරම ආච්චිලා නම් කතා කිව්වේ හඳ එළියේ. මොකෝ ඉතින් කරන්ට් තිබ්බා කියලය. ඒත් දැන් එළිය තියනවා හැබැයි ආච්චිලා එහෙමමයි. ජන කතා, පාරම්පරික කතා, පුංචි පහේ ඕප කතා ඔය ඕන කතාවකට ආච්චිලා ෆුල් ඔප්ෂන්. කතා විතරක් නෙවේ කවි සින්දුත් කියලා දෙනවා. ඒවා අදටත් මතකයේ රැඳෙන්නේ ඒ තරම් ආදරයෙන් කියලා දුන්න නිසා වෙන්න ඇති.
3. සමථ මණ්ඩලය
ඔන්න හිතන්නකෝ දැන් අම්මයි තාත්තයි එක පිලක, ඔයා තනියම. මොකක් හරි යමර වැඩක් කරලා හොඳටම අහගන්නයි යන්නේ. එතකොට ම ආච්චි අම්මා මැද්දට පැනලා වැඩේ සෙන්ටිමෙන්ටල් කරනවා. මොන තරම් නසරාණි වැඩක් කරලා අහු වුණත් ඔහොමයි. ආච්චි අම්මලා පොඩ්ඩෝ නරක් කරනවා කියලා අම්මලා කියනවා ඇත්තෙත් මේ නිසා වෙන්න ඕනි.
4. ඔබේ දැනුමට තැනක්
ආච්චි අම්මෙක් අපි ජීවත් වුණා වගේ දෙතුන් ගුණයක් ජීවත් වෙලා ඇති. ලෝකේ දකින්න පුළුවන් හොඳම විදියට දැකලා තියනවා. එහෙම වෙලත් අද කාලේ ගැජමැටික් ගැන ආච්චි අම්මා අපෙන් කිසි හීනමානයක් නැතුව දේවල් අහගන්නවා. ඒක හරිම නිහතමානී ආදරේ හිතෙන වැඩක්. බටන් තියෙන ෆෝන් එකක් අරන් ඒකෙ වැඩ කෑලි ටික ආච්චි අම්මාට කියලා දීම ආරම්භයක් හැටියට සලකන්න පුළුවන්.
5. ලොකු යාළුවෙක්
ආච්චි අම්මා හරි ආසයි පුංචි කාලේ ඉඳන් ම ඔයා එක්ක ඔයා ආසා කරන දේවල් කරන්න. කාටුන් එකක් බලන්න වුණත් ඇති වැඩකට නෙවේ තනි නොතනියට ළඟ ඉන්නවා. බඩගින්නක් දැනෙන්නත් කලින් කෑම ඕඩරේ දාගන්නවා, ප්‍රශ්නවලට උත්තර හොයන්න උදව් දෙනවා. ගෙදර අම්මට වෙලාවක් නැති වුණාට (ඇයි ඉතින් වැඩ රාජකාරි නේ) ආච්චිට වෙලාව තියනවා.
6. ආච්චිගේ ගෙදර හොඳකම
මේක අදාළ වෙන්නේ ආච්චිත් එක්ක ජීවත් නොවී වෙන ම ඉන්න මුණුබුරු මිණිබිරියන්ටයි. නිවාඩුවට ආච්චිලගේ ගෙදර ගියාම දැනෙන පුදුමාකාර හොඳ ගතිය ගෙදර ඉන්න කාලය පුරාම එහෙම ම තියනවා. ඇඳ පුටු මේසවල පවා ගෙදරට වඩා හොඳ උණුසුම් ගතියක් තියනවා.
7. ආදරය පෙන්වීම
අද කාලේ පෙම්වතුන්ගේ ආදරේ හොඳම හරිය සම්බන්ධය පටන් ගන්න කලින් ක්‍රෂ් අවධිය සහ සම්බන්ධතාවයේ මුල් මාස හය වගේ කියන්න පුළුවන්. ඒ කාලේ ආදරේ උපරිමයෙන් පෙන්වනවා. කාලයත් එක්ක අඩු වැඩි වශයෙන් වියැකෙනවා. ඒත් ආච්චි අම්මා දාහක් මැද්දේ වුණත් ඉඹලා කරලා මූණ අතගාලා ආදරේ කියලා ආශිර්වාද කරන්නේ. ඒ ආදරේ ඔයාව ඉස්සෙල්ලාම දැක්ක දවසේ ඉඳන් වැඩිවෙනවා මිසක් අඩුවක් නෑ.
Leave a Reply