මෝටර් බයික් රයිඩර්ස්ලට මුහුණදෙන්න වෙන ගැටළු

ලංකාව වගේ ආසියාතික රටවල ගොඩක් දුරට ලේසිම ප්‍රවාහන මාධ්‍යය විදිහට ගොඩක්ම මෝටර් බයිසිකල් තමයි පාවිච්චි වෙන්නේ. ඒ වගේම ගොඩක් අය තමන්ගේ පළවෙනි පුද්ගලික ප්‍රවාහන මාධ්‍යය විදිහටත් යොමුවෙන්නේ මෝටර් බයික් එකකට. ට්‍රැෆික් එකට හොඳම විසඳුම විදිහටත් ගොඩක් අය බයික් වලට කැමති වෙනවා. ඔය මොන දේ උනත් දිනපතා මෝටර් බයික් පාවිච්චි කරන අයට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටළු බොහොමයි. අන්න ඒ වගේ ගැටළු කිහිපයක් ගැන තමයි අපි අද කතාකරන්නේ. 

 

1. අව්වෙන්, වැස්සෙන් තියෙන කරදරේ

බයික් රයිඩර්ස්ලට එපාම වෙන වැඩේ තමයි කාෂ්ටක අව්වේ බයික් පදින එකයි වැස්ස වෙලාවට බයික් එක පදින එකයි. දවල් දොළහට එකට විතර කට්ට අව්වේ ජැකට්, හෙල්මට්, ග්ලවුස් එහෙම දාගෙන බයික් එකක් පදින එකේ ​ආතල් එක ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. ඒ වගේම තමයි ඉතින් වැස්සක් වෙලාවට බයික් එකක් පදිනවා කියන්නෙත්. ගොඩක් අය ඉතින් නවතින්න තැනක් හොයාගන්න නැතිම උනොත් ඒ වැස්සේම ගෙදරටම යන්නත් හිත හදාගන්නවා. අනිත් අතට වැස්සේ බයික් පදිද්දි තියෙන අවදානමත් ගොඩක් වැඩියි. ඒ නිසා වැස්ස වෙලාවේ බයික් පදිනවානම් ගොඩක්ම පරෙස්සම් වෙන්න ඕනේ අපේ බයික් රයිඩර්ස් ල. 

 

2. පොලිස් මාමලාගේ තර්ජන

මෝටර් බයික් රයිඩර්ස්ල කියන්නේ ඉතින් පාරේ තොටේ නිරන්තරයෙන් පොලීසියේ රැවුම් ගෙරවුම් වලට ලක්වෙන කොට්ඨා​සයක්. බයික් පදින අයගෙත් වැරදි නැතුවමත් නෙමෙයි ඉතින්. කොහොම උනත් පොලිස් මාමා කෙනෙක් බයික් එකක් නැවත්තුවොත් ඉතින් මොකක්හරි දඩයක් දීලමයි යවන්නේ. ආන්න එහෙම අවස්ථාවක දඩේකින් බේරිලා එන්න තරම් ලස්සන ඒ වගේම පොලිස් මාමෙක්ගේ උනත් හදවත පෑරිලා යන වචන සෙට් එකක් තියෙන යාලුවෙකුත් අපි හැමෝටම ඉන්නවා. ඒගොල්ලෝ නම් ඉතින් තමන්ගේ අදාළ වචන සෙට් එකේ පිහිටෙන් පොලිස් මාමගේ කනෙන් රිංගල දඩයකුත් නොකා එනවා. 

 

3. මගදී හිට්ටොත්?

පෙට්‍රල් ගහන්න අමතක වෙලා මග හිට්ටොත් හරි ටයර් එකක පැච් එකක් ගියොත් හරි ඉතින් විඳින්න වෙන කරදරේ ඉතින් කියල වැඩක් නෑ.  ඒ නිසා පෙට්‍රල් රිසර්ව් එකට වැටුන ගමන් ල​ඟම තැනකින් පෙට්‍රල් ගහගන්න එක නුවණට හුරුයි. ඒ වගේම ටයර් ගැන නිරන්තර අවධානය හරහාත් මේ වගේ කට්ට කන්න වෙන අවස්ථා අවම කරගන්න පුළුවන් වෙනවා. කලින් කිව්වා වගේ කට්ට අව්වේ තව බයික් එකක් පැදගෙන නැතුව තල්ලු කරන යන්න උනොත් ඒ කියපු අතල් එක ඩබල් වෙනවා. යන්න තියෙන ගමන් ඔක්කොම අප්සෙට් කරගෙන දවසම අවුල් කරගන්න වෙන විදිහේ ගැටළුවක් තමයි ඉතින් මේක. මොකද බයික් වල ස්පෙයා වීල් එකක් තියෙනවා කියල යැ. 

 

4. ආරක්ෂාව මදිකම

පාරේ ගමන් කරන වාහන වලින් ආරක්ෂාව අතින් අඩුම සහ අවදානම වැඩිම වාහනේ විදිහට මෝටර් බයික් එක එක එල්ලේ නම් කරන්න පුළුවන්. එකට ප්‍රධානම හේතුව තමයි රෝද දෙකක් තිබීම වගේම ආවරණයක් නැති වීම. එහෙමයි කියල බයික් පදින්න එපා කියන එක කියල වැඩක් නෑ. හැබැයි අනිත් වාහන චුට්ටක් බයික් පදින අය ගැන පොඩ්ඩක් හිතනවානම් ගොඩක් හොඳයි. මොකද බයික් එකක් මොන වාහනේ එක්ක අනතුරක් උනත් වැඩිපුර හානියක් වෙන්නේ බයික් එකේ යන අයට. ඒ​ක බයික් පදින අයත් හොඳින් හිතේ තියාගන්න ඕනේ. ඒ වගේම අනිත් වාහන වල යන අයත් පොඩ්ඩක් බයික් පදින අයට පොඩි ප්‍රමුඛතාවයක් දෙනවනම් හොඳ දෙයක්. මතක තියාගන්න ඕනේ තමන්ගේ ගෙවල් වල දෙමව්පියෝ, භාර්යාවෝ, දරුවෝ තමන් ආයේ ගෙදර එනකන් බලන් ඉන්නවා කියල.

 

5. ඉඩ මදිකම

ට්‍රැෆික් එකට විසඳුමක් විදිහට බයික් එකක් තෝර ගත්තත්, නැත්නම් වෙන වාහනේකට යන්න බැරි නිසා ගත්තත් බයික් එකේ තමන්ට ඕනේ හැම දේම කරන්න බෑ. එකට හොඳම උදාහරණය තමයි බයික් එකක යන්න පුළුවන් මගීන් ගණන සහ ගෙනියන්න පුළුවන් භාණ්ඩ වල ප්‍රමාණය සීමිත වීම. ඒ කොයි හැටි උනත් බයික් එකක උනත් හතරපස් දෙනා දාගෙන යන වෙලාවල් එහෙම ඉඳල හිටලා උනත් දකින්න පුළුවන්. කොල්ලෝ උනාම කොලු කමට ඔය වගේ දේවල් කළාට පොඩි දරුවෝ එහෙම දාගෙන ඔය විදිහට බයික් වල යන එක නම් එච්චරම නුවණට හුරු වැඩක් නෙමෙයි කියන එක තමයි අපිට කියන්න වෙන්නේ. 

 

6. තෑගි ලැබෙන කොන්දේ අමාරු 

මෝටර් බයික් එකකින් දිනපතා ඔෆිස් යන කෙනෙක්ට කාලයක් එකදිගට බයික් එකේ යද්දි තෑගි විදිහට කොන්දේ අමාරු එහෙම ලැබෙන්න පුළුවන්. ඊට පස්සේ සමහරවිට ඊට පස්සේ බයික් පදින්න බැරි වෙන්නත් පුළුවන්. ඉතින් මේකත් බයික් එකත් එක්ක ජීවත් වෙන බයික් රයිඩර් කෙනෙක්ට මුහුණ දෙන්න වෙන ලොකුම ලොකු ගැටළුවක්. මේකට විසඳුමක් විදිහට තමන්ට කිසි අපහසුවක් නැතුව හරියට තමන්ගේ Posture එක තියාගෙන වැඩිවෙන්න පුළුවන් බයික් එකක් තෝරාගන්න එක කරන්න පුළුවන්. බයික් මොඩිෆයි කරද්දීත් බයික් එක පදින්න තියෙන ඉරියව්ව වෙනස් වෙන විදිහේ දේවල් නොකරනවානම් ගොඩක් හොඳයි. 

 

7. තත්ත්වෙට හොඳ මදිකම

මෝටර් බයික් කියන්නේ අඩුම මුදලට ගන්න පුළුවන් මොඩල්ස් වගේම ඉතා මිල අධික මොඩල්ස් තියෙන වාහන පන්තියක්. හැබැයි ලංකාවේ ගොඩක් දුරට ඔය මොන මිල අධික බයික් එකක් පැද්දත් සලකන්නේ එකම විදිහට. කොහොම උනත් කියන්නේ බයික්කාරය කියල තමයි. කොහොමත් ඉන්ටර්විව් එකක් වගේ තැනකට උනත් බයික් එකකින් බැස්සම පොඩ්ඩක් සෙකියුරිටි අන්කල් උනත් වැඩි සැලකීමක් කරන්නේ නැති බව අත්දැකීමෙන් දන්නා අයත් ගොඩක් ඇති. ඒක ඉතින් බයික් පදින අයගේ නෙමෙයි ලංකාවේ අයගේ චින්තනයේ අවුලක් කියල තමයි අපිට හිතෙන්නේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *