කොල්ලෝ කෙල්ලෝ කියල වෙනසක් නැතුව විනෝදාංශයක් විදිහට ගිටාර් එකක් ප්ලේ කරන්න තරුණ වයසේ ඉන්න ගොඩක් දෙනෙක් කැමතියි. තරුණ වයසේ විතරක් කියල කියන්නත් බෑ. වයස් භේදයක්, ගැහැණු පිරිමි භේදයක් කිසි දෙයක් මේකට අදාළ නෑ. ගොඩක් දුරට විනෝදාංශයක් විදිහට ගිටාරය පුහුණු වෙන්න පටන් ගත්තු බොහෝ දෙනෙක් තමන්ගේ වෘත්තීය විදිහටත් පස්සේ කාලෙක ගිටාරය වැයීම කරන අවස්ථා ගොඩක් අපිට හොයල බැලුවොත් දැනගන්න පුළුවන්. කොයිහැටි උනත් විනෝදාංශයක් කිව්වට මේ වැඩේ පටන් අරන් ඉතා ඉක්මනින් ඒ විනෝදාංශයට තිත තියපු අයත් ඕන තරම් හොයාගන්න පුළුවන්. ඒකට හේතුව, කෙනෙක් ගිටාරයක් ප්ලේ කරනවා දැක්කම මේක හරි ලේසියි කියල හිතුවිල්ලක් හිතට ඒම සහ වැඩේ පටන් ගත්තම ඒක බලන් හිටියා වගේ ලේසි වැඩක් නොවෙන වග තේරුම් යාම. ඇත්තටම කෙනෙක් ගිටාර් එකක් ප්ලේ කරනවා දැක්කම ඕන කෙනෙක්ට ලොකු ආසාවක් එනවා තමන්ටත් එහෙම ප්ලේ කරන්න තිබුනානම් කියල. ඒ වගේම හිතෙනවා අප්පා මේක පට්ට ලේසි කෝර්ස් එකක්නේ කියලත්. හැබැයි ඒ ගිටාර් එක ප්ලේ කරන කෙනා ඒ විදිහට කෙනෙක්ගේ ආකර්ෂණය ලැබෙන විදිහට ප්ලේ කරන්න කොයිතරම් ලොකු කැපවීමක් වුනාද කියල නිකන් හරි අහල බැලුවොත් ගොඩක් කට්ටිය ගිටාර් ගහන්න තියා ගිටාර් එකක් දිහා හැරිලාවත් බලන එකක් නෑ. අන්න ඒ නිසා අපි අද කියන්න යන්නේ විනෝදාංශයක් විදිහට ගිටාර් පුහුණු වෙන්න හිතන් ඉන්න කෙනෙක්ට එන අභියෝග වලට විසඳුම් කිහිපයක් ගැනයි. ඔන්න එහෙනම් පටන් ගත්ත කතාව.
1. මූලික දැනුමක් නැතුව වැඩේට එන්ටර් වීම
මේක තමයි ගිටාර් පුහුණු වෙන්න හිතන් ඉන්න, එහෙම නැත්නම් පුහුණු වෙන කෙනෙක්ට එන ලොකුම අභියෝගය. ගිටාර් පුහුණුව කියන්නේ ඉදලක් අරන් මිදුල අතුගානවා වගේ වැඩක් නෙමයි. ගිටාර් එක කියන්නේ සංගීත භාණ්ඩයක්. ඒ නිසා සංගීතය සම්බන්ධව වගේම ගිටාර් එක සම්බන්ධව මූලික සිද්ධාන්ත ඉගෙන ගන්න ඕනේ. උදාහරණයක් විදිහට ගොඩක් ගිටාර් ඉගෙන ගන්න අය කොහෙන්හරි චාර්ට් එකක් බලාගෙන කෝර්ඩ් ප්‍රැක්ටිස් කරන්න යනවා. ඒවා කටපාඩමින් තමයි ඉගෙන ගන්නේ. හැබැයි කෝර්ඩ් එකක් හැදෙන විදිහ සම්බන්ධව ගණිත ක්‍රමයක් වගේ එකක් තියෙනවා. ඔයාට ඒ මූලික දැනුම වැටිලා තියෙනවනම් ආයේ චාර්ට් බල බල ගිරවා දාන්න අවශ්‍ය වෙන්නේ නෑ. අන්න ඒ නිසා ගිටාර් එකක් අරන් සින්දුවක් ගහන්න ඉගෙන ගන්න කලින් මූලික දැනුම එකතුකරන් ඉන්න. මේ දැනුම තමයි කවදාහරි ඔයාව හොඳ ගිටාර් වාදකයෙක් කරන්නේ.
2. කැපකිරීමකින් තොර ජයග්‍රහණයක් නැත
ගිටාරය කියන්නේ තත් භාණ්ඩයක්. එක අතකින් ෆ්රේට් බෝර්ඩ් එක හසුරුවන ගමන් අනිත් අතින් තත් වාදනය කරන එක එකවිට කරන්න ඕනේ. ෆ්රේට් බෝර්ඩ් එක හසුරුවනවා කියන්නේ ලේසි වැඩක් වගේ පෙනුනට ගිටාර් වාදනයේ තියෙන අමාරුම වැඩේ කීවොත් හරි. ෆ්රේට් බෝර්ඩ් එක හසුරුවන්න තියෙන්නේ ඇඟිලි තුඩු වලින්. ඔයා පටන් ගත්තු මුල් දවස් වලින්ම වැඩේ එපා වෙන තරම් ඇඟිලි තුඩු වලට ලොකු වේදනාවක් එනවා. ගොඩක් පුහුණුවීම් කළොත් ඇඟිලිතුඩු තුවාල වෙන්නත් පුළුවන්. ඉතින් අපේ කට්ටිය පොඩ්ඩක් රිදෙන්න ගත්තු ගමන් වැඩේ අතහැරලා දානවා. එහෙමත්ම ඇම්මක් තියෙන කෙනෙක් තමයි රිදෙන්න රිදෙන්න තව පුහුණුවීම් කරන්නේ. හැබැයි එහෙම පුහුණුවීම් කරන කෙනෙක් හොඳ වාදකයෙක් වෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩියි. ඒ නිසා රිදීම්, තුවාල වීම් ගණන් නොගෙන ඉලක්කයට යන්න හිතාගන්න. තුවාල උනොත් ප්ලාස්ටර් එකක් ගහගෙන හරි පුහුණු වෙන්න.
3. ගුරුවරයෙක් නැතුව ඉගෙන ගන්න යාම
මේක ඉතාම වැදගත් කාරණාවක්. අපි ඕනෑම දෙයක් ඉගෙන ගනිද්දී ගුරුවරයෙක් යටතේ ඉගෙන ගන්න ඒකෙන් සාර්ථක ප්‍රතිඵල ලබාගන්න බොහෝදුරට පුළුවන් වෙනවා. ඒ වගේ ගිටාර් එකක් පුහුණු වෙන්න යද්දිත් පළපුරුදු ගුරුවරයෙක් හොයාගෙන ඒ යටතේ පුහුණු වෙන්න පුළුවන්නම් ගොඩක් හොඳයි. එහෙම නැතුව ස්වයං අධ්‍යයනය කරන්න ගියාම වෙන්නේ ඔයා ඉගෙනගන්නේ ඔයාට ඕන දේ සහ ඔයා කැමති දේ. ඒකෙන් වෙන හානිය වැඩියි. ඒ නිසා පුළුවන් තරම් උත්සහ කරන්න ගුරුවරයෙක් හොයාගන්න.
4. වැරදි දේවල් පුහුණුවීම
කලින් කියපු කාරණාව එක්කත් මේක සම්බන්ධයි. තනියෙන් ඉගෙන ගන්නකොටත් වැරදි පුරුදු එහෙම ඇති වෙනවා. ඒ වගේම ඔය පොත් වලින් එහෙම ඉගෙන ගනිද්දී කරන්න ඕන දේවල් තිබ්බට Techniques එහෙම කියල නැහැනේ. ඒ නිසා වැරදි දේවල් පුරුදු වෙන්න ඉඩකඩ වැඩියි. විශේෂයෙන් යූ නලයේ එහෙම ගොඩක් අය ඉන්නවා ගිටාර් සම්බන්ධ දේවල් කියල දෙන. එත් ඒවායේ තත්ත්වය පොඩ්ඩක් හොයල බලලම ඒවාට යොමු වෙන්න. මොකද එයාල කියල දෙන්නේ පොදුවේ හැමෝටම. ඒත් ගුරුවරයෙක් හිටියොත් විතරයි ඔයා ඉන්න මට්ටම බලල උගන්වන්නේ.
5. වමත හුරු අයට එන ප්‍රශ්න
වමත් අයට තියෙන්නේ විශේෂ ප්‍රශ්න. වමත හුරු අය ෆ්රේට් බෝර්ඩ් එක අල්ලන්නේ දකුණු අතින්. එතකොට ගිටාර් එකේ කම්බි උඩ යට මාරු වෙනවා. ඒකට ලේසිම දේ තමයි වමත් ගිටාර් එකක් ගන්න එක. එතකොට සාමාන්‍ය විදිහට කම්බි ටික සම්මත විදිහට තියෙනවා. හැබැයි ඔයාට හදිසියේ යන එන තැනකදී ආරාධනාවක් ලැබුනොත් ගිටාරයක් වාදනය කරන්න, ඔයාට ඒක කරන්න බැරිව යනවා. මොකද ඔයා පුහුණු වෙලා තියෙන්නේ වමත් ගිටාරයකින් නිසා. හැබැයි හොයල බැලුවොත් දකින්න ලැබෙයි සාමාන්‍ය විදිහට තියෙන දකුණත් ගිටාර් එකම පැත්ත මාරු කරලා වාදනය කරන ශිල්පීන්. ඒක ටිකක් නෙමෙයි ගොඩක් අමාරු වැඩක්. මොකද ලීඩ් පාර්ට්ස් එහෙම ගහද්දි ගොඩක් දුරට පාවිච්චි වෙන්නේ හීනිම කම්බි තුන. ගිටාර් එක අනිත් පැත්ත හැරෙව්වම ඒ කම්බි ටික තියෙන්නේ උඩ. එතකොට විශේෂ මහන්සියක් ගන්න වෙනවා වාදනය කරන්න. ඒ වගේම කෝර්ඩ්ස් ඔක්කොමත් අනිත් පැත්ත ගහගන්න වෙනවා. ඒ නිසා ඔයාම තීරණය කරන්න ඔයා සාමාන්‍ය ගිටාර් එකක් හරවල ගහනවද? නැත්නම් වමත් ගිටාර් එකක් ගන්නවද කියල.
6. හොඳ ගිටාර් එකක් මිලෙන් වැඩිවීම
ගිටාර් ගහන්න ඉගෙන ගන්න ආස උනාට ගොඩක් අයට ගිටාර් එකක් මිලදී ගන්න හැකියාවක් නැහැ. ඒකට හේතුව හොඳ වර්ගයක ගිටාර් එකක් ටිකක් මිලෙන් වැඩි වීම. හැබැයි ඉතින් මූලික පුහුණුවීම් වලට ලොකු ගණන් දීල ගිටාර් එකක් මිලදී ගන්න එක අත්‍යවශ්‍ය නැහැ. ඔය කවුරුහරි පාවිච්චි කරපු ගිටාර් එකක් බොහොම අඩු මිලකට හොයාගන්න පුළුවන්.
7. Burning Desire එකක් තියෙන්නම ඕනේ
මොකක් තිබුනත් වැඩක් නෑ මේක නැත්නම්. මොන දේ කළත් ඒ දේ ට දැවෙන ආශාවක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඒ කරන දේ සාර්ථකව කරන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් ගිටාර් එකක් වාදනය කරන්න ඉගෙන ගන්න එක ගොඩක් කට්ට කන්න ඕන දෙයක්. එක ඕනෑම මොහොතක ඔයාට එපා වෙන්න පුළුවන්. ඒ නිසා ඒ මේ වැඩේට දැවෙන ආශාවක් ඔය තුල නැත්නම් නිකන් සල්ලි දීල ගිටාර් අරන් කාලේ නාස්ති කරන්න එපා.
Leave a Reply