අනුන්ගේ වාහනයකට ගොඩ වදිනවා නම් මේ හොඳ සිරිත් විරිත් අනිවාර්යෙන් හිතේ තියාගන්න එක හොඳයි!

දැන් ඔය “මයි කාර් මයි පැට්‍රොල්” කියලා කියල කතාවක් තියෙනවනේ. ඒකෙන් ගොඩක් අය හිතන්නේ තමන්ගේ දෙයක් පාවිච්චි කිරීම තමන්ට ඕන ඕන හැටියට කරන්න පුළුවන් කියලා. ඇත්තටම එහෙම බෑ. උදාහරණයක් විදියට කාරෙක තමන්ගෙ කියලා තමන්ට ඕන විදියට පාරේ නටන්න බෑනේ. හැබැයි ඒ වගේම තමයි, අනුන්ගේ කාර් එකක් නං කොහොමටවත් තමන්ට ඕන විදිය නටන්න බෑ. එකෙන්ම අපේ එදිනෙදා ජීවිතයේ අනිත් හැම දේකදි වගේම, වෙනත් කෙනෙක්ගේ වාහනයකට ගොඩ වෙනවා නම් අනිවාර්යෙන් හිතේ තියාගන්න ඕන යහපත් පුරුදු ආචාරධර්ම තියෙනවා. මේවායින් සමහර ඒව කොමන් සෙන්ස්. සමහර ඒව නම් අපි වැඩිදුර හිතන්නැතුව කරන නරක දේවල්. ඒ කොහොම වුනත් ඒ හැම දෙයක් ගැනම අදහසක් තියෙනව නම් ඊළඟ දවසෙ වෙන කෙනෙක්ගෙ වාහනයක යද්දි යහපත් මගියෙක් වෙන්න අපිට පුළුවන් වෙයි. ආන්න ඒ නිසා තමයි අපි අනුන්ගේ වාහනේකට ගොඩවෙනකොට කරන්න ඕන නැති දේවල් වල ලැයිස්තුවක් හඳුන්වා දෙන්න හිතුවේ!

 

1. වාඩිවෙන්නේ කොහෙද?

මෙන්න මේක ටිකක් හිතලා බලන්න ඕන කාරණාවක්. දැන් අපි යාළුවෙක් එක්ක කාර් එකකට නගින කොට සාමාන්‍යයෙන් ඉස්සරහින් නගිනවනේ. ඒකේ කිසිම අවුලක් නෑ. හැබැයි යාළුවෙක් එක්ක යනකොට අපි පිටිපස්සේ සීට් එකට නැග්ගොත්? ඒක පොඩ්ඩක් අප්සට් වගේ නේද? මොකද එතකොට යාළුවා නිකම්ම අපේ ඩ්‍රයිවර් ගාණට වැටෙනවා. ඇත්තටම මේක විශේෂයෙන් කාන්තා පාර්ශවය කරන වැරැද්දක්. කවුරු හරි දන්න අඳුනන ගෑණු ළමයෙක් පාරේ ඉන්නකොට ලිෆ්ට් එකක් ලබාදෙන්න ඉදිරිපත් වුනහම, ගෑණු ළමයා ගිහින් පිටිපස්සේ සීට් එකෙන් වාඩි වෙන එක අවුල්. ඉස්සරහා සීට් එකට ආවා කියලා මනුස්සයා තමන්ව කන්නෙ නැහැනේ. එහෙම ෂුවර් නැති මනුස්සයෙක් නම් කරන්න තියෙන්නේ පිටිපස්සේ සීට් එකට නගින එක නෙවෙයි, කාරුණිකව ආරාධනාව ප්‍රතික්ෂේප කරන එක.

ඒ වගේම තමයි කීප දෙනෙක් යන්න ඉන්නකොට ඉස්සරහා සීට් එකට පොරකන එකත් අවුල්. සාමාන්‍යයෙන් ඉඩ හදා ගන්න ඉකොනොමිකල් විදිය තමයි ශරීර ප්‍රමාණයෙන් වැඩිම හාදයෙක්ට ඉස්සරහා තනි සීට් එක දෙන එක. එතකොට අනික් අයට පිටිපස්සේ පැක් වෙන්න ලේසියි.

 

2. කකුල් දෙක ඩෑෂ්බෝඩ් එකේ

දැකලා තියෙනවා නේද ඔය රෝඩ් ට්‍රිප් යනකොට එහෙම, ෂෝට් එකක් ඇඳගත්තු කෙල්ලෙක් කකුල් දෙක ඩෑෂ්බෝඩ් එකේ තියාගෙන හෙනම කලාත්මක විදියට යනවා? හැබැයි අපි අනුන්ගේ කාර් එකකට නැග්ගට පස්සේ අපිට ඕන ඕන විදියට කකුල් දෙක ඩෑෂ්බෝඩ් එකේ, ඩ්‍රයිවර්ගේ කරේ තියාගෙන යන්න බෑ. එකක් ඒක අන්තරායදායකයි. ඩෑෂ්බෝඩ් එකේ කකුල් තියාගෙන ඉන්නකොට සීට් බෙල්ට් දාගන්න බැහැනේ. එහෙම යනකොට ඇක්සිඩන්ට් එකක් වුනොත් එහෙම කොහොමද? අනික් කාරණාව තමයි ඩ්‍රයිවර්ට කරදරකාරී විදියට බූරු ඇඳන් දිග ඇරගෙන, ගියර් එකටත් උඩින් කකුල් දාගෙන යන එක.

කොටින්ම කියනවා නම්, අනුන්ගේ වාහනේකට නෙවෙයි තමන්ගේ වාහනේකට නැග්ගත්, සංවරව, ඩ්‍රයිව් කරන කෙනාට ඩ්‍රයිව් කරන්න කරදරයක් නොවෙන විදියට, සීට් බෙල්ට් දාගෙන තමයි යන්න ඕන.

 

3. දුමක් ඇද්දට කමක් නැද්ද?

දුම සහ මත්පැන් කියන දෙකම වැරදියි කියලා අපි මෙතන කියන්නෙ නෑ. හැබැයි අනුන්ගේ වාහනේකට නැගලා තමන්ට හිතෙන වෙලාවට දුමක් අදින්න, ෂොට් එකක් දාන්න තියාගන්න බැහැ. දුමක් අදින්න ඕනම නම්, ඒක ඩ්‍රයිව් කරන වාහනේ අයිතිකාරයාගෙන් අහලා, අවසර ලැබුණොත්, ෂටර් එකක් ඇරලා කරගන්න පුළුවන්. එහෙම නැතුව බෑ.

හැබැයි වාහනේක යන ගමන් ෂොට් එකක් දාන එක නම් කොහොමටවත් අනුමත කරන්න බෑ. එකක්, ඩ්‍රයිව් කරන එකාට පෙන්න පෙන්න ෂොට් එකක් දාගන්න එක හරි කැතයි. ඩ්‍රයිව් කරන එකාට ෂොට් එකක් දෙන එක නීතිවිරෝධියි වගේම ජීවිතේටත් අන්තරායදායකයි.

 

4. පොටෙටෝ චිප්ස් පොඩ්ඩක් හැලුනා අනේ!

සමහරු ඉන්නවා, වාහනේකට නැග්ගට පස්සේ කන එකමයි වැඩේ. ඒකත් වටේ පිටේ හලාගෙන, සීට් වල ගාගෙන තමයි කන්නේ. ඉතින් අනුන්ගේ වාහනේකට නැගලා එහෙම හැසිරෙනවා නම් එළියට විසිවෙන්න පයින් දෙකක් දෙන්න තමයි වාහනේ අයිතිකාරයට හිතෙන්නේ. මෙතනදී කියන්නේ කන්න එපා කියලා නෙවෙයි. හැබැයි වාහනේක යනකොට කන්න බොන්න ඕන විදියක් තියෙනවා. එකක් තමයි ඩ්‍රයිව් කරන කෙනාටත් නොදී කන එක කොහොමත් කැතයි. හැබැයි ඩ්‍රයිව් කරන කෙනාට තමන් කන දේ දීලා, ඌ ඕන වෙලාවක කයි කියලා හිතාගෙන තමන් කකා යන එකත් කැතයි. ඩ්‍රයිව් කරන කෙනා වාහනේ ඩ්‍රයිව් කරන ගමන් කන්න යන එක අන්තරායදායකයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ.

ඒ වගේම වාහනේ ඇතුළේ මොනවා හරි කනවා නම් කොන්දේසිය තමයි, තමන් කාපු බීපු දේවල දවටන, ඉතුරු දේවල්, කුඩු, කෑලි වාහනේ ඇතුළේ ඉතුරු නොකර පිරිසිදු කරන එක.

 

5. රේඩියෝ එකයි, ඒසී එකයි

මේක සාමාන්‍යයෙන් විවාදයට භාජනය වෙන දෙයක්. අනුන්ගේ වාහනේකට නැග්ගට පස්සේ, වාහනේ ඒසී එක තමන්ට ඕන ඕන විදියට වෙනස් කරන්න පුළුවන්ද? අපි කියන්නේ බැහැ කියලා. කරන්න ඕන හරි දේ තමයි, වාහනේ ඒසී එක වැඩි කරන්න හරි අඩු කරන්න හරි ඕන නම්, ඒක ඩ්‍රයිව් කරන කෙනාට ඉල්ලීමක් විදියට ඉදිරිපත් කරන එක. අන්න එතකොට එයා ඕන කරන දේ කරයි.

එතකොට අනුන්ගේ වාහනේක යනවා නම්, වාහනේ රේඩියෝ එක හරි, සෙටප් එක හරි දාන්න, මොනවද වාදනය වෙන සංගීතය හෝ ගීත කියලා තීරණය කරන්නත් අපි ඉදිරිපත් වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙවෙයි. වඩාත් හොඳයි රේඩියෝ එක හරි සිංදුවක් හරි දාමුද කියලා ඩ්‍රයිව් කරන වාහනේ අයිතිකාරයාගෙන් අහන එක. 

 

6. කට කපල නිදි

සමහරු ඉන්නවා, වාහනේකට නැග්ග ගමන් කුම්බකර්ණ සන්නිය වැළඳෙනවා. ඉන් පස්සේ වීදුරුවට ඔලුව තියාගෙන කට කපලා නිදි. මේක ප්‍රශ්නයක් නැහැ අපි ටැක්සියක එහෙම යනවා නම්. එහෙම නැතුව වෙනත් කෙනෙක්ගේ වාහනේක, වෙනත් කෙනෙක් එක්ක යනවා නම්, අපි එයාට ඩ්‍රයිව් කරගන්න කියලා කට කපලා නිදාගන්න එක ප්‍රශ්නයක්. නිදි මරලා හරි වෙනත් හේතුවක් නිසා හරි ඇස් ඇරගෙන ඉන්න අමාරු තත්ත්වෙක ඉන්නවා නම්, ඒක කියලා, සමාව ඉල්ලා හිටලා නිදාගන්න පුළුවන්. හැබැයි ඒ වෙන කරන්නම දෙයක් නැත්තං තමයි. අනික් කාරණාව, දුර ගමනක් යනකොට ඩ්‍රයිව් කරන්නේ එක්කෙනෙක් නම්, හරි දේ තමයි ඩ්‍රයිවර් එක්කම ඉස්සරහා සීට් එකේ යන තමනුත් ඇහැරිලා යන එක. මොකද ඩ්‍රයිවර් තනියම නම්, එයාටත් නිදිමත වෙන්න තියෙන ඉඩ වැඩියි. ඒක අන්තරායදායකයි කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැනේ! 

 

7. ෂොට්ගන් ඩ්‍රයිවින්/ බැක්සීට් ඩ්‍රයිවින් 

මෙන්න මේකත් දෙපැත්තටම කතා කරන්න පුළුවන් කාරණාවක්. තමන් අනුන්ගේ වාහනේකට නැග්ගට පස්සේ, තමන්ටත් හොඳට ඩ්‍රයිවින් පුළුවන් කියලා පෙන්නන්න සමහරු ලෝකේ නැති උපදෙස් ඩ්‍රයිව් කරන එකාට දෙන්න යනවා. වංගු ගන්න හැටි, ඕවර්ටේක් කරන හැටි කියලා දෙන්න යනවා. හැබැයි තමන් නගින වාහනේ එළවන හාදයා හෝ හාදි තමන්ගෙන් ඉල්ලා සිටියොත් මිසක් තමන්ගේ එක්ස්පර්ට් ඩ්‍රයිවින් ලෙසන්ස් වාහනේ අනික් සීට් එකේ හරි පිටිපස්සේ සීට් එකේ හරි ඉඳන් දෙන්න යන එක සෑහෙන්න අප්සට්.

හැබැයි අපි කියමු වාහනේ එළවන කෙනා අතිශයින්ම අන්තරායදායක විදියට වාහනේ ගෙනියන්නේ කියලා. එතකොට ඉතින් වාහනේ එයාගෙනේ, මගේ නෙවෙයිනේ කියලා තමන්ගේ පාඩුවේ ඉන්න බෑ. මොකද හැප්පුනොත් එහෙම එයාගේ ජීවිතේ විතරක් නෙවෙයි, තමන්ගේ ජීවිතේත් ඉවරයි. ආන්න ඒ වෙලාවට කාරුණිකව කියන්න පුළුවන් “පොඩ්ඩක් හෙමින් යමුද” කියලා හරි, “පොඩ්ඩක් පරිස්සමින් එළවමුද” කියලා හරි!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *