ලංකාවෙ අපි බහුලව පාවිච්චි කරන ඇට වර්ග නැත්නම් ධාන්‍ය වර්ග නිකම්ම නිකන් තම්බලා කනවට වඩා ඒවයින් රසයෙන් වෙනස් කෑම වර්ග හදන්න මීට කලින් ට්‍රයි කරලා තියනවද? ඔන්න එහෙනම් මේ රෙසිපි අයිඩියාස් ටිකත් අරගෙන ගුණ කෑම රසට හදලා කන්නකෝ.
1. කුරක්කන් කැඳ
පෙනහළු දුර්වල අයට, මාස 6 ඉක්මවූ දරුවන්ට ගුණදායක ආහාරයකි.
අවශ්‍ය ද්‍රව්‍ය
- කුරක්කන් කෝප්ප 1
- වතුර කෝප්ප 8
- පොල්කිරි කෝප්ප 2
- සුදුළූණු බික් 3-4
- ලුණු
- වතුර හා සුදුළූණු ලිපේ තියලා උතුරවා ගන්න. මේකට කුරක්කන් ටිකත් දාගන්න.
- හොඳට නටනකල් හැඳිගාන්න. දැන් පොල්කිරි හා ලුණු එකතු කරගන්න.
2. කඩල සුප්
අවශ්‍ය ද්‍රව්‍ය
- කඩල
- කැරට් අලයක්
- අල ගෙඩියක්
- ගම්මිරිස් හා ලුණු
- මුලින්ම රැයක් පෙඟෙන්නට දැමූ කඩල වතුර දමා තැම්බෙන්න තියන්න. කඩල බාගෙට තැම්බෙනකොට සුද්ද කර ගත් අල ගෙඩිය හා කැරට් අලය දමා අවශ්‍ය පරිදි ලුණු දමා හොඳින් තම්බා ගන්න.
- ඉන්පසු කැරට් සහ අල මේ වතුරෙන් බේරල ඉවතට ගන්න. කඩල ටික වෙනම බේරල අරන් බ්ලෙන්ඩ් කරගන්න.
- අඹරාගත් කඩල ටික කඩල තැම්බූ වතුර එකටම දමා මිශ්‍ර කරන්න.
- ඉවත් කරගත් අල හා කැරට් කෑලි කුඩා කෑලි වලට කපා ගෙන කඩල මිශ්‍රණයට දාගන්න. ලුණු හා ගම්මිරිස් එකතු කර රස බලන්න.
3. පැළ මුං තෙම්පරාදුව
අර්ශස්, කොලෙස්ටරෝල් වැනි ලෙඩරෝගවලට ගුණ දෙනවා මෙන්ම ශරීරයේ රතු රුධිරාණු මට්ටම වැඩි කරයි.
අවශ්‍ය ද්‍රව්‍ය
- පැළ කරගත් මුං ග්‍රෑම් 250
- ඉඟුරු සුදුළූණු පේස්ට් එක
- කපාගත් ළූණු
- කපාගත් අමුමිරිස්
- ගම්මිරිස් කුඩු
- බටර් තේ හැන්දක් සහ ඔලිව් තෙල් තේ හැන්දක්
- ලුණු
- සෝයා සෝස්
- පැළ මුං ටික වතුර යන්තම් ටිකක් දාලා තැම්බෙන්න තියන්න.
- වෙනම පෑන් එකක බටර් තේ හැන්දක් රත්වෙන්න තියල ඒකට ඔලිව් තෙල් හැර අනෙක් සියල්ලම එකතු කරල තෙම්පරාදු කරගන්න. මේකට හොඳින් තැම්බුන පැළ මුං එකතු කරල ඔලිව් තෙල් උඩින් දාල කලවම් කරගන්න.
4. කොල්ලු කැඳ
අවශ්‍ය ද්‍රව්‍ය
- කොල්ලු ඇට ග්‍රෑම් 50
- හාල් මිටක් පමණ
- මිටිකිරි කෝප්ප 1
- දියකිරි කෝප්ප 2
- කොල්ලු ටික ප්‍රෙශර් කුකර් එකේ තම්බ ගන්න.
- හාල් ටික හොඳට බෙරි වෙන්න උයාගන්න. කොල්ලු හා බත් වෙන වෙනම බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ දෙක එකතු කරලා උණු වතුර ටිකක් දාලා ලිපේ තියන්න.
- රස අනුව ලුණු දාගන්න. විනාඩි දෙක තුනක් වගේ තැම්බුනාම මිටිකිරි හා දියකිරි එකතු කරගන්න. දැන් හොඳට නටනකක් හැඳිගාගෙන ලිප ඕෆ් කරන්න.
5. කව්පි මැල්ලුම්
අවශ්‍ය ද්‍රව්‍ය
- කව්පි ග්‍රෑම් 200
- ගාගත් පොල් කෝප්ප 1
- සුදුළූණු බික් 3
- අබ
- ගම්මිරිස් කුඩු
- චොප්කරගත් රතුළූණු
- චොප්කරගත් අමුමිරිස්
- රම්පේ/ කරපිංචා
- කෑලිමිරිස් තේ හැඳි කාලක්
- කහකුඩු තේ හැඳි කාලක්
- ලුණු
- තුනපහ කුඩු තේ හැඳි 1
- රැයක් පෙඟෙන්න දාපු කව්පි සෝදලා අරන් තැම්බෙන්න තියන්න. තැම්බිලා වතර ටිකක් ඉතිරි වෙලා තියෙද්දි ඒකට පොල්, ළූණු, කරපිංචා, රම්පේ, තුනපහ කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, කෑලි මිරිස්, අමුමිරිස් සහ ලුණු එකට අඹරල දාගන්න.
- දැන් හොඳට කලවම් කරලා හිඳෙන්න තියන්න. වෙන භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. අබ පුපුරනකොට චොප්කරගත් සුදුළූණු දාගන්න. අන්තිමට කව්පි පොල් මිශ්‍රණය දාලා කලවම් කරලා ගන්න.
6. මෙනේරි කැඳ
මුත්‍රා ආසාදන, මුත්‍රා ගල් වලට සුවිශේෂී වූ පානයකි.
අවශ්‍ය ද්‍රව්‍ය
- මෙනේරි ඇට මේස හැඳි 4
- මිටිකිරි කෝප්ප 1
- ලුණු
- මෙනේරි ටික සෝදලා අරන් වතුර දාලා තැම්බෙන්න තියන්න.
- තැම්බෙනකොට මෙනේරි ඇට පිපිලා වගේ එනවා. දැන් ලුණු දාලා මිටිකිරි ටිකත් දාලා උතුරවලා ගන්න.
7. ඕලුහාල් බත්
දියවැඩියා රෝගීන්ට කියාපු ආහාරයකි
අවශ්‍ය ද්‍රව්‍ය
- ඕලු ඇට ග්‍රෑම් 300
- අවශ්‍ය පමණට වතුර
- ලුණු
- ඕලු ඇට හොඳට සෝදලා ගරලා ගන්න.
- මේකට වතුර කෝප්ප 2ක් වගේ දාලා ලිපේ තියන්න.
- කැමති නම් වෙනත් කැකුළු හාල් වර්ගෙකුත් කලවම් කරලම උයාගන්න පුළුවන්. පැය 1/2ක්වත් හරියට තැම්බෙන්න උයාගන්න ඕනේ.
Leave a Reply