හරියට අතට අත දෙන්න නම් මේ කරුණු හිතේ තියාගත යුතුයි!

සාමාන්‍යයෙන් සිංහල ක්‍රමෙට දෙන්නෙක් මුණගැහුනහම කරන්නේ ආයුබෝවන් කියන එකනේ. ඒකත් හරි විදියටම කරනවා නම් දෑත් එකතු කරලා තමයි කියන්න ඕන. හැබැයි ඉතින් වර්තමානේදී අපි ඔය ආයුබෝවන් කියන එක නෙවෙයි විධිමත් ආචාර සමාචාරයක් විදියට කරන්නේ. බටහිර ක්‍රමයට අතට අත දෙන එක තමයි අපි බහුලව කරන්නේ. හරි, ඒක අවුලක් නෑ. හැබැයි බැලූ බැල්මට අතට අත දීලා ආචාර කරන එක හෙනම ටොයිස් වැඩක් වගේ පෙනුනත්, ඇත්තටම එහෙම නෑ. අතට අත දීලා ආචාර කිරීමේදීත් හරි විදියට, තමන් ගැන හොඳ හැඟීමක් අනෙක් කෙනා තුළ ඇතිවෙන විදියට කරන්න නම් හිතන්න ඕන කරුණු කීපයක් තියෙනවා. අන්න ඒ ගැන තමයි අපි මේ කියලා දෙන්න යන්නේ. 

 

1. මොන අතද දෙන්නේ?

මේක හැමෝම දන්න දෙයක් නෙවෙයි. සාමාන්‍යයෙන් කෙනෙක් තමන්ට හුරු අතනේ දික් කරන්නේ. හැබැයි එහෙමයි කියලා තමුන්ට හුරු වමත නම් වමත දික් කරලා හරියන්නෙ නෑ. අතට අත දීමේදී පාවිච්චි වෙන්නේ අනිවාර්යයෙන්ම දකුණත. වමත පාවිච්චි වෙන්නේ වෙන කරන්නම දෙයක් නැති විශේෂ අවස්ථාවකදී විතරයි. ඒ ඇරෙන්න තමුන් බාලදක්ෂයෙක් නම්, අන්න වමත තමයි අතට අත දෙන්න පාවිච්චි කරන්නේ. ඒක බේඩ්න් පවල් සාමිවරයාගේ කාලේ ඉඳලම පැවත එන සම්ප්‍රදායක්. ඉතින් ඔය එකකටවත් අයිති නැති අවස්ථාවකදී නම් දෙන්න ඕන දකුණත තමයි.

 

2. අත දෙන්න පුළුවන් මට්ටමක තියෙනවද?

මෙන්න මේක වැදගත්. අපි කෙනෙක්ට අතට අත දෙනකොට, ඒ කෙනාට ප්‍රසන්න හැඟීමක් මිසක් අප්‍රසන්න හැඟීමක් ඇතිවෙලා හරියන්නෙ නැහැනේ. ආන්න ඒ නිසා අතට අත දෙන්න පාවිච්චි කරන අත පිරිසිදුව, වියළිව තිබීම අත්‍යාවශ්‍යයි. සමහරුන්ට අතට හරියට දාඩිය දානවනේ. ඉතින් එහෙම දාඩිය පිටින් කෙනෙක්ට අතට අත දෙන එක අප්සට්. අන්න ඒ වෙලාවට කරන්න පුළුවන් දේ තමයි, තමන්ගේ අල්ල කලිසමේ හරි ෂේප් එකේ පිහිදාගෙන අතට අත දෙන එක. 

 

3. නැගිටලා, කෙලින් ඇස් දිහා බලලා

අතට අත දෙනකොට ඇත්තටම අපි හිතන්න ඕන අත ගැන විතරක් නෙවෙයි. මුලින්ම අපි කොහේ හරි ඉඳගෙන නම් ඉන්නේ, අපිට කෙනෙක් අතට අත දෙනවා නම් වහාම නැගිටින්න ඕන. ඉන් පස්සේ සෘජු කයෙන් යුතුව, ඒ කිව්වේ ඇඟ කෙලින් තියාගෙන, අතට අත දෙන්නාගේ ඇස් දිහා කෙලින් බලලා, සුහද සිතින් සහ සුහද සිනාවෙන් යුතුව අතට අත දෙන්න ඕන. ඇත්තටම එහෙම අතට අත දෙන එකෙන් දැක්වෙන්නේ අපේ පෞරුෂය. හැබැයි මතක තියාගන්න, පෞරුෂය පෙන්නන්න කියලා බම්මන්නෙක් වගේ බුම්මගෙන අතට අත දෙන්න යන්න එපා. සුහද කම එතන අනිවාර්යයෙන් තියෙන්න ඕන.

 

4. අත මිරිකන්න එපා, ලාවට අත දෙන්නත් එපා

අපි කිවුවනේ අතට අත දෙනකොට අපේ පෞරුෂයත් එතනදී විදහා දැක්වෙනවා කියලා. හැබැයි ගොඩක් අය මේ පෞරුෂය කියන එක වරදවා තේරුම් ගන්නේ. සමහරු හිතනවා අපිට අතට අත දෙන කෙනාට වඩා අපි ශක්තිමත් කියලා පෙන්නන එක තමයි පෞරුෂය කියලා. එහෙම කියලා හැකි වෙර දාලා, අත උඩ නැගලා, අත දීපු එකාගේ අත මිරිකලා චප්ප කරන්න හදනවා. ඒක ඇත්තටම දුර්වල පෞරුෂයක් කියලා තමයි පිටතට පේන්නේ. කෙනෙක්ට අතට අත දෙනකොට අනිවාර්යයෙන්ම හොඳ ග්‍රහණයකින් තමයි අතට අත දෙන්න ඕන. හැබැයි ඒ කියන්නේ අත මිරිකනවා කියන එක නෙවෙයි කියලත් තේරුම් ගන්න ඕන.

අනෙක් අතට අතට අත දෙනකොට යන්තම් අනික් කෙනාගේ අත අල්ලලා ගන්න එක, බාගෙට අතට අත දෙන එක දුර්වලයි.

 

5. උඩට පහළට

අතට අත දෙනකොට කරන්න ඕනේ මනා ග්‍රහණයකින් අත අල්වාගෙන උඩට පහළට හෙලවීම. හැබැයි අත දීලා තත්පරෙන් ආයෙමත් අත ගන්න එක හරියන්නෙත් නෑ. අත අල්ලගෙන විනාඩියක් දෙකක් ඉන්න එකත් අප්සට්. ඒකෙන් අතට අත දෙන අනික් මනුස්සයත් අපහසුතාවයට පත් වෙනවා. එතකොට සමහරු අතට අත දුන්නහම අත අල්ලගෙන දෙපැත්තට පද්දනවා වගේ විකාර වැඩත් කරනවා. අන්න ඒ නිසා හොඳට මතක තියාගන්න. මනා ග්‍රහණයකින් අත අල්වාගෙන, තත්පර දෙකක් තුනක් හතරක් හෝ උපරිම පහක් අත උඩට පහළට සොලවන්න. ඒ වගේම අනෙක් අතත් පැහැදිලිව පේන විදියට තියාගන්න. අනික් අත සාක්කුවේ එහෙම දාගෙන අතට අත අදෙන්න යනන එපා. ආන්න රයිට්!

 

6. මොනවද කියන්නේ?

නිකම්ම අත දෙන එක නෙවෙයි කරන්න ඕන. දෙයක් කියන්නත් ඕන. මොනවද කියන්නේ? නාඳුනන මනුස්සයෙක්ට අතට අත දෙනකොට කියන්න පුළුවන් “මගේ නම සිරිසේන, ඔබව හමුවීම සතුටක්” වගේ දෙයක්. මේක මොන බාසාවෙන් කිව්වත් කමක් නෑ. එහෙම නැතිනම් අඳුනන කෙනෙක්ට අතට අත දෙනවා නම් “හව් ආර් යූ, ගුඩ් ටු සී යූ” වගේ දෙයක් කියන්නත් පුළුවන්. එහෙම නැතිනම් අඩු තරමින් “හලෝ” කියලා හරි කියන්න ඕන. අන්න ඒක තමයි හරි විදිය. 

 

7. අත දෙන්නෙ නැතිනම්? 

සමහරු ඉන්නවා අතට අත දෙන්න පැකිළෙන. එහෙම කෙනෙක් අතට අත නොදුන්නොත් ඒක නරකට ගන්න එපා. ආචාරශීලීව අත පැත්තකට කර ගන්න. සමහරු ඉන්නවා අතට අත දෙනවා වෙනුවට අත මිට මොළවලා එකට වැද්දීම කරන්නේ. අර ෆිස්ට් බම්ප් කියන්නේ, ඒවා. එහෙම ෆිස්ට් බම්ප් එකක් දුන්නොත් ෆිස්ට් බ්ම්ප් එකක් දෙන්න. සමහරු ඔය විෂ බීජ හුවමාරුව වගේ දේවල් ගැන දැඩිව හිතනවනේ. ඒකයි.

 

මේ ඇරෙන්න තව එක දෙයක් තියෙනවා කියන්න ඕන. සාමාන්‍යයෙන් තියෙන සම්ප්‍රදාය තමයි මුලින්ම අතට අත දෙන්නේ වයසින් හෝ තනතුරෙන් හෝ තත්ත්වයෙන් වැඩි කෙනා කියන එක. උදාහරණයක් විදියට කිව්වොත්, අපි ඉන්ටර්වීව් එකකට ගිහින් ඒක ඉවර වුනාට පස්සේ අතට අත දෙන්න ඕන අපිව ඉන්ටර්වීව් කරපු කෙනා. එහෙම නැතුව අපි නෙවෙයි ඒක පටන් ගන්න ඕන. හැබැයි ඉතින් හැම තැනදීම ඕක බල බල ඉන්නත් බැහැ කියන එකත් මතක තියාගන්න ඕන.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *