කම්මැලි ඔෆිස් ලයිෆ් එක හැපනින්ග් කරගන්න මේ දේවල් ඔෆිස් එකේදි කරල බලන්​න!

අපි කලිනුත් කිව්වා මතක ඇති ඔෆිස් එකේ ලයිෆ් එක, තමන්ගේ ප්‍රොෆෙෂනල් ජීවිතේ බෝරින් වෙන එක ගැන. එතනදී අපි කතා ක​ළේ ගොඩක්ම ඔෆිස් එකෙන් පිට ඉඳලා ඔෆිස් ලයිෆ් එකේ තියෙන කම්මැලිකමට තිත තියන්න කරන්න පුළුවන් දෙවල් ගැනනේ. හැබැයි දැන් කියන්නේ ඔෆිස් එක ඇතුළේ, ඒ කියන්නේ රාජකාරි වෙලාව ඇතුළේ තමන්ගේ ඔෆිස් ලයිෆ් එකේ කම්මැලිකම නැති කරන්න නම් කරන්න පුළුවන් දේවක් ගැන තමයි. හැබැයි පටන් ගන්න කලින්ම කියන්න ඕන දෙයක් තියෙනවා. ඔෆිස් ලයිෆ් එක පට්ට කම්මැලි වෙලා තියෙන්නේ මේක තමන්ට කිසිසේත්ම ගැලපෙන්නේ නැති රස්සාවක් වීම නිසා නම්, ඒක අපිට ගොඩදාන්න බෑ. හැබැයි තමන් ආස කරන රස්සාව නොවුණත්, ආසාවෙන් කරන්න පුළුවන් රස්සාවක් කාලයක් තිස්සේ ඒකාකාරීව කරනකොට ඇතිවුණු කම්මැලිකමක් නම් තියෙන්නේ, ආන්න ඒකට හොඳ ප්‍රතිකර්ම තමයි මේ යෝජනා කරන්නේ.

 

1. වැඩ මේසේ වෙනසක්

මේක කරන්න පුළුවන් සරල දෙයක්නේ. දැන්  තමන්ගේ වැඩ මේසේ තියෙන්නේ පිස්සෙක්ගේ පලා මල්ලක් වගේ නම්, මුලින්ම කරන්න ඕනේ මේසේ අස් කරන එක. මුලින් මේසේ තියෙන අනවශ්‍ය හැමදෙයක්ම අයින් කරලා දාලා, අවශ්‍ය දේවල් කීපය විතරක් මේසේ උඩ තියන්න. ඊලඟට මේසේ වැඩ කරන්න ආකර්ෂණීය විදියට හදාගන්න ඕන. උදාහරණයක් විදියට ගත්තොත්, තමන්ගේ මේසේ මතුපිට පරණ, පෑන් පාරවල් තියෙන, අපිරිසිදු එකක් නම් ඒක පිරිසිදු කරන්න ඕන. එහෙමත් බැරි නම් මේසෙට රෙක්සින් එකක් දාගන්න පුළුවන්. ඉන් පස්සේ මේසේ උඩ තියෙන අවශ්‍ය දේවල් කිහිපය ආස හිතෙන විදියට ඇරේන්ජ් කරලා තියන්න පුළුවන්. තුන්වෙනුව මේසේ උඩට තමන්ට ඉන්ටරෙස්ටින්ග් දෙයක් ගේන්න පුළුවන්. ඕන නම් වයිෆ්ගේ ෆොටෝ එකක්. නැතිනම් බොන්සායි මල් පැලයක්. එක්කෝ පොඩි ප්‍රතිමාවක්. මේ වගේ ඕනම දෙයක්.

 

2. පොමොදෝරෝ ටෙක්නික්

මෙන්න මේක අපි කලිනුත් කියලා දීලා තියෙන දෙයක්. පොමොදෝරෝ කියන්නේ උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කරන්න තාක්ෂණික ක්‍රමයක්. මේක සරල දෙයක්. ඔන්න විනාඩි විසිපහක් සම්පූර්ණයෙන්ම වැඩට ෆෝකස් වෙලා වැඩ කරනවා. ඊට පස්සේ විනාඩි පහක බ්‍රේක් එකක්. ආයෙමත් විනාඩි විසි පහක් වැඩ. මේ වැඩ වෙලාවට කිසිම බාහිර දෙයක් කරන්න බෑ. ඔෆිස් බඩියෙක් කතා ක​ළත් ගණන් ගන්න බෑ. ෆේස්බුක් යන්න බෑ. පර්සනල් කෝල් ආන්සර් කරන්න බෑ. වැඩම තමයි. ඔහොම පැය බාගේ හතරක් කළාට පස්සේ පැය බාගෙක, විනාඩි විස්සක ලොකු බ්‍රේක් එකක්. මේ පොමොදෝරෝ ටෙක්නික් එක ට්‍රැක් කරන්න නොයෙකුත් ඇප්ස් තියෙනවා. ඒකක් ෆෝන් එකට දාගන්න පුළුවන්.

මේ විදියට වැඩ කරන කොට එන විනාඩි පහේ බ්‍රේක් වලදී පුටුවට වෙලාම ඉන්න හොඳ නෑ. පුටුවෙන් නැගිටලා පොඩ්ඩක් ඇඟට හිරි අරින්න චාන්ස් එකක් දෙන්න ඕන.

 

3. විනාඩි දහයකට ඔෆිස් නොවෙන වැඩත්

දැන් ඔය අපි කියපු ලොකු බ්‍රේක් එනවනේ. ආන්න ඒ බ්‍රේක් වලදී මොකද කරන්නේ? ඇත්තටම කරන්න ඕන තරම් දේවල් තියෙනවා. ස්මාට්ෆෝන් එකේ ගේම් එකක් ගහන්න පුළුවන්. පොතක් කියවන්න පුළුවන්. ෆෝන් එකෙන් TED Talks වගේ දෙයක් හරි, පොඩ්කාස්ට් එකක් හරි අහන්න පුළුවන්. යාලුවොත් එක්ක චැටක් දාන්න පුළුවන්. මෙතනදී තමන් කරන දේ ඔෆිස් වැඩක් නොවෙන්න ඕන. එතකොට බොස් එතනට ආවොත්? කමක් නෑ. තමන් අවංකව පොමොදෝරෝ ක්‍රමේට වැඩ ටික කරනවා නම්, බොස් වුනත් දැනගනීවි මේ බ්‍රේක් එකක් ගන්නේ පැය දෙකක් යකා බැඳගෙන වැඩ කරලා කියලා. තව දෙයක්. මේ ඇක්ටිවිටීසුත් පුටුවේ වාඩිවෙලාම කරනවට වඩා හොඳයි, පොඩ්ඩක් ඇඟට ව්‍යායාමයක් දෙන අතරේ කරන එක.

 

4. වැඩක් කෙරෙන මීටින්ග්ස්

ගොඩක් වෙලාවට ඔෆිස් මීටින්ග්ස් කියන්නේ බොස්ටත් පලක් නැති, වැඩ ක​රන උන්ටත් පලක් නැති, කාලේ නාස්ති කරන හමුවීම් විතරයි. ඇයි? එක්කෝ මීටින් එකක් ඵලදායී හෝ කාර්යක්ෂම නැති වීම. මීටින් එකේ ඉන්න උන්ට මීටින් එක වැඩක් නැති වීම. ආන්න ඒ නිසා මීටින් තියෙන කල්චර් එක වෙනස් කරන එකත්, ඔෆිස් එකේ කම්මැලි කම යන්න කරන්න පුළුවන් දෙයක්. එකක් තමයි මීටින් එකට සක්‍රියව සහභාගී වීම. ඒ කියන්නේ නෝට්පොතක් අරගෙන මීටිමට ගිහින්, මීටිමට ඇත්තටම සවන් දීලා, ඒකේදී ප්‍රශ්න අහලා, තමන්ගේ අදහස් ඉදිරිපත් කරලා සහභාගී වෙන එක. ඒකෙන් මීටිම බෝරින් නොවෙනවා විතරක් නෙවෙයි, තමන්ට සහ ඔෆිස් එකට මීටිමෙන් වැඩකුත් වෙනවා. හැබැයි යම් මීටිමක එහෙම දෙයක් කරන්න බැරි නම්, ඒ කියන්නේ ඒ මීටිම තමන්ට අදාළම නැහැයි කියන එක. අන්න ඒක බොස් එක්ක කතා කරලා වෙනස් කරගන්න ඕන දෙයක්.

 

5. වැඩ කරන පැය ගාණ අඩු කරමු

ඉස්සර තිබුණු ආදර්ශ පාඨය තමයි මහන්සි වෙලා වැඩ කරමු කියන එක. හැබැයි දැන් වෙනකොට මේ අනවශ්‍ය මහන්සියෙන් වැඩ කිරීමෙන්, දීර්ඝ වෙලාවක් වැඩ කිරීමෙන් ඇත්‍තටම තේරුමක් වෙන්නේ නැහැයි කියලා හොයාගෙන තියෙනවා. ඔය ඇමරිකාවේ එහෙම සතියකට වැඩ කරන පැය 40 ක් තමයි සාමාන්‍යය විදියට තිබුණේ. ඒ කියන්නේ දවසකට පැය අට ගාණේ වැඩ කරලා, සෙනසුරාදා ඉරිදා ෆ්‍රී තියාගන්න එක. හැබැයි ඉතින් මේ විදියට නෙවෙයිනේ වැඩ කරන්නේ. සමහරු යකා බැඳගත්තා වගේ සතියකට පැය පණහ හැටත් වැඩ කරනවා. ඒත් ඒකෙන් ඇති පලක් නෑ. ආන්න ඒ නිසා කරන්න ඕන දෙයක් තමයි, තමන්ගේ රාජකාරි කටයුතු සතියකට උපරිම පැය 40 න් හෝ ඊට අඩු ප්‍රමාණයකින් කරන්න පුළුවන් විදියට වැඩ කළමනාකරණය කරගන්න එක. 

 

6. ඔෆිස් එකේ මිත්‍රයෝ

ඔෆිස් එකක අතිශය සමීප සම්බන්ධකම් තියාගන්න එපා කියලා සමහරු කියනවනේ. එහෙම කියන එකට ඉතින් හේතුත් තියෙනවා. හරි, ඔෆිස් එකක යාලු මිත්‍රයෝ හදාගෙන අතිශයින්ම පෞද්ගලික දේවල් කතා කරන්න ඕන නෑ. හැබැයි ඔෆිස් එකක යාලු මිත්‍රයෝ ඉන්න ඕන. යාලු මිත්‍රයෝ නොවෙන අයව පුද්ගලික මට්ටමින් හරි දැනඅඳුනාගෙන තියෙන්න ඕන. ඇත්තටම මේක ඔෆිස් එකේ කම්මැලිකම නැති කරන්න පුළුවන් ක්‍රමයක්. මේකට හැම වෙලේම ගිහින් ඔෆිස් බඩියෝ එක්ක චැටක් දාගෙන ඉන්න ඕන නෑ. හැබැයි ඔෆිස් බඩියෝ එක්ක වැඩ කරන එක ආතල් එකක් වෙන ලෙවල් එකට දැන අඳුනාගන්න ඕන. ඒකට ඔෆිස් එකේ තියෙන ඔය රාජකාරි බාහිර, සාමූහික ක්‍රියාකාරකම් වලට එහෙම සහභාගී වෙන එක සහ ඔෆිස් පොලිටික්ස් හැකිතාක් මඳ පමණින් භාවිතා කරන එක වැදගත්.

 

7. ඔෆිස් එකට වෙනස් යමක් ගේමු

මේක සමහර වෙලාවට අපට තනියෙන්ම කරන්න බැරි වැඩක්. මෙතනදී අපි කියන්නේ ඔෆිස් එකේ රාජකාරී කරන වෙලාව සහ බ්‍රේක් එකක් ගන්න වෙලාව ආතල් කරන්න පුළුවන් මොකක් හරි දෙයක්. ඒක තේ බොන්න වැනිලා තේ කුඩු පැකට් එකක් ගෙනත් තියන එක හරි, හොඳ කෝපි කුඩු එකක් ගෙනත් තියන එක හරි වෙන්න පුළුවන්. ඕන නම් ඔෆිස් එකට හොඳ එස්ප්‍රෙසෝ මැෂින් එකක් ගෙනැත් තියන එක වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් කලෙක්ෂන් දාලා වුනත් ඔෆිස් එකට අලුත් දෙයක් ගේන්න, වියදම් කරන්න පුළුවන් සීමාවකුත් තියෙනවනේ. තමන් එකතුවෙලා කලෙක්ෂන් දාලා මොනවා හරි නවතාවයක් තියෙන දෙයක් ගේන එක හරි, පාලනාධිකාරියට රික්වෙස්ට් කරලා දෙයක් ගෙන්න ගන්න එක හරි, ඔෆිස් කම්මැලි කම දුරලන්න එක ක්‍රමයක් වෙයි.

 

8. ඔෆිස් වැඩ ඔෆිස් එකේ ඉවර කරමු

ඔෆිස් එකේ කම්මැලි කම දුරලන්න මෙන්න මේ කාරණය ඉතාම වැදගත්. ඒ තමයි, ඔෆිස් එකේ දවසේ වැඩ කරන පැය අට ඉවර කරලා ගෙදර යනකොට, ඔෆිස් වැඩ හරි, ඔෆිස් ස්ට්‍රෙස් එක හරි ගෙනියන්නේ නැතුව, ආතල් එකේ ගෙදර යන්න පුළුවන් විදියට ඔෆිස් ජීවිතේ හදාගන්න එක. මේකට අයිති වෙනවා කාලය කළමනාකරණය, රාජකාරි කළමනාකරණය, බොස්ගේ එහෙයියෙක් නොවීම, තමන්ගේ රාජකාරි භූමිකාවේ දැක්වෙන ප්‍රමාණයට වඩා දරන්න බැරි විදියට වැඩ රාජකාරි පටවා නොගන්න එක සහ වැඩ කරන පැය ගාණ ඇතුළත අයිස් නොගැසීම. ඔන්න ඔය ටික කරලා, වැඩ කරන ටික ඔෆිස් වෙලාවේ ඉවර කරලා ආතල් එකේ ගෙදර යනවා කියන්නේ, ඊලඟ දවසේ ස්ට්‍රෙස් නැතුව, ෆ්‍රෙෂ් පිට වැඩට එන්න පුළුවන් වෙනවා කියන එක තමයි!

 

9. වර්කින් ෆ්‍රොම් හෝම්

මේක ඉතින් හැම ඔෆිස් එකකම කරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් ප්‍රයිවට් ඔෆිස් වල මේක ක්‍රියාත්මක කරන්න පුළුවන් දෙයක්. ඒ තමයි සතියකට දෙකකට සැරයක් දවසක් ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්ද කියලා ට්‍රයි එකක් දෙන එක. මේක ඇත්තටම තමන් කරන රාජකාරියේ විදියට, ඔෆිස් එකේ විදියට සහ තමන්ගේ වැඩ විනය කොයි තරම් හොඳඳ කියන එකේ විදියට වෙනස් වෙනවා. හැබැයි ඉතින් මේක හරියට කරන්න පුළුවන් නම්, ඔෆිස් එකේ වැඩකරන්න ඇවිත් තියෙන කම්මැලි කම කඩාගන්න මේක හොඳ ප්‍රතිකර්මයක්!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *