ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 3 කොටස

මේ ආටිකල් සීරිස් එක නම් අනන්තය දක්වා යයි ද කියලත් වෙලාවකට හිතෙනවා. මොකද ඒ තරම් අපේ රටේ දේශපාලනඥයින් ගැන කතා කරන්න දේවල් ඉවර වෙන්නේ නැති හින්දා. එහෙම නම් ඉතිං වැඩි අටුවා ටීකා නැතුව අපි කෙලින්ම රස කතා කියවන්න පටන් ගමු.

1. කොහොමද මේ රන් කඳ දන් දෙන්නෙ?

නාමල් උඩුගම ගයන කරන ගීතයක් තියෙනවා “වෙස්සන්තර බිසෝ නුඹව දන් දෙන්න බෑ නාටකේ” කියලා. මේ ගීතයට සමාන කතාවක් තමයි අපි දැන් කියන්න යන්නේ. කැස්බෑව ආසනය නියෝජනය කරපු සෝමවීර චන්ද්‍රසිරි වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ කවියෙක් විදිහට. නමුත් ඔහු දක්ෂ නාට්‍යකරුවෙක් විදිහටත් දස්කම් පෙන්නුවා. වතාවක් ඔහු වෙස්සන්තර නාටකය නිෂ්පාදනය කරමින් වෙස්සන්තර රජුගේ චරිතය රඟ පෑවා. නාට්‍යයේ මන්ද්‍රි දේවියගේ චරිතය නිරූපණය කළේ හෙළයේ නිළි රැජින රුක්මණී දේවිය. මේ නාට්‍ය බලන්න මාපලගම විපුලසාර හාමුදුරුවෝ වැඩම කළා. තවත් ගමනක් යන්න නියමිත වෙලා හිටපු මාපලගම හාමුදුරුවෝ විවේක කාලයේදී වේදිකාවේ පිටුපස දී සෝමවීර චන්ද්‍රසිරිව මුණ ගැසිලා කතාබහක යෙදුණා. චන්ද්‍රසිරි ගාවින් ආපු සුවඳ පොඩ්ඩක් අවුල් වගේ දැනුණු නිසා හාමුදුරුවෝ මෙහෙම කිව්වා “වෙස්සන්තර වගේ බෞද්ධ නාට්‍යයක් කරන එක නම් හරිම හොඳ වැඩක්, හැබැයි ඉතින් පස්වැනි සිල්පදය කඩන එක නම් වැරදි වැඩක්” කියලා. ගත් කටටම සෝමවීර චන්ද්‍රසිරි රුක්මණී දේවිය පෙන්නලා “අනේ කොහොමද හාමුදුරුවනේ මේ රන් කඳව සිහියෙන් දන් දෙන්නෙ” කියලා ඇහුවා. හාමුදුරුවන්ට වගේම වටේ හිටපු පිරිසටත් හිනාව නතර කර ගන්න බැරි වුණා.

 

2. පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන් 

ලංකාවේ රාජ්‍ය නායකයන් අතරින් සාහිත්‍යයට සම්බන්ධව වැඩිම වැඩ කටයුතු කළේ රණසිංහ ප්‍රේමදාස මහත්මයා කියන එක අවිවාදිතයි. එතුමා ගොළු මුහුද, හිතවතිය වගේ නවකතා රාශියක් රචනා කළා. ඒ වගේ ම කවි රචනා කළා. කාලයක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුද්‍රණය කළ අභ්‍යාස පොත්වල පවා එතුමාගේ කවි මුද්‍රණය කරලා තිබුණා. නමුත් එවකට එතුමාගේ විරුද්ධවාදීන් නම් ප්‍රකාශ කළේ මේ සියල්ල රචනා කළේ වෙනත් රචකයින් බවයි. අරිසෙන් අහුබුදු වගේ නම් ඒ සම්බන්ධයෙන් කියැවුණා. මේ කාලය තුළ එතුමා එච්. ආර් ජෝතිපාල විසින් ගායනා කරන “සමනල සිරසින්”, චන්ද්‍රිකා සිරිවර්ධන ගායනා කරපු “උත්සාහය උක් දණ්ඩක්” වැනි ගීත රචනා කළා. නමුත් ඇත්ත පත්තරේ රංචාගොඩ ළමයා නමින් ලියපු සිරිලාල් කොඩිකාර මහත්තයා නම් කිව්වෙ වෙන කතාවක්, ඒ කතාව මෙහෙමයි 

 

දාගැබ් මහා වැව් බැන්දේ ඩෝල්ටන්

සීගිරි ගලේ කවි ලිව්වේ ඩෝල්ටන්

නගුලෙන් එදා රජ කෙරුවේ ඩෝල්ටන්

පැදුරේ මෙදා නිදියන්නෙත් ඩෝල්ටන්

 

ඩෝල්ටන් කියන්නේ ඩෝල්ටන් අල්විස් මහත්මයායි.

 

3. පොල්වතු ආණ්ඩුවට ගත් හැරල්ඩ් හේරත් 

දවසක් පුවත්පත් කලාවේදීන් කීපදෙනෙක් ඒ කාලේ පොල් කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා විදිහට වැඩ කටයුතු කරපු හැරල්ඩ් හේරත්ව මුණ ගැහුණා. මුණගැහිලා කිව්වා “සර් අපිට අලුත් ප්‍රවෘත්තියක් නැද්ද, හෙඩ්ලයින් එකට ගහන්න පුළුවන් ප්‍රවෘත්තියක් නම් මරු” කියලා. ටිකක් වෙලා කල්පනා කරපු හේරත් මෙහෙම කිව්වා, “තමුසෙල දානවා පොහොර දාන්නේ නැති පොල්වතු ආණ්ඩුවට ගන්නවා කියලා”. මොකද මේ කාලයේදී ආණ්ඩුව කොච්චර උපදෙස් ලබා දුන්නත් පොල් වතු හිමියන් නිසි ලෙස පොහොර තමන්ගේ වතු වලට පාවිච්චි කළේ නෑ. ප්‍රවෘත්තිය පළ වීමත් එක්ක එක්සත් ජාතික පක්ෂ රජය පොල්වතු ආණ්ඩුවට ගන්නවා කියන කතාව අහපු පොල් වතු හිමියන්ගෙන් දැඩි විරෝධයක් ආණ්ඩුවට එල්ල වුණා. කැබිනට් එකේදිත් හැරල්ඩ් හේරත්ට මේ ගැන කරුණු දක්වන්න කියලා බලපෑමක් ආවා. අවසානයේදී හැරල්ඩ් හේරත් ඒ වෙලේ කටට ආවට කියපු දේ කරන විදිහ ජාමේ බේරගෙන පැහැදිලි කරමින් නිවේදනයක් නිකුත් කළා. පොහොර නොයෙදූ වතු තාවකාලිකව ආණ්ඩුවට පවරා ගෙන  පොහොර යොදලා ආපහු අයිතිකාරයන්ට බාර දීලා ඒ සඳහා ගිය වියදම දිගු කාලීන ණයක් විදිහට පොල් වතු අයිතිකාරයන්ගෙන් අය කර ගන්නවා කියලා හැරල්ඩ් හේරත් පැහැදිළි කිරීමත් එක්ක රජයට එල්ල වුණු සියලු විරෝධය නතර වුණා.

 

4. එම්. ඩී. එච් ජයවර්ධනගේ උපත් පාලනේ

සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු එම්.ඩී.එච් ජයවර්ධන ලංකාව තුළ උපත් පාලන ක්‍රම ජනප්‍රිය කිරීමට දැඩි වෙහෙසක් ගත්තා. ඒ හරහා ලංකාවේ ජනගහණය පාලනය කරගැනීමත් සංවර්ධන ඉලක්ක කරා යෑම වේගවත් කිරීමත් ඔහුගේ අපේක්ෂාව වුණා. නමුත් උපත් පාලන ක්‍රම ජනප්‍රිය කිරීම පිළිබඳව දැඩි විරෝධයක් ලංකාවේ හැම අතින්ම ඔහුට එල්ල වුණා. වතාවක් ඔහු සහභාගී වුණු රැස්වීමකදී පිරිසක් සංවිධානාත්මකව ඔහුට විරෝධය එල්ල කරන්න පටන් ගත්තා. බාධා මධ්‍යයේ කතාව පටන් ගත්ත එම්. ඩී. එච් තමන්ගෙ කතාව කරගන්න බැරි තැනකට ගියාම “මේ කෑගහන අයගේ අම්මලා තාත්තලා උපත් පාලන ක්‍රම අනුගමනය කරානම් මේ වගේ අවුල් වෙන්නේ නැහැ” කියලා කිව්වා. ඒත් එක්කම කෑ ගගහා හිටපු පිරිස සද්ද වහලා එම්. ඩී. එච්ට කතාව කරගෙන යන්න ඉඩ ලබා දුන්නා.

 

5. කොටින්ට අහුවුණු මුදියන්සේ තෙන්නකෝන් 

නිකවැරටි ආසනය නියෝජනය කරපු මුදියන්සේ තෙන්නකෝන් සැලකෙන්නේ ජනප්‍රිය වගේම පෙරළිකාර අමාත්‍යවරයෙක් විදිහට. වතාවක් ඔහු කයිට්ස් අතුරු මැතිවරණයට තමන්ගේ නාම යෝජනා භාර දෙන්න තීරණය කළේ අවම වශයෙන් තමන්ගේ ගෙදර අයට වත් නොදන්වා. අදාළ ඇප මුදල තැන්පත් කරන්න ඔහු තනිවම කයිට්ස් ප්‍රදේශයට ගොස් තිබුණා.

එහිදී  එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් තෙන්නකෝන්ව අත්අඩංගුවට ගත් අතර දින තිහක් පමණ එල්ටීටීඊ භාරයේ රඳවා තබාගෙන තිබුණා. ඒ කාලයේදී ඔහු නිර්මාංශ පුද්ගලයෙකු බව දැනගත් එම සංවිධානය මුළු කාලය පුරාවටම නිර්මාංශ ආහාර ලබාදීමට කටයුතු කරමින් තෙන්නකෝන්ව මැනවින් බලාකියාගෙන තිබුණා. අවසානයේදී ඔහුව ඉන්දීය සාම සාධක හමුදාවට භාර දීමට කටයුතු කළා.

 

6. සරත්චන්ද්‍ර රාජකරුණා බෙදපු පොත 

දොම්පේ ආසනයේ නියෝජනය කරපු සරත්චන්ද්‍ර රාජකරුණා කියන්නේ අපේ රටේ මහත්මා දේශපාලනයේ සුවිශේෂී චරිතයක් (එතුමා වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාගේ පියායි). දවසක් උත්සව සභාවකදී සරත්චන්ද්‍ර රාජකරුණාට නිහාල් ජගත්චන්ද්‍රව මුණගැසුණා. දේශපාලන ක්ෂේත්‍රය තුළ නිහාල් ජගත්චන්ද්‍ර  කියන නම ඒ දවස්වල කතාබහට ලක් වුණේ අනුරුද්ධ රත්වත්තේගේ චරිතාපදානය වන “මහා යායේ කතාව” රචනා කිරීම නිසා. නිහාල්ගේ පොත ගැන මහ ඉහළින් වර්ණනා කරපු සරත්චන්ද්‍ර රාජකරුණා, “ඔහේ කරලා තියෙන්නේ ගොඩක් වටින වැඩක්” කියලා පොත් විශාල ප්‍රමාණයක් ජගත් චන්ද්‍ර ගෙන් මිලදී අරගෙන තියනවා. ඊට පස්සේ දොම්පේ ආසනයේ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම පුස්තකාලවලට මහයාය කතාව බෙදා හැරලා තියෙන්නේ සරත්චන්ද්‍ර රාජකරුණා. විරුද්ධ පක්ෂය නියෝජනය කළ තමන්ගේ පාර්ලිමේන්තු සගයාගේ විශිෂ්ට මෙහෙවර සරත්චන්ද්‍ර රාජකරුණා අගය කළේ අන්න ඒ විදිහට.

 

7. රොනීගේ ආධාර ගැනිල්ල 

1977 පත් වෙච්ච ජේ. ආර් ජයවර්ධන රජයේ මුදල් අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු රොනී ද මැල්ට සුවිශාල වගකීමක් පැවරිලා තිබ්බා. ඒ, රජය කටයුතු වෙනුවෙන් මුදල් සොයා ගන්න එක. ඒ වෙනුවෙන් ඔහු ලෝක බැංකු ආධාර ලබාගැනීමට උත්සාහ කළා. මේ අතරතුරදී ලංකාව ආධාර ලබාදීමට සුදුසු ද යන්න සොයා බැලීමට ලෝක බැංකු සභාපති රොබට් මැකන්මාරා ලංකාවේ සංචාරයක් සඳහා පැමිණියා. සාමාන්‍යයෙන් විදේශිකයෙකු ලංකාවට පැමිණීමේ දී ඔහු වෙනුවෙන් තරු පහේ හෝටල්වල නවාතැන් පහසුකම් සැපයීම සහ ආහාර ලබා දීම ලංකාවේ සම්ප්‍රදායක් වුණත් රොනී ද මැල් මේ සම්ප්‍රදාය වෙනස් කළා. ඔහු රොබට් මැකන්මාරාව පොලොන්නරුවේ සහ අනුරාධපුරයේ ගැමි ගෙවල් වෙත කැඳවා ගෙන ගියා. ඔහු හට සංග්‍රහ කිරීමට යොදා ගෙන තිබුණේ සිංහල ආහාරපාන සහ කැවිලි පෙවිලි වර්ගයි. තමන්ට ලැබුණු ආගන්තුක සත්කාරකවලින් ඉතාමත් සතුටට පත් වන මැකන්මාරා ලංකාව වෙනුවෙන් සුවිශාල ආධාර  ප්‍රමාණයක් ලබාදීමට අනුමැතිය ලබාදුන්නා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 1 කොටස

ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 2 කොට​ස

ලංකාවේ දේශපාලනඥයින් ගැන රස කතා – 3 කොටස

ලංකාවෙ දේශපාලනඥයින් ගැන රස කතා – 4 කොටස

ලංකාවේ දේශපාලනඥයන් ගැන රස කතා – 5 කොට​ස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *