තම මවුබිමෙන් පිට දේවත්වයෙන් සළකා වැඳුම් පිදුම් ලබන අය

ඔය දකුණු පළාත පැත්තේ කතාවක් තියෙනවලු, “ගමේ එකා බුදු වුනත් ගමට ලොකු නෑ” කියලා. ඒ කතාවේ තේරුම මොකක්ද කියලා ආපහු අමුතුවෙන් කියන්න ඕනේ නැහැ කියලයි අපි හිතන්නේ. අපේ මේ ආටිකල් එක අද වෙන් වෙන්නෙත් ඒ වගේ දෙයක් ගැන. ඒ තමයි තමන්ගේ මව්බිමෙන් බැහැර දුරු රටවලදී දෙවියන් ලෙස සලකන හෝ වැඳුම් පිදුම් පිදුම් ලබන අය ගැන.

 

1. තෙරේසා මව්තුමිය 

තෙරේසා මව්තුමිය ගැන විශේෂ හැඳින්වීමක් අවශ්‍ය වෙන්නෙත් නැති තරම්. එතුමිය ඉන්දියාව වගේම ලංකාව තුළත් දයාවේ සාන්තුවරිය විදිහට ගෞරවාදරයට පාත්‍ර වෙනවා. ඒ කල්කටාවේ දිළිඳු ජනතාව වෙනුවෙන් සිදු කරපු සුවිශේෂී සේවය නිසා. එතුමිය උපත ලැබුවේ වර්තමානයේ උතුරු මැසිඩෝයානිව නමින් හැඳින්වෙන රට තුළ. එතුමිය උපත ලබන අවස්ථාව වන විට ඒ එම ප්‍රදේශය ඔටෝමන් අධිරාජ්‍යයේ පාලන ප්‍රදේශයක් බවට පත් වී තිබුණා. බෙංගාලය තුළ කිතුණු ධර්මදූත කණ්ඩායම් සිදු කරන සේවාව ගැන අසා තිබූ ඇය වයස අවුරුදු 18 සම්පූර්ණ වීමත් සමඟ ඉන්දියාවට පැමිණි අතර, එතැන් පටන් ඇයගේ මරණය දක්වා ඇගේ ස්ථිර වාසස්ථානය වුණේ ඉන්දියාවයි. ඇයගේ මරණයෙන් පසු ව කතෝලික සභාව විසින් ඇයව සාන්තුවරයට එසවීමේ ක්‍රියාවලිය ආරම්භ කළ අතර මේ වන විට ඇයව හැඳින්වෙන්නේ ආශිර්වාද ලත් තෙරේසා මවුතුමිය ලෙසයි. නමුත් කල්කටාවේ දිළිඳු ජනතාව නම් ඇයව මේ වන විටත් දේවත්වයෙන් සලකනවා. ඔවුන් ඇයව කතෝලික කන්‍යා සොහොයුරියකට වඩා තමන් වෙත පැමිණි දෙවඟනක් ලෙස වන්දනා මාන කරනවා.

 

2. හේලි සෙලාසි

මීට අඩසිය වසකට පමණ පෙර ඇබිසීනියාව නමින් හැඳින්වුණු ඉතියෝපියාවේ රජ කම් කළේ වසර දහස් ගණනක ඉතිහාසයක් සහිත සොලමන් රාජ වංශයේ අවසාන අධිරාජ්‍යයා වූ හේලි සෙලාසියි. ඔහු උපතින් ඔතඩොක්ස් කිතුණුවෙක් වුණා. නමුත් අප්‍රිකානු මහද්වීපයෙන් ඈත එපිට ඇමරිකාව මහද්වීපයේ ජැමෙයිකාව තුළ ඔහු දේවත්වයට නැගුනා. ඒ අප්‍රිකානු සම්භවයක් සහිත ඇමෙරිකානුවන් අතර පැතිරුණු රස්ටෆාරීයානු ආගම තුළ. ඔවුන් විශ්වාස කළේ හේලි සෙලාසී යනු ගැලවුම්කාරයෙක් බවත්, ඔහු විසින් ඉතියෝපියාව තුළ මිහිපිට ස්වර්ග රාජ්‍යය බිහි කිරීම සිදුකරන බවත්. මෙවැනි විවිධාකාර අදහස් රාශියකින් රස්ටෆාරි යනු ආගම සමන්විත වූ අතර ඔවුන් ඔවුන්ගේ ම ජීවන රටාවක් ගොඩ නැගීමට උත්සාහ කළා. බටහිර රටවල් තුළ ගංජා භාවිතය ප්‍රචලිත වීමට පටන් ගත්තෙත් මෙහි ප්‍රතිඵලයක් විදිහට.

 

3. එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයා 

ශාන්තිකර දූපතක් වන වනවාටුහි සමහර ගම්මානවල ගෝත්‍රික ජනතාව එඩින්බරෝ ආදිපාද පිලිප් කුමාරයාව දේවත්වයෙන් සලකනවා. එසේ දේවත්වයට නැඟීමට ඔවුන් අතර පැතිර තිබූ ජනප්‍රවාදයක් හේතු වෙනවා. ඒ ජනප්‍රවාදයට අනුව ඔවුන්ගේ පැරණි දෙවියෙක් සයුරෙන් එහා දුරු රටකට ගොස් බලගතු කාන්තාවක් සමග විවාහ වෙනවා. දෙවැනි එලිසබත් රැජින සිහසුනට පත් වීමෙන් පසුව ඔවුන් විශ්වාස කළේ ඇය තමන්ගේ ජනප්‍රවාදවල සඳහන් බලගතු කාන්තාව බවත් ඇගේ ස්වාමියා එහි සඳහන් වූ දෙවියා බවත්. පිලිප් කුමාරයාද මෙසේ ඇදහීම පිළිබඳව විරුද්ධත්වයක් පළ නොකර ඇති අතර ඔහු විසින් එම ගෝත්‍රිකයන්ට එවන ලද ඡායාරූප කීපයක් ඔවුන් විසින් ගෞරවාදරයෙන් ආරක්ෂා කරනවා. බ්‍රිතාන්‍ය නාලිකාවක් විසින් එම ගෝත්‍රිකයන් පිරිස වරක් පිලිප් කුමාරයාව මුණ ගැස්සවීමටද රැගෙන ගොස් තිබුණා.

 

4. එල්. එල් සැමන්හොෆ්

එස්පරැන්ටෝ අද වෙන කොට මිනිසා විසින් සන්නිවේදනය සඳහා භාවිතා කරන නමුත් කෘත්‍රිමව සකස් කරන ලද ජනප්‍රියතම භාෂාව විදිහට සලකන්න පුළුවන්. මේ භාෂාව නිර්මාණය කරන්නේ එල්. එල් සැමන්හොෆ් විසින්. මිනිසා භේද කරන ප්‍රධානම නිර්ණායකයක් වන භාෂාවන් ගණනාවක් වෙනුවට පොදුවේ භාවිතා කළ හැකි එකම භාෂාවක් සකස් කිරීම සැමන්හොෆ්ගේ අරමුණ වී තිබුණා. නමුත් මෙසේ එස්පරැන්ටෝ භාෂාව නිර්මාණය කිරීම නිසා සැමන්හොෆ්ව ජපානයේ ඕමොටෝ නම් සුළුතර ආගම අදහන  ජනතාව අතර දෙවියෙකු බවට පත් වුණා. ඔවුන් විසින් එස්පරැන්ටෝ යනු දෙවියන්ගේ භාෂාවක් බවත් ස්වර්ගය තුළ භාවිතා වෙන්නේ එම භාෂාව බවටත් ප්‍රකාශ කරනු ලැබුවා. අද පවා ඔවුන් විවිධ ජපන් කෘතීන් එස්පරැන්ටෝ  භාෂාවට පරිවර්තනය කර භාවිතා කරනු ලබනවා.

 

5. ජැකොබිනා මෝරර්

ජැකොබ්නා උපත ලබන්නේ බ්‍රසීලයේදී. නමුත් ඇගේ දෙමව්පියන්ට ජර්මනියේ ඇති වූ ආගමික ගැටුම් නිසා බ්‍රසීලයට පලා පුද්ගලයන්. ඇගේ පියාද පිළිගත් ක්‍රිස්තියානි සභාවලට බැහැර නව සභාවක් නිර්මාණය කිරීමට උත්සාහ කළ අතර එය යථාර්තයක් බවට පත් කරන ලද්දේ ජැකොබිනා විසින්. කුඩා කාලයේදී නින්දෙන් ඇවිදීම නිසා විශේෂ ශක්තියක් ඇය සතුවූ ලෙසට ජැකොබිනාගේ අනුගාමිකයන් සලකනු ලැබුවා. අවසානයේ දී ඇතැම් අනුගාමිකයන් ඇයව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නැවත උපතක් ලෙසත් සැලකීමට පටන් ගත්තා. තමන්ට එරෙහිව නැගී සිටින සාම්ප්‍රදායික කිතුණුවන්ට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදා ගැනීමට අැය නිරන්තරයෙන්ම තමන්ගේ අනුගාමිකයන් මෙහෙයුවා. මේ නිසා බ්‍රසීල පාලකයන්ට පවා මෙම ගැටුම්වලට  මැදිහත් වීමට සිදු වුණා.

 

6. ටෙන්සින් ඔසෙල් හිටා

ස්පාඤ්ඤ ජාතික බෞද්ධ දෙමව්පියන් යුවළකට දාව උපන් ඔසෙල් හිටා ටිබෙට් ලාමාවරයෙක්ගේ පුනරුප්පත්තියක් බවට දලයි ලාමා විසින් පවා පිළිගත්තා. දීර්ඝ කාලයක් ඔහු දකුණු ඉන්දියාවේ ටිබෙට් ආරාමයක ඉගෙනුම ලබා පෙර භවයේ තමන් නායකත්වය දැක්වූ සංවිධානයේ ප්‍රධානත්වය ලබාගැනීමට සිතා සිටියා. නමුත් පසුව ඔහු ගිහි ජීවිතයට වඩාත් රුචිකත්වයක් දැක්වූ අතර මේ වන විට ඔහු චිත්‍රපට නිර්මාණකරුවෙක් බවට පත්ව සිටිනවා. තවදුරටත් ටිබෙට් බුද්ධාගම ඔහු විසින් අදහනු ලැබුවත් පෙර පරිදි තමන්ගේ අනුගාමිකයන් සඳහා නායකත්වය ලබා දීම දීම කරන්නේ නැහැ. නමුත් පුදුමයකට වගේ ඔහුගේ අනුගාමිකයන් තවමත් ඔහුව දේවත්වයේ ලා සලකනු ලබනවා.

 

7. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපදින්නේ යුදෙව්වෙක් විදිහට ඊශ්‍රායලයේදී. නමුත් යුදෙව් ආගම තුළ ජේසුස් වහන්සේව ගැලවුම්කරුවා විදිහට පිළිගැනෙන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ තවමත් ගැලවුම්කරුවා තමන් අතරට පැමිණ නැහැයි කියලා. හැබැයි ඉතින් මව්බිමේ තමන්ගෙ ජනතාව අතර වන්දනාමානයට ලක් නොවුණට ලොව පුරා බිලියන ගණනක ජනතාව තමන්ගේ ගැලවුම්කාරයා විදිහට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව පිළිගන්නවා.

 

එහෙමනම් ඉතින් වෙනදා වගේම මේ ආටිකල් එක ගැන ඔබේ අදහස් පළ කරන ගමන් මේ ආටිකල් එක ෂෙයාර් කරන්න අමතක කරන්න එපා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *