කොණ්ඩය යෑම වේගවත් කරන අපේ නරක පුරුදු

කොණ්ඩෙ යෑම බොහෝ බොහෝ අයට තියෙන ගැටලුවක්. කිතුල් රෑනක් වගේ දිග කොණ්ඩ නොපැතුවත් ටිකක් තට්ටෙ පේන්න නැති වෙන්න කොණ්ඩයක් තිබුනොත් හොඳයි කියලා හැමෝම හිතනවා. කොණ්ඩය යෑමේ මුලික හේතුවක් කොණ්ඩයට අනවශ්‍ය ලෙස සත්කාර කරන්නට යෑම. නිතර නිතර ෂැම්පෝ කිරීම, කොණ්ඩය නිතර නිතර අයන් කිරීම, ස්ට්‍රේට් කිරීම, කොණ්ඩය බ්ලීච් කිරීම වගේ දේවල් නිසා කොණ්ඩය යෑම වේගවත් වෙනවා. කොටින්ම කොණ්ඩය ෂැම්පෝ කරන එක පවා සතියකට තුන් වතාවක් විතර කළාම හොඳටම ඇති. වැඩිපුර ෂැම්පෝ කිරීමෙනුත් හිස් කබලේ තියෙන ස්වාභාවික තෙල් ගතිය නැතිවෙලා කොණ්ඩය ගැලවී යෑම වේගවත් වෙනවා.

 

1. කෙස් ගැලවීම

ඉදුණු සහ වර්ණය වෙනස් වුණු කෙස් වලට සාමාන්‍යයෙන් කරන්නේ පාට කරන එක. ඒ සඳහා විවිධ ආකාරයේ කොණ්ඩ ඩයි වෙළඳපොලේ තියෙනවා. ඒත් සමහර අය හෙමිහිට ඉදුණු කොණ්ඩ ගස් ගැලවීම සිදු කරනවා. ඒකෙන් කොණ්ඩ ගහ මුලින්ම ගැලවිලා, ඉදිරිලා එනවා. ඉන් පස්සේ ඒ අක්‍රමවත් වූ  ගැලවුණු තැන අලුතින් ගහක් එන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. ඒ නිසා වයසට යෑම හෝ පීනස් ගතිය නිසා කොණ්ඩය වෙනස් වෙලා පෙනුම අවුල් වෙනවා නම් ලේසිම දේ කොණ්ඩය ඩයි කරන එක. කොණ්ඩේ ගලවලා අයින් කරන්න ගියොත් කොණ්ඩෙ තුනී වෙන්න ඉඩ තියෙනවා.

 

2. සිගරට් බීම

සිගරට් බීම මොනයම්ම දේකට හෝ හොඳක් කියලා ඔයාල අහල තියෙනවාද? නැහැ නේද? සිගරට් බීම කොණ්ඩයටත් එච්චර හොඳ නැහැ. සිගරට් බීමෙන් පස්සේ හිස තුළ සිදුවන රුධිර ගමනාගමනයට බාධා ඇතිවෙනවා. ඒ තුලින් කොණ්ඩ ගස් මුලට රුධිරය ඔස්සේ පෝෂ පදාර්ථ යන එක නවතිනවා. ඒ වගේම කොණ්ඩයේ ස්වාභාවික වර්ධනයටත් සිගරට් බීම බලපානවා කියලා සොයාගෙන තියෙනවා.

 

3. හිරු එළියෙන් කොණ්ඩය ආරක්ෂා කර නොගැනීම

කොණ්ඩය හිරු එළියට වැඩි කාලයක් නිරාවරණය වුනාම කොණ්ඩයේ තියෙන ශක්තිමත් භාවය අඩුවෙනවා. පැහැය අව පැහැගැන්වෙනවා. ඒ එක්ක කොණ්ඩය යන්න තියෙන අවදානමත් වැඩි වෙනවා. කොණ්ඩය හැදිලා තියෙන්නේ හෙයා ෆයිබර් විශේෂ වලින්. ඒවා දැඩි හිරු රැස්වලට බොහෝ වෙලාවක් නිරාවරණය වෙලා තිබුනාම ඉබේම ශක්තිය අඩු වෙලා දුර්වල වෙනවා.

 

4. කොණ්ඩය යෑම නොසලකා හැරීම

කොණ්ඩය යන එක කියන්නේ ලොකු ලෙඩක් නෙමෙයි. ඒත් කොණ්ඩේ යෑමට හේතුව වළකාගන්න පුළුවන් හේතුවක් නම් නොසලකා හැරීම අපරාධයක් වෙනවා. කොණ්ඩයට නිසි සත්කාර නොලැබීම, එක්කෝ කොණ්ඩයට වැඩිපුර හිංසා වන විදිහට කොණ්ඩා මෝස්තර දැමීම, අනවශ්‍ය ලෙස පීරීම, හිරු එළියට නිරාවරණය වැනි හේතු නිසා කොණ්ඩය යනවා නම් ඒ හේතු වලින් වැළකුනාට පස්සේ කොණ්ඩය යන එක අඩු වෙනවා. අවශ්‍ය නම්, කොණ්ඩය යෑම සමේ රෝග හෝ එවැනි විශේෂඥයෙක්ට පෙන්වලා වෛද්‍යමය හේතුවක් නිසා කොණ්ඩය යනවාද කියාල දැනගන්නත් පුළුවන්. 

 

5. නිතර කොණ්ඩය කැපීම

කොණ්ඩය හැඩට තියාගන්න කැමති සමහර අය කොණ්ඩය දවස් කිහිපයකට සැරයක් කපනවා, හැඩ කරනවා. ඒත් ඒක කොණ්ඩය පැත්තෙන් ගත්තොත් හොඳ දෙයක් නෙමෙයි. සති අටකට වතාවක් බැගින් කොණ්ඩය කපන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි නිර්දේශ කරලා තියෙන්නේ. ඒ විදිහට කොණ්ඩය නිතර කැපීමෙන් කොණ්ඩය හොඳින් වැවෙන්නට තියෙන ඉඩකඩ අඩුවීම නිසා කොණ්ඩය වැවීම අඩපණ වෙනවා.

 

6. වැරදි පනා, බුරුසු පාවිච්චිය

කොණ්ඩය කියන්නේ ස්වාභාවිකව අපේ හිසේ තියන අපේ සිරුරේ තවත් එක අංගයක්. මේ කොණ්ඩය කෘත්‍රිම දෙයක් පිළියෙල  කරනවා වගේ තදබල ක්‍රම යොදලා හසුරුවන්න හොඳ නැහැ. දැති එක ළඟ තියෙන පනා, බ්‍රශ් ආදිය පාවිච්චියෙන් කොණ්ඩය ඩැමේජ් වෙනවා. ඒ තුළින් කොණ්ඩය තුනී වෙනවා. ඒ නිසා පනාවක්, බ්‍රශ් එකක් ගන්නකොට හිස් කබලට වේදනා නොදෙන, ඈතින් ඈතින් දත් හෝ කූරු තියෙන පනාවක් හෝ බ්‍රශ්  එකක් තෝරාගන්න ඕනි.

 

7. මානසික පීඩනය

මානසික පීඩනය වැඩි උදවියගේ කොණ්ඩය ඉක්මනින්ම ගිහින් තට්ටය පෑදෙනවා. මානසික පීඩනය වැඩි ඉහළ තනතුරු පුටුවල ඉන්න බොහෝ අයගේ තට්ටය දිලිසි දිලිසි තියෙන්න මේක එක හේතුවක් කියලා මතයක් තියෙනවා. ස්ට්‍රෙස් මැනේජ් කරගන්න අද කාලේ යෝගා ව්‍යායාම, මානසික ප්‍රතිකාර ක්‍රම, භාවනා, විවිධ විනෝදාංශ ආදිය යොදාගන්නවා. මානසික පීඩනය නිසා එදිනෙදා ජීවිතයේදී ඔලුව අවුල් වෙනවා වගේම කොණ්ඩෙත් හැලිලා යනවා.

 

කොණ්ඩය රැකගන්න අනෙක් ඉන්ද්‍රිය නිසිලෙස පවත්වාගෙන යන්න වගේම හොඳ පෝෂණයක් ලැබීමත් වැදගත්. කොණ්ඩය නිමවෙලා තියෙන්නේ ප්‍රෝටීන වලින්. කෑම ගනිද්දි ප්‍රෝටීන වැඩි මේද, තෙල්, අඩු එළවළු පලතුරු ධාන්‍ය වැඩි ආහාර වේල් ගන්න පුළුවන් නම් එයින් කොණ්ඩයට අවශ්‍ය කරන පෝෂණයත් නිසි පරිදි  ලැබෙනවා. කොණ්ඩය යෑමට හේතුවෙන යම් යම් කාරණා ටිකක් ඔබට මේ හරහා දැනගන්නට ලැබෙන්නට ඇති. කොණ්ඩේ යන යාළුවන්ටත් පේන්න අපි මේක ශෙයා කරගමු නේද?

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *