පාසල් ඇරඹූ දිසාපාමොක්ලා – ලංකාවේ ප්‍රධාන පාසල් 7ක උපත ගැන දැනගනිමු

අපි අද පටන් ගන්න ආටිකල් සීරීස් එක  වෙන්වෙන්නේ ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙයක් කරපු පිරිසක් වෙනුවෙන්. ඔවුන් තමයි ලංකාවේ ප්‍රධාන පෙළේ පාසල් ආරම්භ කරන්න මැදිහත් වෙච්ච විදුහල්පතිවරු . ඔවුන්ගේ සේවය අනුස්මරණය කිරීම මේ ආටිකල් සීරීස් එකේ ප්‍රධාන අරමුණ වෙනවා.

 

1. දේවගැති ජෝශෆ් මාෂ්

1835 වර්ෂයේ දී දේවගැති ජෝශෆ් මාෂ් විසින් කොළඹදී දරුවන්ට ඉගෙනුම ලබා දීමේ පෞද්ගලික පාසලක් ආරම්භ කළා. මෙම පාසල මගින් සිදුවන සේවාව අගය කළ කොළඹ ඉහළ සමාජය මෙම පාසල රජය මඟින් පාලනය වන පාසලක් බවට පත් කොට දේවගැතිවරයාගේ සේවයට සරිලන වැටුපක් ගෙවන ලෙස එවකට ආණ්ඩුකාරවරයාව සිටී ශ්‍රීමත් රොබට් හෝර්ටන් වෙත අභියාචනයක් ඉදිරිපත් කරනු ලැබුවා. එය පිළිගත් ආණ්ඩුකාරවරයා, දේවගැතිතුමා විසින් අරඹන ලද පෞද්ගලික පාසල “Colombo Academy”(වර්තමාන රාජකීය විදුහල) බවට පත් කරනු ලැබුවා. ඉතාමත් කාරුණික පුද්ගලයෙකු වූ මෙම දේවගැතිතුමා ශාරීරික පහරදීම පවා අනුමත කළේ නැහැ. ලංකාවේ දේශගුණික තත්ත්වය තමන්ට නොගැළපෙන නිසා 1838 දී ලංකාවෙන් බැහැර වුණත් එම වසරේදීම එතුමා ස්වර්ගස්ථ වුණා.

 

2. සී. ඩබ් ලේඩ්බීටර් 

පරම විඥාර්ථ සමාගම ප්‍රධාන පෙළේ අනුගාමිකයෙකු වූ  සී. ඩබ් ලේඩ්බීටර් කොළඹ මැලිබන් වීදියේ කුඩා නිවසක පාසලක් ආරම්භ කළා. ඒ ලංකාවේ බෞද්ධ ප්‍රබෝධය වෙනුවෙන් කැප වුණු හෙන්රි ස්ටීල් ඕල්කට්, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි සහ  හික්කඩුවේ සිරි සුමංගල හිමි ආදී දේශමාමකයන්ගේ ආරාධනයෙන්. ආනන්ද විද්‍යාලයේ පළමු සිසුවා ලෙස ජිනරාජදාස ව ඇතුළත් කිරීම හා බැඳුණු කතා පුවත නිසා පාසල් අවසාන කිරීමේදී ඡත්ත මානවක ගාථා ගායනා කිරීමේ සම්ප්‍රදාය ඇතිකිරීම පිළිබඳ මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයා විදිහටත් ලේඩ්බීටර් තුමාගේ නම ඉතිහාසගත වෙනවා.

 

3. එල්. එච් මෙත්තානන්ද 

කොළඹ නාලන්දා විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයා බවට පත්වෙන්නේ එල්. එච් මෙත්තානන්ද මහතා. නමුත් නාලන්දා විද්‍යාලයේ ආරම්භය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ පුද්ගලයා විදිහට පී ද එස් කුලරත්න මහතාව හඳුන්වන්න පුළුවන්. ආනන්ද විද්‍යාලයේ කොටසක් විදිහට එම විදුහලේ එවකට ක්‍රීඩා පිට්ටනි අසල බිම් තීරුවක ආරම්භ වුණු නාලන්දා විද්‍යාලය ආචාර්ය ගුණපාල මලලසේකර වගේ විශිෂ්ට විදුහල්පතිවරුන් යටතේ දියුණුවෙන්  දියුණුවට පත් වුණා. 

 

4. වේහැල්ලේ ධම්මානන්ද හිමි 

1954 දී මහානාම විද්‍යාලය ඇරඹුණේ ප්‍රාථමික පාසලක් විදිහට. ඒ කොළඹ වාලුකාරාමයේ වැඩ විසූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ සංකල්පනාවක් විදිහට. ප්‍රදේශයේ බෞද්ධ දරුවන් වෙනුවෙන් නොමිලේ අධ්‍යාපනය ලබා දිය හැකි විද්‍යා ස්ථානයක් ආරම්භ කිරීම උන්වහන්සේගේ බලාපොරොත්තුව වුණා. මුල් කාලයේදී මෙම ප්‍රාථමික විද්‍යාලය පැවැත්වුණේ තර්ස්ටන් විද්‍යාලය අසලයි. උන්වහන්සේගේ අප්‍රතිහත ධෛර්යය නිසා මෙම පාසලේ ඉගෙනුම ලබන දරුවන් ගණන සීඝ්‍රයෙන් වැඩි වුණා.

 

5. ඩී. ඊ. ඒ ෂොක්මන්

තර්ස්ටන් විද්‍යාලය ආරම්භ වෙන්නේ 1950 දී. නමුත් මෙම විද්‍යාලය පිහිටවනු ලැබූ භූමියේ දේව ගැති ඒ. ජේ තර්ස්ටන් විසින් ආරම්භ කරන ලද කෘෂිකර්ම විදුහල තිබුණා. පසු කලෙක වැසී ගිය එම විදුහල වෙනුවට රජයේ කෘෂිකර්ම විදුහල ආරම්භ වූ අතර පසුව එම විදුහලත් මතුගම ප්‍රදේශයට රැගෙන ගියා. මේ වන විට රාජකීය විද්‍යාලයට දරුවන් ඇතුළත් කර ගැනීමට නොහැකි වුණු පිරිස් විසින් අග්‍රාමාත්‍ය ඩී. එස් සේනානායක මහතාට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබුවා. ඊට ප්‍රතිචාර දක්වමින් ඩී. එස්. සේනානායක මහතා කෘෂිකර්ම විදුහල පිහිටි භූමියේ නව පාසලක් ආරම්භ කරන ලෙස එවකට අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි ඊ. ඒ නුගවෙල මහතාට  උපදෙස් ලබා දුන්නා. ඒ අනුව ඩී. ඊ. ඒ ෂොක්මන් මහතා විදුහල්පතිවරයා ලෙස තර්ස්ටන් විද්‍යාලය ආරම්භ කිරීමට කටයුතු කළා.

 

6. ආර්. අයි. ටී අලස් 

ආර්. අයි. ටී අලස් මහතා ලංකාවට විද්‍යාල දෙකක් දායාද කළා. එකක් ඩී .එස් සේනානායක විද්‍යාලය, අනෙක් විද්‍යාලය ගේට්වේ විද්‍යාලය. රාජකීය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ඔහු සුවිශේෂී අභියෝගයක් බාර ගත්තා. ඒ ඩී. එස් සේනානායක විද්‍යාලය ආරම්භ කිරීමයි. තම ජීවිත කාලය තුළදීම ඩී. එස් සේනානායක විද්‍යාලය ලංකාවේ ප්‍රධාන පෙළේ විද්‍යාලයක් බවට පත්කිරීමට එතුමාට හැකියාව ලැබුණා. එතුමාගේ මේ විශිෂ්ට  හැකියාව අගය කරමින් ශ්‍රී ලංකා රජය විසින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයටත් එතුමාව පත් කරනු ලැබුවා.

 

7. බී. ඒ කුරුප්පු 

ඉසිපතන විද්‍යාලය ආරම්භ වෙන්නෙත් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරගත හැකි සිසුන් ප්‍රමාණය සීමා සහිත වීමට විකල්පයක් විදිහට. මේ පාසල ආරම්භයේ දී හැඳින්වෙන්නේ “Greenlands College” යන නමින්. විද්‍යාලයේ ආරම්භක විදුහල්පති වරයා බවට පත්වෙන්නේ බී. ඒ කුරුප්පු මහතායි. ඔහු ඊට පෙර කොළඹ කොටහේනේ ග්‍රීන් ස්ට්‍රීට් සෙන්ට්‍රල් කොලේජ්හි නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියා. කෙටි කාලයක් තුළ ඉසිපතන විද්‍යාලය අධ්‍යාපනිකව සහ හා විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින් ප්‍රමුඛ පෙළේ පාසලක් බවට පත්කිරීමට කුරුප්පු මහතාට හැකියාව ලැබුණා.

 

අපේ මේ අලුත් ආටිකල් සීරිස් එක ගැන ඔබේ අදහස් කමෙන්ට් සෙක්ෂන් එකේ පළ කරන්න. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත මේ  එකේ ආටිකල් සීරිස් එකේ ඉතිරි කොටස් අපි අතින් ඉක්මනින් ලියවේවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *