ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 1 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 2 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 3 කොටස
ජනප්‍රියත්වයේ වැජඹෙමින් සිට අතුරුදහන් වූ ලංකාවේ නිළියෝ – 4 කොටස
අදත් ලයිෆි මේ ඉඩකඩ වෙන් වෙන්නේ ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඉඳලා මේ වෙනකොට වැඩිපුර අපිට අහන්න දකින්න නොලැබෙන නිළියන් ගැන. හැබැයි මේ ලිපි මාලාවේ හතරවෙනි කොටස වගේම මේ කොටසත් වෙන් වෙන්නේ අපිට පෙර පරම්පරාවේ නිළියන් කීප දෙනෙක් වෙනුවෙනුයි.
1. කාන්ති ලංකා
කාන්ති ලංකා සිනමාවට පිවිසෙන්නේ “රෝමියෝ ජුලියට් කතාවක්” චිත්‍රපටියෙන්. එහි ඇය රඟපාන්නේ ප්‍රධාන චරිතය නම් නෙමෙයි. “ප්‍රියංගා” චිත්‍රපටිය ඇය වගේම විජය කුමාරතුංගත් ප්‍රධාන චරිත රඟපෑ පළවෙනි චිත්‍රපටය බවට පත් වෙනවා. රිදී තිරයේ විජය කුමාරතුංගගේ පළවෙනි පෙම්වතිය බවට පත්වෙන්නේ කාන්ති ලංකා.
නමුත් ඇයට වාසනාව ගෙනෙන්නේ ඇගේ දෙවැනි චිත්‍රපටියයි. ඒ චිත්‍රපටිය තමයි “සුජීවා”. මේ සමගම අසීමිත ජනප්‍රියත්වයක් ලබා ගන්න ඇය “සිතිජය”,”දයාබර නිලූ” වැනි චිත්‍රපටි කීපයක රඟපෑමට එක් වෙනවා.විවාහයත් සමග සිනමාවෙන් ඇය හදිසියේ සමු ගන්නවා. මේ නිසා ඇය රඟපාමින් සිටි “සූකිරි කෙල්ල”, “තුෂාරා” වැනි චිත්‍රපටි කීපයකට වෙනත් විකල්ප නිළියන් සොයා ගැනීමට සිද්ධ වෙනවා. දිගු කාලයක් නිහඬව සිටීමෙන් අනතුරුව “ජීවිතය සුන්දරයි”, “සෙනසුරු මාරුව”, “වරාමලී” වැනි ටෙලිනාට්‍ය කිහිපයකට එක්වුණත් මෑතකදී නම් ඇයව ටෙලි නාට්‍යයකින් දැකබලා ගැනීමට අපිට අවස්ථාවක් ලැබුණේ නෑ.
2. සුජාතා පරමනාදන්
සුජාතා පරමනාදන් සිනමාවට පිවිසෙන්නේ “වරද කාගෙද” චිත්‍රපටියෙන්. ඉන්පසුව ඇය “සැඩ සුළං” වැනි චිත්‍රපටි කීපයක රඟපෑවත් ඇය තමන්ගේ චිත්‍රපට ජීවිතයේ සංධිස්ථානය විදිහට සලකන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කරපු “දෙලොවක් අතර” චිත්‍රපටයේ සහ “රන්සළු” චිත්‍රපටයේ රඟපෑමට ලැබීමයි. 1956 වර්ෂයේ ලංකාදීප පත්‍රය මගින් පවත්වනු ලැබූ පංච කල්‍යාණී තරගයේ තෙවන ස්ථානය ලබා ගැනීමට ඇය සමත් වුණා. ඇය කියන විදිහට ඒ තරගය තුළදී තමන් විවාහක බව නොසඟවා ප්‍රකාශ කිරීම නිසා තරගය තුළ යම් අවාසි සහගත තත්ත්වයක් ඇයට ඇති වුණාලු. ඉන්පසුව ඇය ටෙලි නාට්‍ය කීපයකට සම්බන්ධ වුණත් අද වෙනකොට ඇයව අපිට දකින්නට ලැබෙන්නේ වෙළඳ දැන්වීම් වලින්. බොහෝ වෙළෙඳ දැන්වීම්වල මිත්තණියගේ චරිතය නිරූපණය කිරීමට ඇයට අවස්ථාව ලැබිලා තියෙනවා.
3. ඉන්දිරා ජොන්ක්ලාස්
ඇගේ මුල් නම ඉන්දිරා අබේසිංහ. ඩේවිඩ් ජෝන්ක්ලාස් සමඟ විවාහයෙන් පසුව තමයි ඇය ඉන්දිරා ජෝන්ක්ලාස් බවට පත් වෙන්නේ. ඇය සිංහල සිනමාව තුළ තමන්ගේ මුද්‍රාව කැපී පෙනෙන ආකාරයට තබන්න පටන් ගන්නේ “කළු දිය දහර” චිත්‍රපටයේ. නමුත් ඇය කියන විදියට ඊට පෙර ඇය චිත්‍රපටි දෙකකට වගේ සම්බන්ධ වෙලා තියෙනවා. ඇය ඉන්පසුව සම්බන්ධ වෙන්නේ ධර්මසේන පතිරාජගේ “පාර දිගේ” චිත්‍රපටියට. ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කරපු “බැද්දේගම” චිත්‍රපටයේ නැන්චොහාමිගේ චරිතය ඉන්පසුව ඇය රඟපානවා. “තුන්වෙනි යාමය” ඇය සම්බන්ධ වුණු අවසාන චිත්‍රපටය. බොහෝ විචාරකයන් පවසන්නේ ඇගේ චිත්‍රපටි ජීවිතයේ උපරිම අවස්ථාව තුන්වෙනි යාමය කියලා. තුන්වෙනි යාමයෙන් පස්සේ විදේශගතවීම නිසා ඇගේ දක්ෂතාව සිංහල සිනමාවට ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරිලා යනවා.
4. ශ්‍යාමා ආනන්ද
එම්.එස් ආනන්ද කියන නම ලෙස්ටර් ජේම්ස් පීරිස් සහ සුමිත්‍රා පීරිස්ගේ චිත්‍රපටි සමග එකට බැඳෙන නමක්. ඒ ඔවුන් දෙදෙනාගේ බොහෝ චිත්‍රපටවල කැමරා අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ එම්. එස් ආනන්ද වන නිසා. පසු කලෙක චිත්‍රපටි අධ්යක්ෂණයට සහ නිෂ්පාදනයට පිවිසෙන ආනන්ද විසින් සිනමාව සඳහා තමන්ගේ දියණිය වන ශ්‍යාමා ආනන්දව හඳුන්වා දෙනවා. ඒ “ප්‍රවේශම්වන්න” චිත්‍රපටිය තුළින්. ඉන් පසුව ඇය අතිශය ජනප්‍රියත්වයට පත් වෙන්නේ සිංහල සිනමාවේ සදාතනික මං සලකුණක් වන “මගේ නංගී ශ්‍යාමා”, “චණ්ඩි ශ්‍යාමා”, “බේබි ශ්‍යාමා”, “හෙලෝ ශ්‍යාමා”, ” මම බය නෑ ශ්‍යාමා” යන ශ්‍යාමා චිත්‍රපටි පෙළේ රඟපෑම නිසා. “ගැහැනු ළමයි” චිත්‍රපටයේදී පද්මිණි බවට පත්වෙන්නේ ද ඇයයි. විවාහයෙන් පසුව ඇයත් සිනමාවට සමු දී කැනඩාවේ පදිංචියට ගියා.
5. ජෙනිටා සමරවීර
ජෙනීටා සමරවීර සැලකෙන්නේ සිංහල සිනමාවේ සුරූපීතම නිළියක් විදිහට. ඇය සහ තිස්ස විජේසුරේන්ද්‍ර සුසංයෝගය බොහෝ චිත්‍රපටය ජනප්‍රිය වීමට සුවිශේෂී සාධකයක් බවට පත් වුණා. ජෙනීටා තමන්ගේ රංගන ජීවිතය ආරම්භ කරන්නේ “සුරේඛා” චිත්‍රපටයෙන්. ඉන්පසුව ඇය චිත්‍රපටි තිහකට පමණ රංගනයෙන් දායකත්වය ලබා දුන්නා. ඒ අතරින් “යකඩයා” චිත්‍රපටයේ ගාමිණී ෆොන්සේකා ගේ බිරිඳ ලෙස සිදුකළ රඟපෑමත් “ගැහැනු ළමයි” චිත්‍රපටියේ සෝමාගේ චරිතය නිරූපණය කරමින් ඇය සිදුකළ රඟපෑමත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා.
6. අග්‍රා සජීවනී
නීල් රූපසිංහ මහතාගේ “හතර දෙනාම සූරයෝ” චිත්‍රපටයෙන් නවක නිළියක් සිංහල සිනමාවේ කලඑළි බහිනවා. ඇය තමයි අග්‍රා සජීවනී. ඉන් පසු ඇය චිත්‍රපට කීපයක් සඳහා තම රංගන දායකත්වය ලබා දෙනවා. ලස්සන කෙල්ල චිත්‍රපටියේදී ඇය රඟ පෑවේ ප්‍රධාන චරිතය නොවුණත් එහි ප්‍රේක්ෂකයාට මතක හිටින රංගනයක් ඇය විසින් ඉදිරිපත් කරනවා. චිත්‍රපටි නිෂ්පාදන කාර්යයටත් අතගහන ඇය “සුගන්ධී” චිත්‍රපටය නිෂ්පාදනය කරමින් එහි ද්විත්ව රංගනයට එකතු වනවා වගේම එච්. ආර් ජෝතිපාල සමඟ යුග ගීත දෙකකුත් ගායනා කරනවා.
7. අයේෂා වීරකෝන්
අයේෂා වීරකෝන් අද නිළියක් විදිහට නොවුණත් පුවත්පත් කලාවේදිනියක් විදියට ඉංග්‍රීසි පාඨක ජනතාව අතර අදටත් ජනප්‍රියයි. ඒ ග්වෙන් හේරත් කියන නමින්. ඇය තමන්ගේ සිනමා ගමන ආරම්භ කරන්නේ ප්‍රේම තරගය චිත්‍රපටයේ රඟපෑමෙන්.ප්‍රේම තරගය සඳහා ඇයව තෝරා ගැනීමට හේතු වන්නේ ඇය රූ රැජින තරගයක තෙවන ස්ථානය දිනා ගැනීමෙන් පසුව පුවත්පතක පළවූ ඡායාරූපයක්. ඉන්පසුව ඇය ජීවිත සටන, සුකුමලී සහ සිහිනය යන චිත්‍රපටවල රඟපානවා. පසු කලෙක අමාත්‍යවරයෙකු බවට පත් වූ හැරල්ඩ් හේරත් සමග විවාහ දිවියට එළඹෙන ඇය තමන්ගේ සිනමා ගමනට සමුදීලා පෑන අතට ගන්නවා.
එහෙමනම් වෙනදා වගේම මේ ආටිකල් එක ෂෙයාර් කරන ගමන් ඔබේ අදහස් පළ කරන්නත් අමතක කරන්න එපා .
Leave a Reply