ත්‍රිපිටක බුද්ධ වචනය විස්තර කරමින් ලියන ලද කෘතීන් සමූහය අටුවා එහෙමත් නැත්නම් පාලි භාෂාවෙන් අට්ඨකථා විදිහට හඳුන්වනවා. මුල් කාලෙදි මේ අටුවා ග්‍රන්ථ තිබිලා තියෙන්නේ සිංහල භාෂාවෙන් විතරයි. මේ නිසා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ලංකාවට වැඩම කරලා සිංහල භාෂාවෙන් පාලි භාෂාවට අටුවා ග්‍රන්ථ පරිවර්තනය කරලා තියෙනවා. ඊට පස්සේ සිංහල අටුවා ග්‍රන්ථ අභාවයට ගිහිල්ලා. මේ නිසා සමහරු බුද්ධඝෝෂ හාමුදුරුවන්ට දැඩි ලෙස දෝෂාරෝපණය කරනවා. අපි අද මේ අටුවා ග්‍රන්ථවල එන රසවත් කථා කීපයක් ගැන දැන කියා ගමු. ඔබෙන් ලැබෙන ප්‍රතිචාර මත අපි මේ පිළිබඳව ලිපි පෙළක් ලියන්න බලාපොරොත්තු වෙනවා.
1. කුරවීක පක්ෂියා
ධර්මාශෝක අධිරාජයා ගේ අගමෙහෙසිය අසන්ධිමිත්‍රා නම් වූවා. පිටතට නොපෙනෙන පරිදි සන්ධි ඇති බැවින් ඇයට ඒ නම ලැබුණා කියල කියනවා. තුණුරුවන් කෙරෙහි අතිමහත් ශ්‍රද්ධාවෙන් හිටපු මේ අසන්ධිමිත්‍රා දේවියට දවසක් බුදුරජාණන් වහන්සේගේ ස්වරය මොනවගේද කියලා දැනගන්න අවශ්‍ය වුණා. මේ ගැන මහ රහතන් වහන්සේලාගෙන් ඇහුවම උන්වහන්සේ උත්තර දුන්නේ කුරවීක නම් හිමාලයේ වෙසෙන පක්ෂියාගේ ස්වරයට සමානයි කියලායි.
ඇයට මේ පක්ෂියාගේ ශබ්දය අහන්න ආස හිතුණා. මේ ගැන රජතුමාට දැනුම් දුන්නා. පෙර කරපු පින් නිසා ධර්මාශෝක රජතුමාටත් යම්කිසි සෘද්ධි බලයක් තිබ්බා (රාජ ඍද්ධි කියලා මේ ඍද්ධි බලය හැඳින්වෙනවා) රජතුමා රත්තරනින් සැදූ කූඩුවක් ගෙනල්ලා, මේ කූඩුව හිමාලයට ගිහිල්ලා කුරවීක පක්ෂියා රැගෙන ඒවා කියලා ප්‍රාර්ථනා කළා. මේ ප්‍රාර්ථනාව ඒ විදියටම සිද්ධ වුණා. හැබැයි කුරවීක පක්ෂියා කූඩුවේ හිටියට ශබ්ද කරේ නැහැ. මේ ගැන නැවතත් රහතන් වහන්සේලාගෙන් ඇහුවම උන්වහන්සේලා උත්තර දුන්නේ කුරවීක පක්ෂියාගේ ඥාතීන් දුටුවොත් ඔහු නාද කරයි කියලා. කල්පනා කරපු රජතුමා පක්ෂියා ඉදිරිපිටට කැඩපතක් ගෙනාවා. තමන්ගේම ඡායාව දැකපු පක්ෂියා ඒ තවත් කුරවීක පක්ෂියෙක් කියලා හිතාගෙන මිහිරි හඬින් නාද පැවැත්තුවා. මේ නාදය අසපු අසන්ධිමිත්‍රා දේවිය “මේ පක්ෂියාගේ නාදය මේ තරම් මිහිරි නම් නම් අප මහා භාග්‍යවතුන් වහන්සේගේ නාදය කෙතරම් මිහිරි විය යුතුද?” යැයි සිතා බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරගෙන සෝවාන් ඵලයට පත් වුණා.
2. ස්ත්‍රියක් දැක්කේ නෑ, ඇටසැකිල්ලක් නම් දැක්කා
වර්තමාන මිහින්තලය ප්‍රදේශයේ වාසය කරපු මහාතිස්ස නම් ස්වාමීන් වහන්සේ නමක් දවසක් පිණ්ඩපාතයේ වැඩම කළා. මහ මඟ යමින් සිටි ස්ත්‍රියක් උන් වහන්සේ දැකලා දැකලා සිනාසුනා. ටික වේලාවකින් ඒ ස්ත්‍රියව සොයමින් සිටි ඇගේ සැමියාව උන්වහන්සේට මුණගැසුණා. ඔහු උන් වහන්සේගෙන් “ස්වාමීනි ඔබ වහන්සේට ස්ත්‍රියක් මුණ ගැසුණද?” කියන ප්‍රශ්නය ඇහුවා. උන්වහන්සේ එම මිනිසාට මෙසේ උත්තර දුන්නා “පින්වත, මම ස්ත්‍රියක් නම් දුටුවේ නැහැ. නමුත් ඇවිදින ඇටසැකිල්ලක් නම් දුටුවා”. මේකට හේතු වෙලා තියෙන්නේ උන්වහන්සේ පිණ්ඩපාතයේ වඩින ගමනුත් කර්මස්ථාන මෙනෙහි කරමින් ගමන් කිරීම.
3. මහාසීව හාමුදුරුවන්ගේ කකුල් වගේ
මහාසීව හාමුදුරුවෝ තිස්සමහාරාමයේ වැඩ වාසය කරමින් තිස් දහසක් භික්ෂූන් වහන්සේලාට ධර්මය ඉගැන්වුවා. මේ භික්ෂූන් වහන්සේලා තිස්දහසම රහත් භාවයට පත් වුණා.
දවසක් ඒ අතරින් භික්ෂූන් වහන්සේ නමක් තමන්ගේ ගුරුවරයා රහත් භාවය ලබා ගෙන නොමැති බව වටහා ගෙන උන් වහන්සේව මුණ ගැසෙන්නට දවසක් ආවා. ශිෂ්‍ය භික්ෂුන් වහන්සේට ගුරු හාමුදුරුවන් ගෙන් ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය වුණත් මහාසීව හාමුදුරුවන්ගෙන් ඉගෙනගන්න පැමිණි ගෝලයෝ නිසා අවස්ථාව නොලැබුණා. අවසානයේදී ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ “තමන්ට යමක් නොකර ගන්නා ඔබ වහන්සේගේ පිළිතුරුවලින් මට වැඩක් නැහැයි කියලා” මහා සිව හාමුදුරුවෝ බලා සිටිද්දීම අහසින් වැඩම කළා.
ශිෂ්‍යයාගේ වචනය අහලා කම්පා වුණු මහාසීව හාමුදුරුවෝ එදාම ආරණ්‍යයකට ගිහිල්ලා භාවනා කරන්න ගත්තා. උන්වහන්සේගේ බලාපොරොත්තුව වුණේ ඒ දවස ඇතුළත රහත් වෙන්න, නමුත් තිස් දහසක් පිරිසකට රහත් භාවය ලබා දෙන්න සමත්වුණු උන්වහන්සේට රහත් වෙන්න අවුරුදු තිහක් ගත වුණා. මේ කාලය තුළ උන්වහන්සේ සයනයක නිදා ගැනීමක් හෝ පාද දෙවීමක් කරේ නැහැ. තමන්ගේ ගුරු හාමුදුරුවෝ රහත් වුණා කියලා දැකපු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තිස්දහසම තමන්ගේ ගුරුවරයාගේ පාද දෙවීම සඳහා එතැනට වැඩම කළා. ඒ වගේම ශක්‍රදේවේන්ද්‍රයාත් පැමිණියා. තිස් වසරක් පුරාවට පාද දෙවීමෙන් වැළකීම නිසා උන්වහන්සේගේ පසු පතුල් පැළිල තිබ්බා. මේ නිසා අවට ජනතාව අතර මහාසීව හාමුදුරුවන්ගේ පතුල් වගේ කියලත් උපමාවක් හැදිලා තිබ්බා. නමුත් උන්වහන්සේගේ පතුල ශක්‍රදේවේන්ද්‍රයා පිරිමැදීමත් සමගම කුඩා දරුවෙකුගේ මෙන් මෘදු බවට පත් වුණා.
4. මහාවංශයට විරුද්ධ කතාව
මහාවංශයට අනුව දුටුගැමුණු රජතුමාට යුද්ධයෙන් පස්සේ බලවත් පශ්චාත්තාපයක් ඇතිවෙලා තියෙනවා. ඒ තමන් සුවිශාල මනුෂ්‍ය ඝාතන ප්‍රමාණයක් සිද්ධ කරා කියලා. නමුත් ඒ අවස්ථාවේ වැඩම කරපු රහතන් වහන්සේලා දුටුගැමුණු රජතුමා ඝාතනය කරලා තියෙන්නෙ මිනිස්සු එකහමාරක් කියලා කතාවක් කියලා තියෙනවා. උන්වහන්සේලා මනුෂ්‍යයෙක් විදියට සලකලා තියෙන්නෙ තෙරුවන් සරණ ගිය උපාසකයෙක් සහ බාගයක් විදිහට සලකලා තියෙන්නේ පන්සිල් සමාදන් වෙච්ච කෙනෙක්. මහාවංශයට එල්ල වන දැඩි විරෝධයක් ඇති වෙන්නේ මේ කතාව නිසා. නමුත් අටුවා කථා අනුව නම් කියවෙන්නේ වෙන කතාවක්. යුද්ධය ජයග්‍රහණය කිරීම නිසා සන්තෝෂය වැඩිකමට දුටුගැමුණු රජතුමාට නින්ද ගිහින් නෑ. ඒ අවස්ථාවේ දී රහතන් වහන්සේලා වැඩම කරලා දුටුගැමුණු රජතුමාට පිරිත් කියලා තියෙනවා. ඒ පිරිත් අහගෙනම දුටුගැමුණු රජතුමාට නින්ද ගිහිල්ලා. නැවත නැගිටපු දුටුගැමුණු රජතුමා අපගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලා යහපත් නින්දක් ලබා දෙන හැටි දන්නවා කියලා උදම් අනලා තියෙනවා.
5. සාලිය අසෝකමාලා
සාලිය කුමාරයා විසින් අසෝකමාලා නම් සැඩොල් තරුණියක් විවාහ කරගත් බව අසා දැඩි ලෙස කෝපයට පත් වුණු දුටුගැමුණු රජතුමා, ඇයව සහ සාලිය කුමාරයව මාළිගාවෙන් නෙරපන්න හිතාගෙන සාලිය කුමාරයාගේ මාළිගාවට ගිහිල්ලා තියෙනවා. ඒ අවස්ථාවේදී රජතුමාව පිළිගැනීමට අසෝකමාලා පැමිණිලා තියෙනවා. ඇගේ රූපශ්‍රීය දැකලා අතිශයින් සතුටට පත් වෙච්ච දුටුගැමුණු රජතුමා සාලිය කුමාරයාට මෙහෙම කියලා තියනවා “යම් විදියකින් ඔබ මේ ස්ත්‍රියව විවාහ කරගත්තේ නැත්තන් ඇගේ රූපශ්‍රීයට අනුව මම වුණත් මැයව විවාහ කරගන්න තිබ්බා, ප්‍රේමය ඉදිරියේ කුලගෝත්‍ර කිසිම දෙයක් වැදගත් වන්නේ නැහැ” කියලා. ඉන් අනතුරුව එතුමා නව යුවතිපති දෙපළට ආශිර්වාද කරලා නික්ම ගිහිල්ලා තියෙනවා.
6. පණ පිටින් දිව්‍ය ලෝකයේ ගිය සුළුගුළු උපාසක තුමා
සාමාන්‍යයෙන් අපේ බෞද්ධ ජනතාව අතර වැරදි මතයක් තියෙනවා ලංකාවෙ පහළ වෙච්ච අවසාන මහරහතන් වහන්සේ මලියදේව මහරහතන් වහන්සේ කියලා. ධර්මානුකූලව බැලුවොත් මේ කතාව වැරදියි. නමුත් මලියදේව මහරහතන් වහන්සේ සබැඳිව රසවත් කතා රැසක් අපේ ජනතාව අතර ප්‍රසිද්ධියට පත්වෙලා තියෙනවා. ඒ අතරින් එකක් වෙන්නේ උන්වහන්සේගේ කැපකරු දායකයකු වන සුළු සුළුගුළු උපාසකයව උන්වහන්සේ විසින් දිව්‍ය ලෝකයට රැගෙන ගියා කියන කතාව. ඒ අවස්ථාවේ දී සුළුගුළු උපාසක තුමාට විවිධ පින්කම් කරලා දිව්‍ය සැප සම්පත් විඳින දෙවිවරුන් රාශියකගේ ආශ්චර්යමත් ස්වභාවය දැක බලාගන්න ලැබුණා. නමුත් පුදුමයට කාරණය වෙන්නේ ඒ දෙවිවරුත් සුළුගුළු උපාසක තුමාව දැනගෙන සිටීම. මේකට හේතුව වෙන්නේ දෙවිවරු පින්කම් කරන පුද්ගලයන් පිළිබඳව දිවැසින් බලා ඔවුන්ට ආශීර්වාද කිරීමයි.
7. සිවුරු හැරි පෙම්වතුන් යුවළ
රුවැන්වැලිසෑයේ මුල්ගල තබන පිංකමට සාමණේර භික්ෂුණන්වහන්සේ නමක් සහභාගී වුණා. දාන වෙලාවෙදි මේ සාමණේර භික්ෂුවට තවත් සාමණේර භික්ෂුණින්වහන්සේ නමක් පාත්‍රයකින් පූජා කළා. මේ වෙලාවේ දෙදෙනාටම ඔවුන් දෙදෙනා පිළිබඳව සිත් පහළ වුණා. වළගම්බා රජ කාලයේ ඇති වුණු බැමිණිතියා සාය කාලේ දෙදෙනාම දඹදිවට ගියා. එහිදී ඔවුන් දෙදෙනා මුණ ගැසුණා. අර පාත්‍රය භික්ෂූන්වහන්සේ එතෙක් සඟවා ගෙන තිබුණා. මේ පාත්‍රය දැකීමෙන් දෙදෙනාට අතීතය මතක් වුණා. සිවුරු ඇරපු දෙදෙනා විවාහ වුණා.
එහෙම නම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
Leave a Reply