නාසයට මුදුවක්, එහෙම නැත්නම් කරාබුවක් දාන එක කාලාන්තරයක් තිස්සේ කාන්තාවන් අතර පැවතෙන විලාසිතාවක්. හැබැයි මේ විදියට නහයට මුදුවක් පළඳින එක නිකම්ම නිකම් විලාසිතාවකටම කෙරුණ දෙයක් නෙවෙයි. එහෙනම් නහය විදගන්න කලින් කියවල බලමුද නහය විදිල්ලෙ ඉතිහාසෙ ඉඳන්ම අපූරු තොරතුරු ටිකක්?
1. කොහෙන්ද මේක පටන් ගත්තෙ?
නහය විදින එක ගැන පළමු ලිඛිත සාක්ෂිය හමුවෙන්නෙ අවුරුදු 4000කට එහා මැදපෙරදිග ඉතිහාසයෙන්. උප්ප්පත්ති කතාවේත් මේ නාසයට පළඳින මුදුවක් බිරිඳට තෑගි කිරීමක් ගැන සඳහන් වෙනව. අදටත් මැදපෙරදිග බෙඩුයින් ගෝත්‍රයේ සහ අප්‍රිකාවේ බර්බර් සහ බේජා යන ගෝත්‍ර වල තම අනාගත සහකාරියට නාසයට පළඳින මුදුවක් තෑගි කෙරෙනව. සැමියා මිය ගිය විටක හෝ සැමියා විසින් බිරිඳව අත්හැරි විටක එම මුදුව විකුණා ජීවත් වීමට මුදලක් සපයා ගැනීම එහි අරමුණයි. මුදුවේ ප්‍රමාණය සහ වටිනාකම සැමියාගේ ධනවත් බව කියාපානව. මනමාලියගේ පාර්ශවයෙනුත් නාස් මුදුවක් තෑගි දීම ඇගේ පවුලේ ධනවත් බව කියාපානව. මැදපෙරදිග සිට මෝගල් රාජ්‍යයන් හරහා මේ නාස් මුදු පැළඳීම ඉන්දියාවට එන්නෙ 1500 ගණන් වල.
2. ආයුර්වේදයේ සඳහන් නහය විදීම
ඉන්දියාවේ අද වනතුරම කාන්තාවන් නාසය විදීම සම්ප්‍රදායක් සහ විලාසිතාවක් විදියට කරගෙන එනව. වම් නාස් පුඬුවට හෝ නාස් පුඬු දෙකටම ඔවුන් කරාබු පළඳිනව. ඉන්දීය ආයුර්වේදයට අනුව වම් නාස් පුඬුවට කරාබුවක් පැළඳවීමෙන් කාන්තාවන්ගේ මාසික ඔසප් වේදනාවට සහනයක් සලසන අතර ස්වභාවික දරු ප්‍රසූතිය පහසු කරවනව. ආයුර්වේදයට අනුව කාන්තා වම් නාස් පුඬුව සහ ප්‍රජනන පද්ධතිය අතර සම්බන්ධයක් තියෙනව.
3. බටහිරට සංක්‍රමණය
1913 දී ප්‍රංශ ගායිකා පොලෙයාර් (Polaire) විසින් නහය විදීම බටහිරට හඳුන්වල දුන්නයි කියලයි කියන්නෙ. කොහොම උනත් මේක ප්‍රසිද්ධ වෙන්න නම් ගත්තෙ හැට ගණන් වල හිපි සංස්කෘතියත් එක්ක. 70, 80 දශක වලදී රොක් සහ ගොතික් ගායකයන් ගතානුගතිකත්වයට එරෙහි කැරැල්ලේදි පුද්ගලික නිදහස සංකේතවත් කරන්න මේ නහය විදීම යොදාගන්නව.
4. විලාසිතාවක් විදියට
අද වන විට මේ නහය විදීම ගෑණු පිරිමි බේදයක් නැතුවම විලාසිතාවක් විදියට පෙර අපර දිග ප්‍රචලිතයි. හැබැයි මේ විලාසිතාවත් දැනගෙන ගියොත් කතරගම නැත්නම් අතරමග වගේ තමයි. සාමාන්‍ය බටහිර පිළිගැනීම අනුව පිරිමින් නාස් මුදු පළඳින්න ඕන නාසයේ දකුණු පැත්තෙ. වම් පැත්තෙ නාස් මුදුවක් පිරිමි කෙනෙක් දාගෙන ඉන්නව නම් ඔහු සමලිංගිකයෙක් විදියට පිළිගැනෙනව. ඒ වගේම ගෑණු කෙනෙක් නාස් මුදුව දකුණු පැත්තෙ පැළැන්ඳොත් ඇයව ලෙස්බියන් විදියට පිළිගැනෙනව.
5. නහය විදින කොට රිදෙනවද?
ඔව්. රිදෙන්නෙ නෑ කිව්වොත් බොරුවක්නෙ. එක එක්කෙනාගෙ වේදනාව දරාගැනීමේ හැකියාව වෙනස්. සාමාන්‍යයෙන් කණ විදින කොට දැනෙන වේදනාවට වඩා චුට්ටක් වැඩි වේදනාවක් නහය විදින කොට දැනෙනව. ඒත් ඒක දරාගන්න අමාරු වේදනාවක් නෙවෙයි. ක්ෂණිකව ඇති වෙලා නැති වෙලා යන එකක්. ආස උනත් මේ වැඩේට බය නම් හොඳම දේ ඇස් පියාගන්න එක.
6. මොන මෙට්ල් එකද හොඳම?
ටයිටේනියම් තමා බොඩි පියර්සින් වලට හොඳම. සංවේදී සමක් තියෙන අයට වඩාත්ම සුදුසුයි. ඊළඟට හොඳම සර්ජිකල් ස්ටීල්. ටයිටේනියම් වලට වඩා ගාණ ටිකක් අඩු ස්ටේන්ලස් ස්ටීල් මෙට්ල් එකත් ආසාත්මිකතා ඇති කරන්නෙ නෑ. රත්තරන්, රිදී සහ නිකල් නම් ආසාත්මිකතා ඇති කරවන්න පුළුවන්. තුවාලය සුව වුන පියර්සින් එකකට නම් කැරට් 14-18 වගේ රත්තරන් පළඳින්න පුළුවන් ආසාත්මිකතා එන්නෙ නැති අයට.
7. නහය විද්දට පස්සෙ?
සාමාන්‍යයෙන් කණ විදිනවට වඩා පරිස්සමෙන් නහයෙ පියර්සින් එකක් බලාගන්න ඕන. දවසට තුන්හතර වතාවක් සේලයින් වතුරෙන් සෝදන්න. සෝදන එක කරන්න ඕන අපි සාමාන්‍යයෙන් මූණ සෝදන ක්‍රමයට නම් නෙවෙයි. පොඩි කෝප්පෙකට සේලයින් වතුර ටිකක් අරන් නහය ඒකට ඔබන්න. විනාඩියක් විතර තියන් ඉඳල පිරිසිදු රෙද්දකින් පිහිදන්න.
අතින් අල්ලන්න, මේකප් හෝ ක්‍රීම් වර්ග ගාන්න, ගංගා/මුහුදු, ඇළ දොළ හෝ ස්විමින් පූල් වල පීනන්න යන්නවත් නාස් මුදුව ගලවන්නවත් එපා. තුවාලය හොඳින්ම සුව වෙනකම් මේ විදියට පරිස්සම් කරන්න. අන්තිමට මතක් කරන අනිත් කාරණේ තමයි කරාබු ගලවල දාල සතියක් විතර හිටියට කණේ සිදුර වැහෙන්නෙ නෑනෙ. ඒත් නහය කියන්නෙ ඉක්මණින්ම සිදුර වැහිල යන තැනක්. ඒ නිසා නිතරම මුදුව පළඳින්න. නාස් පුඬු වල තුවාලය සම්පූර්ණයෙන්ම සුව වෙන්න මාස 4-6ක් වගේ කාලයක් ගත වෙනව. නහය කසන්න, සොටු සූරන්න වගේ දේවල් කරන කොට පරිස්සමෙන් කරන්න මතක තියාගන්න.
8. නහයෙ විදින්නෙ නාස් පුඬු විතරද?
නහය විදින තැන් කීපයක් සහ ඒ ඒ තැන් වලට දාන කරාබු වර්ග ගණනාවක්ම තියෙනව. අපි අද මේ කිව්වෙ ලංකාවෙ වඩාත් ප්‍රචලිත නාස් පුඬු දෙක විදින එක ගැන ඉතිහාස කතාවයි නහය විදින්න කලින් දැනගෙන ඉන්න ඕන දේවල් කීපයක් ගැනයි විතරයි කියලත් මතක් කරනව. කොයි දේ කරන්නත් කලින් ඒ කරන දේ ගැන හරියට දැනගෙන කරන එක වටිනව කියල මේ විස්තර නොදැන මේ වෙද්දි නහයෙ දකුණු පැත්ත විදගෙන ඉන්න නංගිලාටත් වම් පැත්ත විදගෙන ඉන්න මල්ලිලාටත් වැටහෙන්න ඇති කියල අපි හිතනව. 😉
Leave a Reply