උයන්න කම්මැලි අයට ඒ වගේම සරලව කන්න කැමති අයට වගේම ගොඩක් බිසී උදවියටත් ඉක්මණින් හදාගන්න වන්පොට් කරීස් ටිකක් ගෙනාවා. මේක නම් ඔයාලට හොඳටම ප්‍රයෝජනවත් වෙයි කියලයි අපේ විශ්වාසය.
1. වන්පොට් චිකන් කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු නැති චිකන් ග්‍රෑම් 500
- කොටු කපාගත් කැරට් ගෙඩියක්
- කොටුකපාගත් අල ගෙඩියක්
- දෙකට තුනට කපාගත් බෝංචි ටිකක්
- ඔලිව්තෙල් මේස හැඳි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- චොප්කරගත් සුදුළූණු බික් 3
- කොටුවට කපාගත් තක්කාලි ගෙඩි 3
- මස් කරි කුඩු තේ හැඳි 2
- ලුණු හා ගම්මිරිස්කුඩු
- මිටිකිරි කෝප්ප 1
- ගරම් මසාලා තේ හැඳි 1/2
- මිරිස් කුඩු සැර පදමට
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- පෑන් එකට තෙල් දාලා ළූණු ටික රන්වන් පාට වෙනකල් ෆ්‍රයි කරගන්න. ඊළඟට සුදුළූණු ටික දාගන්න. තව විනාඩි දෙකක් වගේ ෆ්‍රයි කරලා තක්කාලි ටික දාගන්න.
- තක්කාලි වලින් තෙල් වෙන් වෙලා වගේ පේන කොට කරි කුඩු ටික දාගෙන ඒ එක්කම කපාගත් චිකන් ටික දාගන්න. ලුණු, ගම්මිරිස්කුඩු සහ මිරිස් කුඩු රස අනුව දාගන්න.
- හොඳට කලවම් කරගෙන චිකන් බාගෙට වගේ තැම්බෙනකොට අල, කැරට් එකතු කරන් ඒ එක්කම වතුර කෝප්ප 3/4ක් දාගෙන අඩු ගින්දරේ වහල පිසගන්න.
- අල, කැරට් තැම්බිලා කියල පේනකොට අන්තිමට බෝංචි, මිටිකිරි එක්ක ගරම් මසාලා එකතු කරන් හින්දගන්න. හොදි ගතිය ඕන නම් උතුරනකොට ලිප නිවාගන්න. කොත්තමල්ලි කොළ ටිකක් උඩින් ඉහගන්න.
2. මික්ස්ඩ් වෙජි කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව්තෙල් මේස හැඳි 1
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- චොප්කරගත් සුදුළූණු බික් 3-4
- කොටුවට කපාගත් කැරට් කෝප්ප 1
- ග්‍රීන් පීස් කෝප්ප 1/2
- කපාගත් බෝංචි කෝප්ප 1/2
- කොටුවට කපාගත් අල කෝප්ප 1
- කෝලිෆ්ලවර් කෝප්ප 1
- ලුණු
- අමු තුනපහ පව්ඩර් තේ හැඳි 2
- වෙජිටබල් ස්ටොක් කෝප්ප 1 1/2
- දියකරගත් කෝන්ෆ්ලා මේස හැඳි 1
- ගම්මිරිස්කුඩු
- ඔලිව් තෙල් රත් වෙන්න තියලා ඒකට චොප්කරගත් ළූණු, සුදුළූණු දාලා ෆ්‍රයි කරගන්න.
- ළූණු රන්වන් පාටට ෆ්‍රයි උනාම එළවළු ටික එකතු කරලා අඩු ගින්දරේ වහලා තියන්න.
- එළවළු බාගෙට වගේ තෙලෙන්ම තැම්බුනාම ලුණු, අමුපහේ එකතු කරන්න.
- දැන් කෝන් ෆ්ලා කලවම් කරගත්ත වෙජිටබල් ස්ටොක් එක දාලා ඒකටම සැර අනුව ගම්මිරිස්කුඩු දාගෙන කලවම් කරල එළවළු ටික හොඳටම තැම්බිලා වතුර ගතිය අඩු වෙලා පොඩ්ඩක් උකු උනාම ලිපෙන් ඉවත් කරගන්න.
- කැමති නම් වෙජිටබල් ස්ටොක් වෙනුවට පොල් කිරි එකතු කරගන්නත් පුළුවන්.
3. වන්පොට් චිකන් ඇන්ඩ් පොටෑටෝ කරි
අවශ්‍ය ද්‍රව්‍ය
- එළවළු තෙල් ටිකක්
- කරදමුංගු, කරාබුනැටි
- කුරුඳු පොතු කෑල්ලක්
- සූදුරු පින්ච් එකක්
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- අමුමිරිස් කරල් 2
- ඉඟුරු සුදුළූණු පේස්ට් මේස හැඳි 1
- මිරිස්කුඩු මේස හැඳි 1
- කහකුඩු තේ හැඳි 1/2
- කොත්තමල්ලි කුඩු තේ හැඳි 1/2
- චොප්කරගත් තක්කාලි ගෙඩි 3
- චිකන් ග්‍රෑම් 500
- යෝගට් 1
- ලුණු
- අල ගෙඩි 2
- ගරම් මසාලා තේ හැඳි 2
- දෙහි බෑයක යුෂ
- චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක්
- තෙල් රත් වෙනකොට කරදමුංගු, කරාබුනැටි, කුරුඳු පොතු, සූදුරු දාලා බැදෙන්න අරින්න.
- දැන් චොප්කරගත් ළූණු ටික දාගන්න. අමුමිරිස් කරල් දෙකට පළලා දාගන්න.
- ඉඟුරු සුදුළූණු පේස්ට් එක දාලා කලවම් කරගන්න. මේකටම මිරිස්කුඩු, කහකුඩු, කොත්තමල්ලි කුඩු, තක්කාලි ටික දාගන්න.
- හොඳට තෙම්පරාදු වෙන්න ඇරලා ඒකට චිකන් ටික එකතුකරලා කලවම් කරලා වහලා තියන්න.
- චිකන් බාගෙට තැම්බෙන කොට තරමක කෑලි කපාගත් අල එක්ක ගරම් මසාලා මේකට එකතු කරලා වතුර කෝප්ප 1/2ක් එකතු කරගන්න. විනාඩි 10 ක් වගේ වහලා පිසගන්න.
- අන්තිමට යෝගට් එක පොඩ්ඩක් ගෑරප්පුවකින් ගහගෙන මේකට එකතු කරල එහෙම්ම ලිපෙන් ඉවත් කරල හොඳට කලවම් කරන්න.
- දෙහි බෑයක යුෂ හා කොත්තමල්ලි කොළ ටික උඩින් එකතු කරගන්න.
4. චිකන් චන්නා මසාලා
අවශ්‍ය ද්‍රව්‍ය
- තම්බා ගත් කඩල කප් 2
- පොඩියට කපාගත් කටු රහිත චිකන් කප් 2
- මී කිරි මේස හැඳි 2
- කපාගත් තක්කලි ගෙඩියක්
- හීනියට ලියාගත් ලොකු ළූණු ගෙඩි 2
- අමුමිරිස් කරලක්
- තලාගත් සුදුළූණු බික් දෙකක්
- ගරම් මසාලා තේ හැඳි 3/4
- මිරිස් කුඩු තේ හැඳි 1/2
- ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2
- කහ තේ හැඳි 1/4
- රස අනුව ලුණු
- සීනි තේ හැන්දක්
- අබ ඇට තේ හැඳි 1/4
- සූදුරු තේ හැඳි 1/4
- තෙල් හෝ ගී
- කරදමුංගු 3
- කරාබුනැටි 5
- කුරුඳු අඟලක්
- ස්ටාර් අනීස් බාගයක්
- කොත්තමල්ලි කොළ
- ගී ටික රත් වෙන්න තියල ඒකට අබ ඇට දාල අබ පුපුරන කොට සූදුරු, කරදමුංගු, ස්ටාර් අනීස්, කරාබුනැටි, කුරුඳු දාල තෙම්පරාදු කරගන්න.
- ඒකටම තක්කලි එක්ක ළූණු, සුදුළූණු ටික එකතු කරන් ඊට උඩින් පහේ වර්ග සියල්ලමත්, සීනි සහ ලුණුත් දාගන්න.
- දැන් හොඳින් කලවම් කරමින් තෙම්පරාදු කරගන්න විනාඩි දෙක තුනක්. ළූණු වලින් වතුර උනාගෙන එනකොට චිකන් ටික එකතු කරන් කලවම් කරගෙන ලිප අඩු කරල පියනකින් වහල තියන්න විනාඩි 3ක්.
- ඒකට කඩල ටික එකතු කරගෙන කලවම් කරල චිකන් සහ කඩල මිශ්‍රණයේ මට්ටමටම එන්න වතුර දාගන්න. ඊට වැඩි කරගන්න එපා.
- වහලා අඩු ගින්දරේ තියන්න හිඳෙන මට්ටමට එනකම්. හිඳෙන්න නොදී ලිපෙන් ඉවත් කරගන්න.
- දුම් දාන රස්නෙ යන්න ඇරල, ගෑරප්පුවකින් ක්‍රීම් වෙනකම් ගසාගත්ත මීකිරි ටික කලවම් කරගන්න. හොඳට කලවම් කරන් ආයෙමත් ලිපෙන් තියල උතුරවාගෙන අන්තිමට කොත්තමල්ලි කොළ අහුරක් කපල දාල ලිප නිවාගන්න.
5. වන්පොට් ක්‍රීම් මශෲම් චිකන්
අවශ්‍ය ද්‍රව්‍ය
- කටු අයින් කරගත් චිකන් ග්‍රෑම් 300
- ලුණු හා ගම්මිරිස්කුඩු
- චොප්කරගත් ළූණු ගෙඩි 2
- මශෲම් පැකට් 1
- චිකන් ස්ටොක් කෝප්ප 1/2
- හෙවි ක්‍රීම් කෝප්ප 1/2
- ග්‍රේට් කරගත් චීස් කෝප්ප 1/2
- කපාගත් චිකන් වලට ලුණු හා ගම්මිරිස්කුඩු දාලා මැරිනේට් කරන්න. පෑන් එකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට චිකන් ටික දාලා හොඳට ෆ්‍රයි කරගන්න.
- දැන් චිකන් ටික පෑන් එකෙන් අයින් කරල ඒ පෑන් එකටම චොප්කරගත් ළූණු සහ මශෲම් ටික එකතු කරගන්න.
- හොඳට ෆ්‍රයි කරගන්න. මේකට චිකන් ස්ටොක් සහ හෙවි ක්‍රීම් කෝප්ප එකතු කරගන්න.
- ග්‍රේට් කරගත් චීස් එකතුකරගන්න. දැන් මේකට ෆ්‍රයි කරගත් චිකන් ටික එකතු කරගන්න. උකු වෙනකල් වහලා ලිපේ තියල ලිපෙන් ඉවත් කරගන්න.
Leave a Reply