ලංකාවේ කලාකරුවන්ගේ අපි නොදන්න නෑකම්

අදත් අපි හදන්නේ ලංකාවේ කලාකරුවන්ගේ පැටිකිරිය ගැන හොයන්න. මේ සමහර නෑකම් සෑහෙන්න ප්‍රසිද්ධයි. සමහර නෑකම් නම් ඔබ මේ අහන්නේ පළවෙනි වතාවට වෙන්න පුළුවන්.

 

1. ජයලත් මනෝරත්න සහ මාලිනී රණසිංහ 

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහත්මයාගේ  විශිෂ්ටතම වේදිකා නාට්‍ය දෙක විදිහට සැලකෙන්නේ මනමේ සහ සිංහබාහු වේදිකා නාට්‍ය. මේ අතරින් සිංහබාහු වේදිකා නාට්‍යයේ සාර්ථකත්වයට සුප්පා දේවියගේ චරිතය නිරූපණය කරපු මාලනී රණසිංහ මහත්මියගේ රංගන හැකියාව සහ ගායන හැකියාව විශේෂ හේතුවක් වුණා. බොහෝ අවස්ථාවල සරච්චන්ද්‍ර මහත්මයා ඇගේ ගායන හැකියාවන් විශේෂයෙන්  වර්ණනා කරලා තියෙනවා. මේ නිසාම මාලනී රණසිංහ තමන්ගේ නැගණිය වුණු තමාරා ජයන්තිවත් සරච්චන්ද්‍ර මහත්මයාගේ වේදිකා නාට්‍ය වලට සම්බන්ධ කරලා තියනවා. “පේමතෝ ජායතී සෝකෝ” වේදිකා නාට්‍යයට එකතු වුණු තමාරා ජයන්තිට ඇගේ අනාගත සැමියාව ඒ වේදිකා නාට්‍යය තුළදීම මුණ ගැහෙනවා. ඔහු තමයි මීට ටික කලකට පෙර අප අතරින් සමුගෙන ගිය ආචාර්ය ජයලත් මනෝරත්න. ජයන්ති මහත්මිය, මනෝරත්න මහත්මයාට “මාතු භාර්යාවක්” වුණා කිව්වොත් වඩාත් නිවැරදියි.

 

2. සුජාතා අත්තනායක සහ අනෝජා වීරසිංහ 

සුජාතා අත්තනායක මහත්මියට පුතුන් තිදෙනෙක් සිටියා. ඒ අතරින් එක් අයෙක් වූ චානක එස්. අත්තනායක මහතා රණ බිමේ දී තම ජීවිතය පුද කළා. සුජාතා අත්තනායක මහත්මියගේ තවත් පුතෙකු වූ සමීන් අත්තනායක විවාහ වීමට තෝරා ගත්තේ ලංකාවේ ජනප්‍රිය නිළියකගේ දියණියක්. ඒ අනෝජා වීරසිංහ මහත්මියගේ දියණිය වූ දිල්කි වීරසිංහවයි. ඒ වනවිට දිල්කිත් කලා කටයුතු වලට සම්බන්ධ වී සිටියා. විශේෂයෙන්ම “ජුලියට්ගේ භූමිකාව” තුළ ඇය සිදු කළ රංගනය තුළින් තම මව මෙන් ම රංගන ප්‍රතිභාවක් සහිත තැනැත්තියක් බව ඔප්පු කළා. නමුත් විවාහ ජීවිතයට එළඹීමෙන් පසුව ඇය තම රංගන ජීවිතයට සමුදී තම සැමියා සමග විදේශගත වුණා.

 

3. රවීන්ද්‍ර යසස් සහ ජගත් බෙනරගම 

සරත් ෆොන්සේකා මහතා දේශපාලනයට පිවිස එද්දී ඔහුට සහයෝගය දීමට පෙරට පැමිණි කලාකරුවන් ගණන ඉතා අල්පයි. ඒ අතරින් මස්සිනාලා දෙන්නෙක් සරත් ෆොන්සේකා මහතාගේ පක්ෂය නියෝජනය කරමින් පළාත් සභා සඳහාත් තරග වැදුණා. ඉන් එක මස්සිනා කෙනෙක් නම් ජයග්‍රහණය කළා. ඔහු තමයි රවීන්ද්‍ර යසස්. රවීන්ද්‍ර යසස් විවාහ වී සිටියේ ජගත් බෙනරගමගේ සහෝදරිය වූ කෝකිලානි බෙනරගම සමගයි. කෝකිලානිත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ තැනැත්තියක්. ජගත් බෙනරගම කියලා තියෙන විදිහට ඔහු මුලින්ම සම්බන්ධ වෙන්නේ කෝකිලානී නිෂ්පාදනය කරපු වේදිකා නාට්‍යයකට.

 

4. යෂ් වීරසිංහ සහ ගීතා කාන්ති ජයකොඩි 

මේ දවස්වල විකාශනය වන හේලි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරන යෂ් වීරසිංහ නම් තරුණයා ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ  ආකර්ෂණය දිනා ගැනීමට සමත් වෙලා තියෙනවා. යෂ් වීරසිංහ තමන් සහභාගී වන සෑම සම්මුඛ සාකච්ඡාවකදී ම ස්තූති කරන එක් අයෙක් ඉන්නවා. ඒ කෙනා තමයි ගීතා කාන්ති ජයකොඩි මහත්මිය. අැය නෑකමින් ඔහුගේ ලොකු අම්මා. හරියටම කිව්වොත් යශ්ගේ අම්මා වුණු ශ්‍රියානි ජයකොඩිගේ වැඩිමහල් සහෝදරිය. ගීතා කාන්ති ජයකොඩි මුලින්ම ළමා පිටියට සම්බන්ධ වෙලා ඊට පස්සේ තමන්ගෙ සහෝදර සහෝදරියන්ටත් ළමා පිටියේ දොරගුළු විවර කරලා, ඔවුන්ට කලා ලෝකයේ දිගු ගමනක් යන්න අඩිතාලම සකස් කරල දුන්නා. දැන් ඇය විසින් කලා ලෝකයට හඳුන්වලා දුන්න ජයකොඩි පවුලේ අලුත්ම සාමාජිකයා තමයි යශ්.

 

5. චන්න විජේවර්ධන සහ දයාසිරි ජයසේකර 

දයාසිරි කියන්නේ ෆුල් ටයිම් දේශපාලනඥයෙක් වුණාට කලාකාරයෙක් විදිහටත් හඳුන්වන එකේ වැරැද්දක් නැහැයි කියලා හිතාගෙන තමයි අපි මේ නෑදෑකම ගැන කියන්න යන්නේ. චන්න විජයවර්ධන සහ දයාසිරි ජයසේකර කියන දෙන්නම විවාහ වෙන්නේ ලංකාවේ විශිෂ්ටතම කලා ශිල්පියෙක්ගේ දියණියන් දෙදෙනෙක් එක්ක. ඒ විශිෂ්ටතමයා තමයි පනීභාරත මහතා. චන්න විජේවර්ධන මහතා ඔහුගේ වැඩිමහල් දියණිය වන උපුලී විජේවර්ධන සමඟ විවාහ වන අතර ඔවුන් දෙදෙනාගෙන් නැටුම් හැදෑරීමට පැමිණෙන දයාසිරි ජයසේකරට උපුලිගේ නැගණිය වන ජයවන්තිට හිත යනවා.

 

6. චතුරිකා පීරිස්, පුර්ණිකා පීරිස් සහ චරිතා ප්‍රියදර්ශණී පීරිස් 

ආරියදාස පීරිස් කියලා කියන්නේ අපේ ගුවන් විදුලිය බබළවපු විශිෂ්ට ගණයේ නිවේදකයෙක්. ඔහු විසින් තමන්ගේ සහෝදරයන් දෙදෙනා වූ රංජිත් පීරිස් සහ සහ ජයන්ත පීරිස් වත් ශ්‍රී ලංකා ගුවන් විදුලියට හඳුන්වා දෙනවා. පස්සෙ කාලෙකදි ඔහු තමන්ගේ දෙවැනි පරම්පරාවටත් ගුවන් විදුලියේ දොරගුළු විවර කරන්නේ තමන්ගේ දියණිය වුණු චරිතා ප්‍රියදර්ශනී පීරිස්ට නිවේදිකාවක් විදිහට වගේම ගායන ශිල්පිනියක් විදිහට ඇයගේ දක්ෂතා වැඩි දියුණු කරගන්න අවස්ථාව සලසා දීමෙන්. මේ අතරතුරේ දී ජයන්ත පීරිස්ගේ  වැඩිමහල් දියණිය කරළියට එන්නේ නිළියක් විදිහට. ඇය චතුරිකා පීරිස්. ඇයට පසුව ඇයගේ සහෝදරිය වුණු පූර්ණිකා නම් තාත්තාගේ සහ ලොකු තාත්තාගේ අඩි පාරේ යමින් නිවේදිකාවක් බවට පත්වෙනවා.

 

7. සුජාතා අත්තනායක, වසන්තා සන්දනායක සහ අමරා රණතුංග 

සුජාතා අත්තනායක මහත්මියගේ මව වුණේ ජනප්‍රිය ටවර්හෝල් නිළියක් වුණු විමලා කාන්තා මහත්මිය, ඒ වගේ ම පියා වුණේ තවත් ටවර් හෝල් තරුවක් වුණු ධර්මදාස පෙරේරා මහතා. විමලා කාන්තා මහත්මිය තමන්ගේ නෑනා කෙනෙක්ගේ කටහඬ සුවිශේෂී කියලා හඳුනා ගන්නවා. ඒ අනුව ඇයව කලා ලෝකයට ගෙන එන්නට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. මේ විදිහට විමලා කාන්තා මහත්මියගේ මඟපෙන්වීම යටතේ වසන්තා නම් ධර්මදාස පෙරේරා මහතාගේ සහෝදරිය කලා ලෝකයට එකතු වෙනවා. ඇය පසු කාලයකදී ප්‍රසිද්ධියට පත් වෙන්නේ වසන්තා සන්දනායක විදිහට. වසන්තාගේ දියණියක වුණු දයා හේමන්තා විවාහ වෙන්නේ ප්‍රකට කලා ශිල්පියකු වූ ශාන්ති අබේසේකර සමග. ඔවුන් දෙදෙනාගේ දියණියන් දෙදෙනාත් සිය මිත්තණියගේ අඩි පාරේ යමින් කලා ලෝකයට එකතු වෙනවා. සුප්‍රියා අබේසේකර සහ සධානා රණතුංග ඒ දෙදෙනායි. සධානා විවාහ වෙන්නේ ආචාර්ය දයාරත්න රණතුංග මහතාගේ සහ අමරා රණතුංග මහත්මියගේ  පුත්‍රයා වූ නන්දික රණතුංග සමගයි.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් මේ අපූරු නෑදෑකම් ගැන ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *