විසි වන සියවසේදී මිලියන ගණනක් ජීවිත බිලිගත් ස්පාඤ්ඤ හෙම්බිරිස්සා උණ වසංගතය

මේ හෙම්බ්රිස්සා උණක් ගැන ලෝකෙම දැන් කතා වෙනවා. වුහාන් වෛරසය නිසා මේ වෙද්දිත් චීනයට සහ අවට රටවලට දැඩි අලාබහානි ඇවිත්. ලෝකෙම එකිනෙක සම්බන්ධ වෙළඳ ජාලයකට යටත්  වෙලා තියෙන මේ කාලේ චීනයට විතරක් උණ වසංගතයක් හැදුනත් එය මුළු ලෝකයටම බලපානවා. මීටත් වඩා සැර උණ වසංගතයක් 1918දි ලෝකය පුරා පැතිරුණා. ඒ කාලේ දෙවන ලෝක යුද්ධය අවසාන වුන කාලේ. ඒ කාලේ 1918 උණ රෝගෙන් මිලියන 50කට අධික ජනතාවක් ලොව පුරා ජීවිතක්ශයට පත් වුනා. ඇමරිකානුවෝ පළවන ලෝක යුද්ධයෙන් මැරුණටත් වැඩි ප්‍රමාණයක්, ඒ කිව්වේ 675,000ක් පමණ මේ නිසා මිය ගියා. යාබද ඉන්දියාවෙත් මිලියන දහයකට එහා සෙනගක් බිලිගත් මේ වසංගතය විසි වන සියවසේ ලෙඩරෝගයක් නිසා වුණු විශාලතම ව්‍යසනය විදිහට සැලකෙනවා.

 

1. මොකද්ද මේ උණ වසංගතය? 

හෙම්බිරිස්සාව, එහෙම නැතිනම් ෆ්ලූ කියන එක අපේ ශ්වසන පද්ධතියට කෙලින්ම බලපෑම් කරනවා. මේ හෙම්බිරිසා උණ අතර අහිංසක ඒවා වගේම දරුණුම ඒවාත් තියෙනවා. ඒ ආකාරයේ දරුණුම වසංගතයක් වුණු මේක පැතිරෙන්නෙත් සාමාන්‍ය ආකාරයටම තමයි. යම් ආසාදිතයකුගේ සෙම්, සොටු, කෙළ වැනි තරලයන් අත් මගින්, කිවිසුම් සහ වාතය මගින් අනෙක් අයට පැතිරීමෙන් මේ රෝගය ව්‍යාප්ත වෙනවා. ජනතාව වැඩිපුර ගැවසෙන රැස්වීම්, පොදු ප්‍රවාහනය, කාර්යාල, විදුහල් වැනි ස්ථාන වලදී මේ උණ වසංගත වේගයෙන් ව්‍යාප්ත වෙන්න ඉඩකඩ තියෙනවා. 1918 පළමු ලෝක යුද්ධයේදී හමුදාවන් රටින් රටට යෑමත්, ඉඩපහසුකම් මදිව හමුදාවන් එක බැරැක්කවල තොග ගණන් එකට සිටීමත් මේ රෝගය මුල් අවධියේදී වේගයෙන් ව්‍යාප්ත වන්නට හේතු වුනා.

 

2.  ඇතිවුණු කාලය

සාමාන්‍යයෙන් ලංකාවේ වුනත් හෙම්බිරිස්සා උණ, ඩෙංගු ආදි රෝග වැඩිපුර වාර්තා වෙන කාල ප්‍රාන්තර තියෙනවා. අපි හැමෝම වැඩිපුර ඒ ගැන නොදන්නවා වුනත් සෞඛ්‍ය කාර්යය මණ්ඩල ඒ වෙනුවෙන් සූදානම් වෙලා ඉන්නවා. චීනයේ වුහාන් වෛරස තත්ත්වය වුනත් ශීත කාලයේදී එම රටට කඩා වැදීම ආසාදන තත්ත්වයන් වැඩි කරන්නට හේතු වෙලා තිබුනා. 1918 කාලය කියන්නේ දැන් තරම් ලෝකයේ වෛද්‍ය විද්‍යාව දියුණු නැහැ. දැන් වුණත් වෛරස් තත්ත්වයන්ට කෙලින්ම බේත් නැතිවුනත් රෝග ලක්ෂණ මැඩපවත්වාගන්න විවිධ ඔසු තියෙනවා. නමුත් ඒ කාලෙ ඒ වගේ ඔසු වැඩිය ප්‍රචලිත නැහැ. ඒ නිසාත් මේ ෆ්ලූ එකේ බලපෑම වැඩිවෙන්නට ඇති.

 

3. ස්පැනිශ් ෆ්ලූ රෝග ලක්ෂණ 

මේ ස්පාඤ්ඤ වසංගතය ගැන කියද්දි ඒ කාලේ තිබුන යුධමය තත්ත්වය නිසා ඇතැම් කලාපවල ජනයාට ආහාර පාන සැපයුම්වලත් ගැටලු තිබුනා. ඒත් මේ කාලේ හොඳට සනීපෙට තිබුන ජීවිත පවා මේ රෝගය වැළඳීම නිසා පැය 12ක් ඇතුලත මිය ගිය අවස්ථාත් වාර්තා වෙලා තිබුනා. ඒ යුගයේදී දැන් තරම් ආවරණ තාක්ෂණ දියුණු නැති නිසා සෞඛ්‍ය සේවකයින්, දොස්තරවරුන් සහ හෙදියන්ටත් එක පොදියට මේ මාරාන්තික ඉන්ස්ෆ්ලුවෙන්සාව හැදුනා. එය කොතරම් දරුණු තත්ත්වයක්ද කිවහොත් වෛද්‍ය විද්‍යාල වල පළමු වසර සිසුන්ට පවා රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරන්නට රෝහල් කරා යන්නට සිදුවුනා. මේ රෝගය හැදුනාම ඇතැම් පුද්ගලයින් නිල් පැහැ ගැන්වුනා. ඉන් පසු පෙනහළු වලට දියර පිරෙන්නට අරගෙන පැය ගණනාවකදී මිනිසුන් මරණයටත් පත්වූ අවස්ථා ද තිබුනා.

 

4. පැතිරුන හැටි

මේ ස්පාඤ්ඤ උණ වෛරසයෙන් අමරිකාවේ සැන් ෆ්රැන්සිස්කෝ නුවර හොඳටම ආරක්ෂා වුනා. මොකද වෛද්‍ය කාර්යමණ්ඩල දීපු උපදෙස් හරියටම ක්‍රියාත්මක කළ නගර බලධාරීන් පිටින් නැව්වලින් එන සියලු දෙනා වෙනමම කලාප වල තබා නිරෝධායනය කොට නැවත නගරයට ඇතුල් කරගත්තා. ඊට අමතරව උණ පැතිරෙන එක වළක්වන්නට සැන් ෆ්රැන්සිස්කෝ නගර බලධාරින් සෙනග එකතු වෙන තැන් අවම කිරීම, නගරය කලාප ලෙස වෙන් කිරීම, පොදු සේවාවන් වල පෝලිම් ආදිය අඩු කිරීම ආදී දේ ප්‍රායෝගිකවම කළා. එහි ප්‍රතිඵල නගරවාසීන්ට ලැබුනා. අමරිකාවේ අනෙක් නගර සෑම එකක්ම උණෙන් වෙලා ගනිද්දි සැන් ෆ්රැන්සිස්කෝ ආරක්ෂා වුනා. ඒත් එවකට පැවති යුධමය තත්ත්වයන් සහ අත්දැකීම් අඩු බව හේතුවෙන් ලොව බොහෝ නගර වලට ඒ තත්ත්වයට එන්නට බැරි වුනා. ඉන්දියාවේ මුම්බයි වලින් ඇතුල් වුන මේ රෝගය මුම්බයි සිට දුම්රිය හරහා රට වටටම බඩු යන ආකාරයටම රටේ අනෙක් නගරවටලත් ව්‍යාප්ත වුනා. යුරෝපයේ දියුණු නගර වලට පවා මෙයින් ගැලවීමක් ලැබුනේ නැහැ. ආසියාවේ පමණක් එවකට සිටි ජනගහණයෙන් දාහකට සෑම 35 දෙනෙකුටම මේ රෝගය වැළඳීලා තිබුනා.

 

5. ස්පාඤ්ඤ නම ආ හැටි

මේ රෝගය මුලින්ම ආවේ ස්පාඤ්ඤයෙන් නෙමෙයි. ඒත් රෝගය ස්පාඤ්ඤයට සැරටම බලපෑවා. ස්පාඤ්ඤයේ එවකට රජු වුණු අටවන අල්ෆොන්සෝටත් මේ හෙම්බිරිස්සා උණ හැදුනා. ලෝක යුධ සමය නිසා ඇමරිකානුවන්ටත් මේ තෑග්ග ලැබුනා. එයින් අමරිකානු සමස්ථ හමුදාවේ 36%ක් පමණ ලෙඩ ඇඳට වැටුනා. මෙයින් මියගිය ප්‍රමාණය එදා ලෝකයෙන් 3%ක් ලෙස සැලකෙනවා. මෙය ප්‍රතිශතයක් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් ලොවට අහිමි වුණු මුළු ජීවිත සංඛ්‍යාව හා සමානයි. අද තත්ත්වය සැලකුවොත් මේ ප්‍රමාණය මිලියන දෙතුන්සීයක් පමණ අගයක් ගන්නා බව තමයි විද්‍යාඥයෝ පවසන්නේ. ඒත් අද තියෙන තාක්ෂණික සහ වෛද්‍ය දියුණුව නිසා වෛරසයක් එතරම්ම දරුණුවට ලොව වටා පැතිර යයි කියලා විද්‍යාඥයින් විශ්වාස කරන්නේ නැහැ. ඒත් ඉක්මනින්ම වෛරසවලට වෙනස් වන්නට ඇති හැකියාව නිසා වෛරස කිසිසේත්ම විශ්වාස කරන්නටත් බැහැ.

 

6. බෙහෙත් හේත්

මේ හෙම්බිරිස්සා වෛරස වලට හරිහමන් එන්නතක් සොයාගත්තේ 1940 දී. ඒත් ඒ එන්නතක් වුවත් එවකට විශාල පරිමාණයේ වෛරස් වසංගතයකට සරිලන ලෙස සපයාගන්නට ගැටළු තිබුනා. අද වුනත් ඉතා වේගවත් ලෙස පැතිරෙන වෛරස තත්ත්වයකදී ඔසු සහ වෛද්‍ය පහසුකම් සපයාගැනීම ඇත්තටම ගැටලුවක් වෙන්න ඉඩ තියෙනවා. උණ වසංගතයකදී ඒ රෝගීන් අනෙක් රෝගීන් සමග එකට තියන්නට බැහැ. හැකිතාක් වෙන් කර තැබුවොත් තමයි අනෙක් අයට රෝගය බෝ වෙන එක නවත්වන්නට හැකි වෙන්නේ. මේ 1918 කාලේදී ලෝකයේ නිරෝධායන වැඩපිළිවෙළ එතරම් දියුණු ලෙස පැතිරිලා තිබුණේ නැහැ. ඒත් ඉන් පස්සේ නිරෝධායන හෙවත් ලෙඩ රෝග පැතිර යෑම වැළැක්වීමට හුදකලා කොට තැබීමේ වැදගත්කම ලෝකයා අවබෝධ කරගත්තා.

 

7. උණ නිසා ඇතිවුන වෙනත් විපත්

මිනිසුන් පෝලිමට මිය යද්දි ඔවුන් වල දාන පෙට්ටි හොයාගන්නත් අමාරු වුනා. මුල් කාලේ පෙට්ටි අමාරුවෙන් හොයාගෙන මිනිස්සු වලදාන්න සැරසුනත් පස්සේ පස්සේ ඒ වැඩේ අමාරු වුනා. ලෙඩ හැදිලා මැරුණු මිනියක් වුනත් හොඳ සරු ලෙඩ වාහකයෙක් ලෙස ක්‍රියාකරනවා. ඒ නිසා පසුකලෙක සමූහ මිනීවලවල් වල මේ උණ රෝගීන් වලලන්නට ගොඩක් දියුණු රටවලටත් සිද්ද වුනා. ඇමරිකාවේ මේ රෝගය ව්‍යාප්ත වීමත් එක්ක මිනිස්සු රාජකාරියට ඒම අඩු වුනා. එක පැත්තකින් රාජකාරියට එනවා කියන්නේ නිරාවරණය වැඩිවෙලා ලෙඩ හැදෙන හැකියාව වැඩි වෙනවා. අනෙක් පැත්තෙන් ඇත්තටම ලෙඩ වෙලා කට්ටිය අපහසුතාවෙන් ඉන්නවා නැතිනම් ඉක්මනින්ම මිය යනවා. මේ හේතු ගොඩක් නිසා ඇතැම් පලාත් වල ලියුම් බෙදීම, කුණු ඉවත් කිරීම, කර්මාන්ත ශාලා වල වැඩ රාජකාරි කිරීම ආදී ආර්ථික ක්‍රියාවලියේ සෑම එකක්ම පාහේ ඇණහිටලා තිබුනා.

 

8. නැවතුනේ කොහොමද?

මහා ගස් ලෝකෙන් තුරන් වෙද්දි එකපාරම භූමිය කාන්තාරයක් වෙන්නෙ නැහැ. ඊට පොඩි ගස් ඒ තැන ගන්නවා. ඉක්මනින්ම ලෙඩ වැළඳෙන පිරිස් මියගිහින් ලෙඩට ඔරොත්තු දෙන පිරිස් වල ප්‍රතිශක්තිය වැඩිදියුණු වුනා. ඒ එක්ක ලෝකේ ඇන්ටාක්ටිකාව හැර සෑම මහද්වීපයක්ම වෙලාගත් උණ වසංගතය 1919 ගිම්හාන කාලය වෙද්දි ලෝකයෙන් දුරස් වුනා. මේ වෛරසයේ පැතිරීම, එයට ඔරොත්තුදීම ගැන එතරම්ම දත්ත විද්‍යාඥයින් සතුව නැහැ. මොකද මීට සියවසකට පෙර ඇතිවූ ඒ මහා ව්‍යසනය ගැන පර්යේෂණ කරන්නට ගිය අයත් රෝගයෙන් පීඩා විඳින්නට ඇති.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *