“දෙගුරුන් විසින් තම
දරුවන්ට දෙන නොමද දන නම්
වියතුන් සභා මැද
ඉන්ට ඉදිරිව ශිල්ප දෙනුමැයි”
කියලා පුරාණ කවියෝ කියලා තියෙනවා. ඒ කාලේ වගේම මේ කාලෙත් දරුවන්ට දෙන්න පුළුවන් උසස්ම තෑග්ග තමයි අධ්‍යාපනය. අපේ රටෙත් අධ්‍යාපනය පිණිස දරුවන්ට පාසැල් හොයන්න, ටියුෂන් හොයන්න දෙමාපියන් නොගන්නා වෙහෙසක් නැති තරම්. ඒත් අධ්‍යාපන ක්‍රමයක් විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය ලෝකේ අනෙක් රටවල් එක්ක බලද්දි ඉස්සරහ තැනක නැහැ. අපේ සාක්ෂරතාවය වැඩි වුනාට නූතන ලෝකයට අවශ්‍ය ගණිත, විද්‍යා, තාක්ෂණික දැනුම් අතින් අපේ දරුවන් සුපිරි තැනක නැහැ. ඉතින් ලෝකේ හොඳට උගන්වන රටවල් මොනවාද කියලා අපි ටිකක් හොයලා බලමු.
1. දකුණු කොරියාව
දැන් දැන් ලංකාවේ අයත් දකුණු කොරියාවේ වැඩට යනවා. ඒත් කොරියාව කියන්නේ හැත්තෑ හැට ගණන් වලත් එච්චර දියුණු රටක් නෙමෙයි. අද වෙද්දි අපි වගේ රටවලින් වැඩකරන්න සේවකයෝ යන තරමට කොරියාවේ දකුණු පැත්ත දියුණුවෙලා තියෙනවා. දකුණු කොරියාවේ මිලියන 50කට අධික ජනතාවක් ඉන්නවා. ඔවුන් රජයේ සහ පුද්ගලික උසස් පාසල් හරහා අධ්‍යාපනය ලබාගන්නවා. සමස්ථයක් විදිහට පියර්සන් එඩියුකේශන් සහ එඩියුෙක්ශන් රිපෝට්ස් වල කොරියානු අධ්‍යාපනය ඉදිරියෙන් ඉන්නවා. දීර්ඝ කාලච්ඡේද තියෙන කොරියානු අධ්‍යාපනයේදී සිසුන් ගණිතය විද්‍යාව සහ කලා විෂයයන් වලටත් දක්ෂයි. ඒත් කොරියානු සිසුන්ටත් පාසැල් වෙලාවෙන් පස්සේ ටියුෂන් අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිද්ද වෙනවා.
2. ෆින්ලන්තය
ෆින්ලන්තය කියන්නේ නූතන ලෝකේ අධ්‍යාපන ක්‍රමවලට ආදර්ශයක් දීපු රටක්. ධනවත් බව අතින් ඉදිරියෙන් සිටින රටක් නොවුනත් ෆින්ලන්තය තමුන්ගේ අධ්‍යාපනය අතින් ලෝකෙන්ම ඉදිරියෙන් ඉන්නවා. අවුරුදු 7ක ඉන්න ෆින්ලන්ත සිසුවෙක්ට සෑම පැයකටම විනාඩි 15ක් එළියේ නටන්න, උඩ පනින්න ලැබෙනවා. පාසැල් කාලේ පැය 5ක්. ඒ කාලේ ඇතුළත විෂය ඉගැන්වීම් වගේම බාහිර ක්‍රියාකාරකම් ආදියත් වැඩිපුර කරනවා. ෆින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ඇතුළේදි ළමයින්ට ගෙදර වැඩ ලැබෙනවා අඩුයි. ඒත් ජාත්‍යන්තර පරීක්ෂණ වලදී ෆින්ලන්ත සිසුන් අනෙක් හොඳ රටවල සිසුන් වගේම හොඳ ඉහළ ලකුණු වාර්තා කරලා තියෙනවා.
3. නෝර්වේ
නෝර්වේ රටේ මිනිස්සු ඉන්නේ මිලියන 5.1ක් විතරයි. නෝර්වේ රටේ ජාතික ආදායමෙන් 6.6%ක්ම අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. නෝර්වේ රටේ සිසුන් 9 දෙනෙක්ට එක ගුරුවරයෙක් බැගින් ඉන්නවා. කලා, අත්වැඩ වගේම ආහාර සහ සෞඛ්‍යමය වැඩසටහන්ද ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමයට අයිති වෙනවා. සංගීතය සහ ක්‍රීඩා ක්‍රියාකාරකම් ආදියෙන්ද නෝර්වේ සිසුන්ගේ හැකියාවන් වර්ධනය කරනවා. නෝර්වේ රටේ ගෑනු, පිරිමි කියලා වෙන් කරලා ඉගැන්වීමක් නැහැ. ඒ විදිහට ජෙන්ඩර් අනුව පාසැල් නැතිම රටක් විදිහට තමයි නෝර්වේ රට දැක්වෙන්නේ.
4. සිංගප්පූරුව
ලංකාව සිංගප්පූරුවක් කරනවා කියලා ලංකාවෙ දේශපාලකයොත් විටින් විට බොරු පොරොන්දු තොග ගණන් දෙනවා. ඒත් ලංකාවේ අධ්‍යාපනය නම් සිංගප්පූරු මට්ටමට ගන්න එක ගැන කාගෙවත් වැඩි කතාවක් නැහැ. සිංගප්පූරුව දියුණු වීමේ මූලික සාධකයක් තමයි ඔවුන් දියුණු අධ්‍යාපන ක්‍රමයකට හැඩ ගැසීම. සිංගප්පූරුවේ අධ්‍යාපනය සිදු වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන්. ඒ නිසා ජාත්‍යන්තර වෙළඳපොලට අවශ්‍ය කරන පහසුකම් සලසද්දි සිංගප්පූරුවට ඉස්සරහට එන්න ඉක්මනින්ම අවස්ථාව ලැබුනා. ලෝකේ අධ්‍යාපනය මනින පිසා (PISA) කියන වර්ගීකරණයෙන් පසුගිය වර්ෂ කිහිපයකම මුල් තැනට එන්න සිංගප්පූරු රට සමත් වුනා. ශාස්ත්‍රීය අධ්‍යාපනය වගේම වෘත්තීය අධ්‍යාපනයත් සිංගප්පූරුවේ හරි දියුණුයි.
5. නෙදර්ලන්තය
නෙදර්ලන්තය හෙවත් ලන්දේසි රට අපිවත් කාලයක් යටත් කරගෙන උන්නා. ලෝකේ පැරණිතම ධනවාදී සංවර්ධිත රටක් විදිහට නෙදර්ලන්තය සැලකෙනවා. ඔවුන්ගේ සිසුන්ගෙන් 94%ක්ම දෙවනි පෙළ උපාධි ලබාගන්නවා. ඒ වගේම අධ්‍යාපනයට දුර්වල සිසුන්ට අධ්‍යාපනයට උදව් උපකාර කරන්නත් විශේෂ ක්‍රම නෙදර්ලන්ත රටේ තියෙනවා. එරට සිසුන්ට සිය භාෂාවට අමතරව භාෂාවන් කිහිපයක්ම ඉගෙනගන්න අවස්ථාවත් නෙදර්ලන්ත අධ්‍යාපන ක්‍රමය හරහා ලැබෙනවා.
6. ජර්මනිය
ජර්මනිය කියන්නේ ලෝකේ අඩුම වයසකින් වෘත්තීය අධ්‍යාපනය සම්පූර්ණ කරන රටක්. ජර්මානු චාන්සලර්වරියගෙත් අදහස අනුව ජර්මනිය කියන්නේ හැම කාලෙදිම බඩු නිපදවන රටක්. ඒ කියන්නේ නව සොයාගැනීම් මෙන්ම බඩු බාහිරාදිය නිෂ්පාදනයත් තවම ජර්මනියේ සිද්ද වෙනවා. ඒ වැඩට අවශ්‍ය සියලුම ශ්‍රමය සිය රටෙන්ම ලබාගන්න හැකි විදියට ජර්මානුවෝ ශාස්ත්‍රීය අධ්‍යාපනය වගේම කාර්මික අධ්‍යාපනයත් දියුණු කරගෙන තියෙනවා. ජර්මනිය එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන ලැයිස්තුවල ඉදිරියෙන් සිටියත් දරුවන්ගේ ගණිත සහ වෙනත් හැකියාවන් මනින පිසා ටෙස්ට් වලින් නම් ජර්මානු සිසුන් 20 ගණන් වල වගේ තමයි ඉන්නේ.
7. එක්සත් රාජධානිය
එක්සත් රාජධානියේ සිලබස් නම් ලංකාවෙත් කලාතුරකින් තැනක දෙකක උගන්වනවා. එක්සත් රාජධානියේ මිලියන 64ක ජනතාවගෙන් 99.9%ක්ම දෙවන පෙළ අධ්‍යාපනය සම්පුර්ණ කරනවා. එක්සත් රාජධානියේ අවුරුදු 5ත් 16ත් අතර සිසුන්ට මට්ටම් 4කින් අධ්‍යාපනය ලබා දෙනවා. එහි සිසුන් සාමාන්‍ය මට්ටමක සිය ගණිත කුසලතා පවත්වාගෙන යන බව තමයි පරීක්ෂණ ආදියෙන් හෙළිවෙලා තියෙන්නේ. එක්සත් රාජධානිය සාමාන්‍ය අධ්‍යාපනයට වගේම උසස් අධ්‍යාපනයටත් ජනප්‍රිය රටක්. ලොව වර්ගීකරණය අනුව මුල් පෙලේ විශ්ව විද්‍යාල කිහිපයක්ම එක්සත් රාජධානියට අයිති වෙනවා.
ඉගැන්වීම කියන දේ පොත් වනපොත් කරලා විභාග ලියන මට්ටමෙන් දැන් ඉස්සරහට ඇවිත්. දරුවන්ගේ හැකියාවන්, කුසලතාවයන් ඔවුන්ටම වැඩිදියුණු කරගන්න අවස්ථාවක් දෙන ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක් තමයි දැන් දියුණු ලෝකය පුරා පැතිරෙන්නේ. ශ්‍රී ලංකාවටත් ලෝකය එක්ක ඉස්සරහට යද්දි පැරණි, නිදිවරාගෙන විභාග වලට පාඩම් කරන, දරුවන් යාන්ත්‍රික කරන පැරණි අධ්‍යාපන ක්‍රම වලින් ඈත්වෙලා, අලුත් ක්‍රමවලට යන්න පුළුවන් නම් හොඳයි.
Leave a Reply