ලංකාවේ වැලන්ටයින් සැමරීම ගැන බුකියේ කියපු කතා

වැලන්ටයින් එකත් ඉවරයි එහෙනම්. ඒ දවස සැමරීම කෙසේ වෙතත් ඒ ගැන ලංකාවේ අපිට කතා කරන්න ගොඩක් දේවල් තියෙන වග පැහැදිලිවම බුකියෙදී දකින්න ලැබුණා. ඒ උන්මාදය පටන් ගන්නේ පෙබරවාරි පටන් ගන්නවත් එක්කමයි. හොඳම වැඩේ මේ ගොඩක් කතාවලට පෙම්වතුන් සම්බන්ධ නොවී තනිකඩයන් සම්මාදම් වීමයි. පොඩි මීම්වල ඉඳන් පත රචනා වෙනකන් මොනවද මේ කතා කරන්නේ?



1. ටියුෂන් පන්ති


වැලන්ටයින් දවසට මිනිස්සු තමන්ගේ ආදරවන්තයා නැත්නම් ආදරවන්තිය බලන්න යන්නේ ටියුෂන් යන මුවාවෙන් කියලා එකඟත්වෙකට බුකි සේනාව එළඹෙනවා. ඉතින් එතැන ඉඳන් ඒවා විතරමයි. දැන් පුංචි එවුනුත් ආදරේ කරනවාය කියලා කියන නිසා (බුකි බුද්ධි අංශයට අනුව) සියල්ල පටන් ගන්නේ ශිෂ්‍යත්ව පන්තියෙන්. දවසම පන්ති, අමතර පන්ති සහ අත්‍යවශ්‍ය පන්ති විදියට මේ පන්ති විශේෂකරණය වෙනවා.



2. ඡන්ද ප්‍රතිඵලය


මේක 2020 වැලන්ටයිමත් එක්ක අලුතින් එකතු වුණ ගැජමැටික් එකක්. මේකෙදී වෙන්නේ වැලන්ටයින් දවසට විහාරමහාදේවි වගේ පාක්වල නැත්නම් බීච් එහෙක හරි කොහේ හරි තුරුල් වෙලා ඉන්න කපල්වල ෆොටෝ අරගෙන ‘මෙන්න දැන් ලැබුණ ඡන්ද ප්‍රතිඵලයක්’, ‘නවතම තත්ත්වය’ වගේ කැප්සන් එකක් එක්ක පෝස්ට් කරන එක. මේක එක විදියකට තනිකඩ මිනිස්සුන්ගේ තියන බංකොලොත්බව පෙන්වන වැඩක්. 



3. කොන්ඩොම් කතා


ආරක්ෂාකාරී විදියට සෙක්ස් කරන එක කුණුහරුපයක් ද? වැරදි වැඩක් ද? නිසි වයස් සීමාවලට ළං වුණාම දෙන්නගෙම කැමැත්ත තිබ්බට මදි ලිංගික එකතු වීමකට බුකියෙනුත් අවසර ගන්න ඕනි. මේ වගේ මාතෘකා අතිශය සංවේදි සහ වැදගත්කමකින් යුතුව කතා කරන්න ඕනි දේවල්. ඒ වුණාට මේ දේවල් මීම් විදියට විතරයි එළියට එන්නේ. ෆාමසි අයියට ඒ දවසට බිස්නස් වැඩි වෙන එක, උපත් පාලන පෙති භාවිතය වගේ හැම දෙයක් ම විහිළුවක් කරගෙන.



4. හිතේ දුකට කියවෙන පණ්ඩිත කතාව


මිනිස්සුන්ට ඕනි නම් වැලන්ටයින් නෙවේ මොන ඉටිගෙඩිය හරි සැමරුවම අපිට මොකෝ? හැබැයි එහෙම දෙන්නෙක් සතුටු වෙනවා බලාගෙන පාඩුවේ අපිට ඉන්න බැරි ලෙඩක් තියෙන නිසා බොහෝ උදවිය එදාට පඬි වදන් දෙනවා. ඉන් ලොකුම එක තමයි ‘ආදරය සමරන්න වැලන්ටයින් ම ඕනි ද? හැමදාම ආදරේ කරන්නකෝ’ කියන අයිඩියා එක. වැඩේ කියන්නේ ඉතින් ඔය වදන් එළියට දාන්නෙත් අවුරුද්දේ දින 365න් පෙබරවාරි 14 වෙනිදා පමණක් වීම. හැමදාම ආදරේ කරපන් කියන කතාවත් එදාට විතරක් නැතුව හැමදාම කියනවා නම් එකෙන් ම තාර්කික කතාව.



5. නංගියේ මල්ලියේ…


ටිකක් විශාල කපුටු වර්චස් පිඬක් ගැන වුණත් කවි ලියන උදවිය ඉන්න තැනක වැලන්ටයිමය කවි නැති වෙයි මේන් කියලා. ඕවා පටන් ගන්නෙත් නංගියේ මල්ලියේ කියන උපදේශ මාත්‍රාවෙන්. කොහොම හරි මේවයේ අන්තර්ගතය වෙන්නේ එදාට පරිස්සමින් තමාව රැකගන්න කියන එකයි. විශේෂයෙන් ම නංගිලට.



6. අපිට නෑනේ…


හිතේ දුකට කියවෙන පණ්ඩිත කතාව තනිකඩ සහ තනිකඩ නොවන දෙපාර්ශ්වයම කියනවා. හැබැයි මේ කතාව කියන්නේ තනිකඩයො විතරයි. ආදරෙ කියන්නෙ හරි සුන්දර දෙයක් නේ. ඒක ලබන්න වාසනාවත් තියෙන්න ඕනි. නරි මිදි තිත්තයි කීවා වගේ ආදරයක් නොලබන අය විශ්වයේ හරි මැද ෆුල් ආතල් එකේ ඉන්නවා වගේ දෙසාපි ‘අපිට නෑනේ ඔය වැලන්ටයින්’ කියලා හෙන ගැම්මෙන්. පව්.



7. වැලන්ටයින් ලොකු ද?


මේ තියෙන්නේ අනෙක් හිතේ වේදනා හංගන්න කියාපු කතාව. ඇත්තම කියනවා නම් වැලන්ටයින් ලොකු කරගෙන පෙබරවාරිය පටන් ගත්ත දවසේ ඉඳන් හූල්ලන්නේ ඇත්තටම ලව් කරන මිනිස්සු නෙවේ අනෙක් අය. සංසාර චක්කරේ වගේ ආදරයක් ලැබෙනකන් මේ කියවිල්ල තියේවි. ඒ අයටත් ඉක්මනින් ආදරයක් ලැබෙන්න පතනවා හැර වැලන්ටයින්වල දිග පළල කියා දෙන්න යන්න කාරි නෑ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *