ඔබේ ජීවිතේ මූල්‍යමය කටයුතු හිසරදයක් නොවෙන්න නම් මේ උපදෙස් අනුගමනය කරන්න

සාමාන්‍යයෙන් ගත්තහම මූල්‍යමය කටයුතු, එහෙම නැතිනම් ජීවිතේ මුදල් හදල් සම්බන්ධ දේවල් ගැන කිසිම ගැටළුවක් ඇතිකරගන්නේ නැතුව ජීවත් වෙන්න නම්, එක්කෝ කෙනෙක් මල්ටිමිලියනර් කෙනෙක් වෙන්න ඕන. එහෙම නැතිනම් අල්පේච්ඡ ජීවිතයක් ගෙවන, අතිශයින්ම සරල මනුස්සයෙක් වෙන්න ඕන. හැබැයි ඉතින් ඔය දෙකටම අයිති නොවෙන, මධ්‍යම පාංතික අපිට මූල්‍යමය කටයුතු ඔලුව කැක්කුමක් නොකර ගන්න වෙන වෙන ක්‍රම හොයාගන්න වෙනවා. එතනින් මූලිකම කාරණාවක් තමයි මූල්‍යමය කටයුතු හරි හැටි කළමනාකරණය කරන එක. දැන් ඔය  ප්‍රමාණවත් ආදායමක් උපයන එක, රස්සා දෙකක් කරන එක වගේ සල්ලි එන ක්‍රම ගැන අපි කලිනුත් කතා කරලා තියෙනවා, ඉස්සරහටත් කතා කරනවා. අද කතා කරන්නේ එන සල්ලි හරි විදියට මැනේජ් කරගන්න උදවු වෙන ටිප්ස් කීපයක් ගැන.

 

1. බජට් කරමු

මේක ගොඩක් දෙනෙක්ට කිවුවට කරන්නෙ නැති, කළොත් මාසෙකින් දෙකකින් අත ඇරලා දාන, හැබැයි කරන්න පුළුවන් නම් සෑහෙන්න වටින ක්‍රමයක්. මාසේ මුලින් මාසේ වියදම් සහ ආදායම් බජට් එක හදන්නයි තියෙන්නේ. මුලින්ම මාසේ එන්න තියෙන ආදායම් ටික ලැයිස්තුගත කරනවා. ඊලඟට මාසේ තියෙන අත්‍යාවශ්‍ය සහ අවශ්‍ය වියදම් ලැයිස්තු ගත කරනවා. දැන් වියදම් පැත්ත ආදායම් වලට වඩා වැඩියි නම්, කරන්න තියෙන්නේ වියදම් කපන එක. බිල්, කෑම වගේ අත්‍යාවශ්‍ය වියදම් කපන්න බෑනේ. රාණීගේ වෙඩිමට සාරියක් වගේ වියදම් වලින් තමයි ඉතින් කපන්න වෙන්නේ.

 

2. මාසේ බිල්

මාසේ බිල් එන්නේ එකම දවසකදී නෙවෙයිනේ. හැබැයි අපි මාසේ බිල් වලට අමතර ගණන් එකතු නොවෙන විදියට, එක දවසක් ගෙවන්න තියාගන්න එක තමයි වාසි. හැබැයි මේ දවස තීරණය කරගන්න නම්, තමන්ට ගෙවන්න තියෙන බිල් හැම එකකම billing cycle එක දැනගන්න වෙනවා. ඊට පස්සේ එක දවසකදී ගෙවන්න. ඒ වගේම පුළුවන් තරම් උත්සාහ කරන්න මාසේ බිල් වල ගණන් නොවෙනස්ව පවත්වා ගන්න. ඒ කියන්​නෙ ටෙලිෆෝන් බිල අද දාහක් වෙලා, ලබන මාසේ තුන් දාහක් වෙනවා කියන්නේ ප්‍රශ්නයක්. අන්න ඒ නිසා බිල් එන කරුණු කාරණා තමන් පාවිච්චි කරන විදියේ අනිවාර්‍යයෙන්ම විනයක් තියාගන්න වෙනවා. 

 

3. කෑෂ් ද, කාඩ් ද, ඉලෙක්ට්‍රොනික් කෑෂ් ද?

මෙන්න මේක හොඳ ප්‍රශ්නයක්. මේ කාලේ ගොඩක් දෙනෙක් කෑෂ් පාවිච්චියට වඩා කාඩ් පාවිච්චියට මුල් තැනක් දීලා තියෙන්නේ. ඒක හොඳ දෙයක්. හැබැයි ඔය කාඩ් කියන්නේ ක්‍රෙඩිට් කාඩ් නම් ඒකට වෙනමම විනයක් තියෙන්න ඕන. ඒක අපි ඊලඟට කතා කරනවා. හැබැයි කෑෂ් සහ කාඩ් වලටත් වඩා දැන් කාලේ හොඳම දෙයක් තමයි ඉලෙක්ට්‍රොනික් කෑෂ් හෙවත් ඊ වොලට් එකක් පාවිච්චි කරන එක. මේකෙන් තමන්ගේ සියලුම බිල්, විනාඩි පහක් දහයක් ඇතුළතදී ගෙදර ඉඳලම ගෙවන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම අතේ සල්ලි ගෙනියන එකත් අඩු වෙනවා.

 

4. කාඩ් මැනේජ්මන්ට්

මෙන්න මේක බොහොම බැරෑරුම් කාරණාවක්. ක්‍රෙඩිට් කාඩ් කියන්නේ ගොඩක් දෙනෙක් එරෙන තැනක්. ක්‍රෙඩිට් කාඩ් එකක් හරි විනයකින්, හරි කළමනාකරණයකින් පාවිච්චි නොකළොත් ඉතින් බඩුම තමා. හැබැයි හරියට ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන එකේ ආතල් සහ වාසිත් තියෙනවා. මෙතනදීත් ප්‍රධානතම දේ වෙන්නේ, ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරන එක අර මාසේ බජට් එකට අනුව කරන එක. එතනදී රාණිගේ වෙඩිමට සාරියක් ගන්න එක අපි අත්‍යාවශ්‍ය නොවෙන වියදමක් නිසා සහ මේ මාසේ දරන්න බැරි වියදමක් නිසා කපලා දානවනේ. හැබැයි ඒක ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගොඩදාගන්න පුළුවන්. හැබැයි එහෙම කරනවා නම්, කරන්න කලින් ෂුවර් එකක් තියෙන්න ඕන, ඉස්සරහා මාසෙක හෝ උපරිම දෙකක ආදායමෙන් ඒ ක්‍රෙඩිට් කාඩ් ණය පියවන්න පුළුවන් කියලා. එහෙම බැරි නම් ඒ වියදම නොකර ඉන්න මූල්‍ය විනයක් තියෙන්න ඕන.

දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි ක්‍රෙඩිට් කාඩ් අරගෙන, ඒකෙන් වියදම් කරලා, පොලී හැදිලා ගෙවා ගන්න බැරුව ඉන්න එක. කරන්න තියෙන්නේ මෙච්චරයි. පුළුවන් නම් කාඩ් වල ණය එක කාඩ් එකකට ගේන්න පුළුවන්. ඊට පස්සේ කාඩ් වලට මාසිකව ප්‍රමාණවත් ගාණක් පියවන්න හදාගන්න පුළුවන්. ඒක හැබැයි යන්නේ අත්‍යාවශ්‍ය වියදම් වලට. ඒ ගැන අපි ඊලඟට තවදුරටත් කතා කරනවා. 

 

5. ඔන්ලයින්/ස්මාට් බෑන්කින්

ඉස්සර තමයි බැංකු කටයුතු වලට බැංකුවට ඇවිද ගෙන ගිහින්, කවුන්ටර් වල පැය ගණන් රස්තියාදු වුනේ. දැන් සල්ලි ගන්න වගේම සල්ලි දාන්නත් ටෙලර් මැෂින් තියෙනවා. හැබැයි ඒකටත් බැංකුවට යන්න ඕනනේ. ආන්න ඒ නිසා අපිට පුළුවන් ඔන්ලයින් බෑන්කින් වලට රෙජිස්ටර් වෙන්න. කිසි කරදරයක් නෑ, කම්පියුටර් එක ඉස්සරහා ඉඳලම බැංකු කටයුතු ඉවර කරගන්න පුළුවන්. ඒ වගේම තවත් සාර්ථක ක්‍රමයක් තමයි ස්මාට් බෑන්කින්. ඒ කියන්නේ ස්මාට්ෆෝන් එකේ තියෙන බැංකු ඇප් හරහා සියලුම බැංකු කටයුතු ඉෂ්ට කරගන්න එක.

 

6. ණයට මුල් තැන

ඔය ණය කියන්නේ ඉස්සර නම් මිනිස්සු හරියට බය වෙන දෙයක්. හැබැයි අපි කියන්නේ ණයට බය වෙන්න එපා කියලා. මොකද අද කාලේ හැටියට අපිට ණය නැතුව බැහැ. ගෙවල් ණය, බැංකු ණය වගේ එක ණයක් හෝ දෙකක්, සාමාන්‍ය මනුස්සයෙක්ගේ ජීවිතේ තියෙනවාම තමයි. එතකොට ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්නවා කියන්නේම ණයක් ගන්නවා කියන එකනේ. දැන් ණයට බය නොවුනා කියලා මදි. ණය හරියට කළමනාකරණය කරන්න ඕන. ඒ කියන්නේ ණයට අමතර පොලී එකතු නොවෙන විදියට ගෙවලා දාන්න ක්‍රමයක් තියෙන්න ඕන. එතකොට ණය ගන්න කලින්ම ඒ සැලසුම හදාගන්න ඕන. ණය ගත්තට පස්සේ ඒක යන්නේ අත්‍යාවශ්‍ය වියදම් වලට කියන එකත් මතක තියාගන්න ඕන. එතකොට රාණිගේ වෙඩිමට සාරියක් නැති නිසා නොගියත්, ගෙවල් ණය ඒ මාසේ හරි වෙලාවට ගෙවන්න වෙනවා කියන එකත් මතක තියාගන්න ඕන.

 

7. දවසේ මූල්‍ය කටයුතු විනාඩි පහක්

මේක ඇත්තටම අර මාසෙකට සැරයක් හදන බජට් එකේ, දිනපතා කරන්න තියෙන කොටසක් විදියට හිතන්න පුළුවන් දවසේ විනාඩි පහක් කියන්නේ ලොකු දෙයක් නෙවෙයිනේ. මේ විනාඩි පහේ කරන්න ඕන, කලින් දවසේ මූල්‍යමය කටයුතු සමාලෝචනය කිරීම සහ අද දවසේ මූල්‍යමය කටයුතු සැලසුම් කිරීම. ඒ කියන්නේ කලින් දවසේ මොකක් හරි අනපේක්ෂිත අමතර වියදමක් කරන්න වුනා නම්, අද දවසේ මූල්‍යමය කටයුතු වලදී ඒ අමතර වියදම අල්ලන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන්. දවසේ තමන් අතේ තියෙන සල්ලි කොහාටද යන්නේ කියන එක ගැන දැනුවත් වෙන්න පුළුවන්. තමන් අර මාසේ හදපු බජට් එකේ විදියටම වැඩේ කරගෙන යනවද කියන එක ඩබල් චෙක් කරන්නත් පුළුවන්.

 

8. 15%

ගොඩක් පොහොසත් කියලා හිතන ඇමරිකාව වගේ රටවල පවා මිනිස්සු ජීවත් වෙන්නේ මාසේ පඩියෙන් කියලා කියනවා. ඒ කියන්නේ මේ මාසේ පඩියට පස්සේ ඊලඟ මාසේ පඩිය එනකල් බලාගෙන ඉන්න වෙනවා. බැරිවෙලාවත් එක මාසයක් වැඩ කරන්න බැරි වුනොත් එහෙම බඩු බනිස් වෙනවා. ආන්න ඒ නිසා තමයි ඔය ඉතුරුම් සහ ආයෝජන වල වාසිය ගන්න අවශ්‍ය වෙන්නේ. අන්න ඒ නිසා අපිට උත්සාහ කරන්න වෙනවා, මාසෙකට අඩු තරමින් ආදායමින් 15% ක් වත් ඉතුරු කරන්න. සමහර වෙලාවට ණය තුරුස් වලට හිර වෙලා නම් ඔය ගාණ ගොඩදාන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි එහෙමනම් කරන්න තියෙන්නේ හැකි ඉක්මනින් අමතර ණය තුරුස් ඉවර කරලා, මාසෙකට වැඩි ගාණක් අතට හොයාගන්න පුළුවන් ක්‍රමයක් ගැන හොයා බලලා, අර 15% කොහොම හරි ඉතුරු කරන්න ක්‍රමයක් හදාගන්න එක. ඉතුරු කළාට මදි. ඒක ආයෝජනය කරන්නත් ඕන නුවණැති විදියට.

 

මේ දේවල් වලට අමතරව කුස්සියේ වියදම් පාලනය වගේ හැමෝම දන්න ඒත් නොකරන සහ බැංකු ගිණුම් දෙකක් පවත්වා ගැනීම වගේ හැමෝම නොදන්න ඒත් කරන්න ලේසි උපක්‍රමත් පාවිච්චි කරන එක වටිනවා!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *