2020 වසර ආරම්භයේ ඉඳලම ජනවාරි මාසෙ පුරාවටම අපිට අහන්න ලැබුනෙනම් ඒ තරම් සුභදායක දේවල් නෙමෙයි. අන්තිමේ ජනවාරි මාසෙ ඉවර වුණෙත් තාමත් හරියට ප්‍රතිකාරයක් හොයාගෙන නැති සීඝ්‍රයෙන් පැතිරිලා යන දරුණු කොරෝනා වෛරසයත් එක්කමයි. අපේ රටට තවමත් ඒහැටි බලපෑමක් නැතත් මේ වෙද්දි මුළු ලෝකෙම බය කරන්න මේ වෛරසය සමත් වෙලා තියෙනව. චීනයෙන් පටන් අරන් ආසියාවෙ රටවල් වගේම ඇමරිකාව, ප්‍රංශය, ඉතාලිය වගේ යුරෝපීය රටවල් පවා වෛරසය විසින් ආක්‍රමණය කරල. මේ දරුණු වෛරසයෙන් අපේ මේ පුංචි රට ආරක්ෂා වේවා කියා එකත් එක්කම වෛරසය ආසාදනය වෙලා ඉන්න සියලුම දෙනා ඉක්මනින් සුවවෙලා මේ වෛරසය ලෝකයෙන් තුරන් වේවා කියන එක තමයි අපේ නිරන්තර ප්‍රාර්ථනාව.
ඒ කොහොම වෙතත් මේ කියන්න යන්නෙ කොරෝනා ගැන තනි විස්තරයක් නම් නෙමෙයි. කොරෝනාත් ඇතුළුව එදා මෙදාතුර ලෝකයට බලපාපු, තවමත් බලපාන මරණීය වෛරස් කීපයක් ගැනයි. මේ හුඟක් නම් අහල පුරුදු උණාට විස්තර දන්නෙ නෑනෙ. එහෙනම් කියවමුකො මේ වෛරස් ගැන විස්තර ඇතුව.
1. Rabies
Rabies කියන්නෙ අපි හැමෝම අහල තියෙන ජලභීතිකා කියන රෝගය. මේක බොහෝවිට මරණය කැඳවන තරමට දරුණු වෛරසයක්. වෛරසය ශරීරයට ඇතුලු වෙන්නෙ ආසාදිත සත්වයෙක් හපාකෑම මඟින්. නැත්තම් ආසාදිත සතෙකුගේ කෙළ ඇස්, නාසය හෝ මුඛය හරහා ශරීරයට ඇතුල් වීම මඟින්. වෛරසය ශරීරයට අතුලත් වුන අවස්ථාවේ ඉඳන් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න සාමාන්‍යයෙන් මාස එකේ සිට මාස තුන දක්වා කාලයක් ගතවෙන්න පුළුවන්. මූලික රෝග ලක්ෂණ විදිහට උණ ගතිය ඇතිවෙන්න පුළුවන්. රෝගය උත්සන්න වෙද්දි දරුණු හැසිරීම්, ජලයට දක්වන බිය, ශරිරයේ කොටස් සෙලවීමට ඇති අපහසුතාවය වගේ ලක්ෂණ ඇතිවෙනවා. රෝගය ඇතිවීම වළක්වාගන්න පුළුවන් වෙන්නේ සතුන්ට හරි විදිහට ජලභීතිකා එන්නත ලබාදීම මඟිනුයි.
2. HIV
HIV නැත්තම් Human Immunodeficiency Virus කියන්නෙත් අපිට හුඟක් අහල පුරුදු වෛරසයක්. මේ වෛරසයෙන් මූලිකවම වෙන්නෙ ප්‍රතිශක්තීකරණ පද්ධතියට හානිකරන එක. ඒ මඟින් ශරීරයේ විවිධ ආසාදන තත්ත්වයන් ඇතිවෙලා මරණයට පත්වෙන්න පුළුවන්. ලේ, මව්කිරි, ශුක්‍රාණු සහ යෝනි හෝ ගුදමාර්ගය ආශ්‍රිත තරලයන් හරහා තමයි වෛරසය ශරීරගත වෙන්න පුළුවන්. මේ වෛරසය දැනට කිසිම ප්‍රතිකාරයක් හොයාගෙන නැතිවුණත් හරිවිදිහට ප්‍රතිකාර කිරීම මඟින් රෝගය මුලුමනින්ම පාලනය කරල තියාගන්න පුළුවන් වගේම සාමාන්‍ය පුද්ගලයෙකුගේ ආයුෂ කාලයම බලාපොරොත්තු වෙන්නත් පුළුවන්. AIDS කියන්නෙ මේ රෝගයේ දරුණුතම තත්ත්වයක්. HIV වලට නියමාකාරයෙ ප්‍රතිකාර නොකිරීම නිසා ඒ රෝගය ප්‍රතිශක්තීකරණ පද්ධතිය හුඟාක්ම දුර්වල වෙන AIDS තත්ත්වය දක්වා වර්ධනය වෙන්න පුළුවන්.
3. Dengue
ඩෙංගු කියන්නෙත් අපිට නිතර අහල පුරුදු රෝගයක්. මේ ඩෙංගු වෛරසය ශරීරගත වෙන්නෙ මදුරුවන් මාර්ගයෙන්. සාමාන්‍ය ඩෙංගු උණ රෝගයේ ලක්ෂණ වෙන්නෙ උණ, හිසරදය, වමනය, සන්ධි වේදනා වගේ සාමාන්‍ය රෝග ලක්ෂණ. මේ රෝගය ප්‍රතිකාර මඟින් සුව කරන්න පුළුවන්. ඒත් ඩෙංගු රක්තපාත කියන තත්ත්වය ඇති උනෝතින් නම් ටිකක් බරපතලයි. රුධිරයේ Platelet අගය පහත වැටීම අභ්‍යන්තර රුධිර වහනය ඔස්සේ මරණය පවා ඇතිවෙන්න පුළුවන්. වෛරසය ශරීරගත වෙලා දින තුනත් දාහතරත් අතර තමයි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නෙ. ඩෙංගු රෝගය සඳහා ප්‍රතිශක්තිකරණ එන්නතක් හඳුන්වල දීල තියෙනව උනත් ඒක හැම රටකම ලබාගන්න නැහැ. රෝගය ඇති නොවෙන්න අවට පරිසරය පිරිසිදුව මදුරුවන්ගෙන් තොරව තියාගන්න එක තමයි හොඳම විදිහ.
4. Rotavirus
Rotavirus කියන්නේ ස්පර්ෂයෙන් බෝවෙන රෝග තත්ත්වයක්. මේ වෛරසය ශරීරගත වීමෙන් කුඩා ළමුන් තුල පාචන තත්ත්වයක් ඇතිවීම තමයි වෙන්නෙ. රෝගයේ මූලික අදියරේදී දියර වර්ග පානයට ලබාදීම මඟින් තත්ත්වය පාලනය කරන්න පුළුවන් වුණත් අධික විජලන තත්ත්වයක් ඇතිවුණ අවස්ථාවක අනිවාර්‍යෙන්ම රෝහල් ගතකරල ප්‍රතිකාර ලබාගන්න අවශ්‍ය වෙනවා. මේ වෛරසයේ දරුණුම තත්ත්වයක් තමා මේ විජලන තත්ත්වය. ඒ වගේම දියුණු වෙමින් පවතින රටවල වාර්ෂිකව ළමා මරණ 215,000ක් වගේ අගයක් දක්වා ඇතිවෙන්න මේ වෛරසය හේතු වෙනවා. ළදරුවාට මාස 2ක් සම්පූර්ණ වුනාම ලබාදෙන එන්නතක් මඟින් මේ රෝගය වළක්වා ගන්න පුළුවන්.
5. ඉබෝලා
Ebola කියල කියන්නෙ ප්‍රධානවම අප්‍රිකානු රටවල් ආශ්‍රිතව පවතින මාරාන්තික වෛරසයක්. රෝගය මුලින්ම හඳුනාගන්නෙ 1976 වසරේ කොන්ගෝ රාජ්‍යයේ ඉබෝලා ගඟ ආශ්‍රිතව. ආසාදිත සත්වයන් මාර්ගයෙන් සහ ආසාදිතව මියගිය මිනිසුන් හෝ සත්වයන් මාර්ගයෙනුත් රෝගය බෝවෙන්න පුළුවන්. වෛරසය ශරීරගත වෙලා දින දෙකත් විසි එකත් අතර කාලය තුල රෝග ලක්ෂණ පෙන්වන්න පුළුවන්. මූලික රෝග ලක්ෂණ විදිහට උණ, සන්ධි වේදනා වගේ සාමාන්‍ය තත්ත්වයකුත් රෝගය උත්සන්න වීමේදී පාචන තත්ත්වයක් දක්වාත් වර්ධනය වෙනවා.
6. Marburg
මේ වෛරසය මුලින්ම සොයාගැනෙන්නේ 1967 වර්ෂයේ ජර්මනියේ පරීක්ෂණාගාර සේවකයන් පිරිසක් අතරින්. උග්ඩාවෙන් ගෙන්වපු ආසාදනය වුන වඳුරන්ගෙන් තමයි ඔවුන්ට මේ රෝගය වැළඳෙන්නෙ. අධික උණ, අභ්‍යන්තර රුධිර වහනය ඔස්සේ ශරීර අවයව අක්‍රීය වෙලා මරණය ඇතිවෙන්න පුළුවන් දරුණු වෛරසයක් මේ. මුල්ම අවස්ථාවේදී වෛරසය වැළඳුන පිරිසගෙන් 25%ක පමණක් මරණ ප්‍රතිශතයක් පෙන්නුවත් දෙවන තුන්වන අවස්ථා වලදී මරණ ප්‍රතිශතය අධිකව වෙනවා.
7. කොරෝනා
කොරෝනා කියන්නෙ ඉතින් මේ දවස්වල නිතර දෙවේලේ අපිට ඇහෙන අපි බොහොම අවධානයෙන් අහන් ඉන්න නමක්නේ. මේ කොරෝනා රෝගය ආරම්භ වෙන්නෙ චීනයෙන්. ආහාරයට ගත්ත සර්පයන් මාර්ගයෙන් රෝගය පැතිරීම ආරම්භ උනා කියනව වගේම මේ ගැන වෙනස්ම මතවාදත් එහෙන් මෙහෙන් ඇහෙන්න තියෙනව. කොහොම උණත් මේ වෛරසයට හරි ප්‍රතිකාරයක් හොයාගන්න තවමත් කිසිම රටක් සමත්වෙලා නැහැ. මුලදී ශ්වසනය මාර්ගයෙන් පැතිරෙන බවට සැක කළත් රෝගය පැතිරෙන විදිහ හරිම විදිහ ගැනත් තවම සොයාගැනීමක් කරල නැහැ. රෝග ලක්ෂණ විදිහටනම් දැක්වෙන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ හුස්ම ගැනීමේ අපහසුතා වගේ ලක්ෂණ.
Leave a Reply