කෑමට දැමීම හැර විනාකිරි වල තිබෙන වෙනත් ප්‍රයෝජන

විනාකිරි… විනාකිරි මොනාද ඉතින් අච්චාරු වර්ග හෙම හදාගන්න නේ විනාකිරි ගන්නේ. අපි ආසම කෑමක් වන අච්චාරු වලට අමතරව ගොඩක් කෑම ජාති වලට විනාකිරි ගන්නවා. මේ සුදු විනාකිරි කෑම හදන කුස්සියෙන් එළියේ තියෙන වෙනත් කටයුතු වලටත් යොදාගන්නවා. විනාකිරි වල තියෙන සංයෝග කෑම වලට අමුතු කික් එකක් තියෙන රසයක් එකතු කරන්න වගේම අපේ ගෙදර දොර හැමතැනම තියන බඩු බාහිරාදිය සහ ස්ථාන පිරිසිදු කරන්නට සුදුසු හොඳ පිරිසිදුකාරකයක්ද වෙනවා.

 

1. ජනේල සහ බ්ලයින්ඩ්ස් පිරිසිදු කරගැනීමට

සුදු විනාකිරි වලට වතුර ටිකක් එකතු කරලා, ඒ මිශ්‍රණය ස්පොන්ජ් කෑල්ලකින් පොඟමින් ජනෙල් පිසගන්න. ජනෙල් වලින් එන ආලෝකය පාලනය කරන්නට කාර්යාල සහ ගෙදර තියෙන බ්ලයින්ඩ්ස් පිරිසිදු කරන්නත් මේ විනාකිරි හොඳයි. ඇමෝනියා කෝප්පයකට, සුදු විනාකිරි කෝප්ප බාගයක් දාලා ඒකටම බේකින් සෝඩා කෝප්ප කාලකුත් දාගන්න. ඉන් පස්සේ රෙද්දකින් හරි ස්පොන්ජ් එකකින් හරි බ්ලයින්ඩ් පිරිසිදු කරගන්න පුළුවන්.

 

2. ඔටෝමැටික් කෝපි යන්තරේ පිරිසිදු කරගැනීම

මේ ඔටෝමැටික් තේ කෝපි හදන මැෂින් මළ ගෙවල් වලට සහ උත්සව අවස්ථාවලට ගෙන එනවා. ඒවා කාර්යාලවල කැන්ටින් වලත් තියෙනවා. මේ වගේ යන්ත්‍ර තුළ සීනි සහ කිරිපිටි වැනි ද්‍රාවණ නල ඇතුළතින් අභ්‍යන්තරයේ ගමන් කරනවා. ඒ නිසා හරි ඉක්මනට මේවායේ ඇතුළේ බැක්ටීරියා දිලීර ආදි දේ ඇතිවෙන්න පුළුවන්. මේ යන්ත්‍ර වල ද්‍රාවණ ගමන් කරන මාර්ගයේ විනාකිරි වතුර මිශ්‍රණයක් යවන්න. ඉන් පස්සේ විනාකිරි ටික ඉවත්වෙනකල් හොඳින් සෝදාගන්න. කෝකටත් මේ යන්ත්‍ර සෝදා ගැනීමේදී යන්ත්‍ර එක්ක එන මැනුවල් එක ටිකක් බලන්න පුළුවන් නම් ඒකත් හොඳයි.

 

3. මල් පිපී තබාගන්න

මල් කියන්නේ පිපුණාට පස්සේ පරවෙන ජාතියක්. මල් කළඹක් උත්සව අවස්ථාවකට හරි එහෙම නැතිනම් සැරසිල්ලකට හරි යොදාගන්නකොට ඒ මල් ටිකක් කල් තියාගන්නට අපිට ඕනා වෙනවා. සුදු විනාකිරි හැඳි දෙකක් සීනි හැඳි දෙකක් සහ වතුර එකතුකරලා ඒ ද්‍රාවණයේ මල් ගිල්වලා තිබුනොත් දවස් දෙක තුනක් මල් අලුත් මල් වගේ කල් තියෙනවා. මේ ක්‍රමේදි මල් දවසකට වඩා තියෙනවා නම් මල් ගිල්වපු ද්‍රාවණය දවසින් දවස අලුත් කරන්න අමතක කරන්න එපා…

 

4. අපිරිසිදු වූ හිදැස් පිරිසිදු කරගැනීම

හොඳට වතුර වැටෙන තැනක ටයිල් අතර යම් අවපැහැ ගැන්වීමක් වෙනවා. ඒ වගේම ගෙදරක ගත්තොත් මිදුලේ තියෙනෙ කොන්ක්‍රීට් හෝ සිමෙන්ති ටයිල් අතරත් යම් තණකොළ එහෙම ඇතිවෙනවා. ඒ වගේ ඉවත් කරන්න අපහසු තැන්වල හැදෙන වගාවන් සහ පුස් දියසෙවල යවන්න විනාකිරි කියාපු බඩුවක්. හොඳ සුදු විනාකිරි ටිකක් දාලා දවසක් දෙකක් තියෙන්න හැරියාට පස්සේ ඒ ඉවත් කරන්න අපහසු තැන් වල ඇතිවෙලා තියෙන පුස්, දියසෙවෙල් තණකොළ ආදිය මැරිලා ගැලවිලාම යනවා.

 

5. ගෙබිම සහ වැසිකිළි ආදිය

විනාකිරි කෝප්ප බාගයක් වතුර ගැලුන් බාගයකට එකතු කරලා ගෙදර මොප් කරන්න. එයින් ගෙබිමේ තියෙන දූවිලි කුණු ආදිය ඉවත්වෙලා ක්ලීන් වෙනවා. මේ ක්‍රමයේදී මොප් එකේ වතුර අපිරිසිදු වෙද්දි ආයෙත් විනාකිරි ටිකක් දාල ගන්න ඕනි. ඒ වගේම බාත්රූම් එකේ බාත් ටබ්, සින්ක් ආදියේ වතුර නිසා බැඳිලා තියෙන කහට අයින් කරන්නත් විනාකිරි හොඳයි. විනාකිරි සහ බේකින් සෝඩා එකතු කරලා ඒ මිශ්‍රණයෙන් බාත් ටබ්, බාත්රූම් සින්ක් පිරිසිදු කරලා පස්සේ වතුරෙන් සෝදා හැරියාම බාත් ටබ් වල, සින්ක් වල තියෙන මැලියම් ගතිය අයින් වෙලා යනවා.

 

6. තඹ, පිත්තල බඩු සහ ශවර් හෙඩ්ස්

ලුණු හැන්දකට විනාකිරි කෝප්ප බාගයක් එකතු කරලා හදාගන්න මිශ්‍රණය තුළින් තඹ සහ පිත්තල බඩු වල නැති වී ගිය ඔපය ආයෙත් ලැබෙනවා. මේ ක්‍රමයේදී විනාකිරි, ලුණු මිශ්‍රණය ආලේප කරලා එවෙලේම පිසදාන්නේ නැතිව විනාඩි 15ක් විතර තියෙන්න ඇරලා ඉන් පසු රෙදි කඩකින් හෝ ස්පොන්ජයකින් ඒ පෘෂ්ඨය පිරිසිදු කරන එක ගොඩක් හොඳයි. ශවර්හෙඩ්ස්, එහෙම නැතිනම් ටැප් කරාම, සින්ක් කරාම, බාත්රූම් ශවර් ආදියේ හිසේ තියෙන සිදුරු කලක් ගියාම බ්ලොක් වෙනවා. විනාකිරි ප්ලාස්ටික් බෑගයකට දාලා ෂවර් හෙඩ් එකේ රැයක් ගැටගහලා තියලා ඉන් පස්සේ ඒක හොඳින් හෝදලා හැරියාම මේ ශවර් හෙඩ් බ්ලොක් නැතිවෙන්න හොඳට ක්ලීන් වෙනවා.

 

7. කොණ්ඩය පිරිසිදු කරගන්නට

ෂැම්පෝ කන්ඩිශනර් ගාල නෑවට පස්සේත් මේ ෂැම්පු කන්ඩිශනර් වල තියෙන යම් ගතිගුණ කොණ්ඩයේ ඉතිරි වෙනවා. ඒ වගේම සමහර අයගේ නෑවට පස්සේ කොණ්ඩය ඉක්මනින්ම වියලි වෙලා පීරන්නට අමාරු තත්ත්වයට පත් වෙනවා. කොණ්ඩයට කරන විනාකිරි සත්කාරය සඳහා විනාකිරි හැඳි දෙකක් වතුර කෝප්පයකට එකතු කරලා කොණ්ඩයට එකතු කරන්න. කොණ්ඩය වියලි එකක් නම් මේ මිශ්‍රණයට එකතු කරන විනාකිරි ප්‍රමාණය ස්වල්පයක් වැඩි කරන්න. මේ විදිහට කොණ්ඩයට දමලා විනාඩියකින් විතර හොඳින් වතුරෙන් සෝදා හරින්න. ඉන් පස්සේ කොණ්ඩයට පීරන්න පුළුවන් දිලිසෙන සිල්කි ගතියක් එකතු වෙනවා.

 

මීට අමතරව කෝප්ප පිඟන් පිරිසිදු කරගන්න, කාපට් පිරිසිදු කරගන්න, බිත්ති වල පැල්ලම් ඉවත් කරගන්න, රෙදි හෝදගන්න එහෙමත් විනාකිරි පාවිච්චි කරන්නට පුළුවන්. ගෙදර තියෙන විනාකිරි බෝතලේ කෑම උයන්න වගේම ලාභදායී ප්‍රබල පිරිසිදු කාරකයක් විදිහටත් අපිට වැදගත් වෙනවා කියල මේ අනුව ඔයාලට තේරෙනවා ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *