ජොබ් එක කම්මැලි වෙලා නම්, ආයෙමත් ජොබ් එකට ආසාව ඇතිකරගන්න උපදෙස් මෙන්​න!

අපි හැමෝම ජීවත් වෙන්න ඕනනේ. ජීවත් වෙන්න නම් සල්ලි හොයාගන්න ඕන. සල්ලි හොයන්න නම් ජොබ් එකක් හරි ව්‍යාපාරයක් හරි කරන්න ඕන. සමහරු ඉන්නවා, ජොබ් එක විදියට තෝරගන්නේ තමන් කරන්න ආස කරන දෙයක්. ඒ විදියේ අය හරිම වාසනාවන්තයි. හැබැයි තවත් සමහරු ඉන්නවා, ඒ අයට ආස කරන දේ මොකක් වුනත් ඒක පැත්තකින් තියලා තමන්ට ගැලපෙන හරි තමන්ට ලැබෙන හරි ජොබ් එක තෝරගන්න වෙනවා. ඊට පස්සේ ඉතින් කාලයක් යනකොට ඒකට හුරු වෙනවා.

හැබැයි ආස ජොබ් එක හෝ ආස නැති ජොබ් එක හරි මොකක් කළත්, සාමාන්‍යයෙන් කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් තමයි, හැමදාම එකම ජොබ් එක, එක විදියටම කරගෙන යනකොට ඒක එපා වෙලා, කම්මැලි වෙලා යන එක. එහෙම ජොබ් එක කම්මැලි වෙනවා කියන්නේ, ජොබ් එකේ කාර්යක්ෂමතාවයත් පහළ බහිනවා කියන එක. ආන්න ඒ නිසා තමයි ජොබ් එක කම්මැලි වේගෙන එනකොට, අපි ඒකට සුදුසු ක්‍රියාමාර්ග ගන්න වුවමනා වෙන්නේ.

 

1. හැමදාමත් ඔෆිස් යන්නේ කොහොමද?

මේක සරල ප්‍රශ්නයක් කියලා හිතුවට, ඇත්තටම ඔෆිස් ජීවිතේ බෝරින් වෙන්න මෙතනත් හේතුවක් තියෙනවා. හිතන්න හැමදාමත් බස් එකේ සාඩින් වගේ පැක් වෙලා, ට්‍රැෆික් එකේ පැය ගණන් ගත කරගෙන ඔෆිස් ගිහින් ගෙදර එනවා කියලා. මේක හැමදාම වෙන කොට අපේ මානසික සෞඛ්‍යය කොයි වගේ තත්ත්වයක තියෙයිද? ඉතින් එතකොට ඔෆිස් යනවා කියන එක මරන්න වගේ වැඩක් වෙන එක පුදුමයක්ද? ඒක එහෙම වෙනකොට ජොබ් එක කියන වචනෙම ඇහුණත් ‘අයියෝ බෑ’ කියලා හිතෙන එක පුදුමයක්ද? අන්න ඒ නිසා ජොබ් එක කම්මැලි වීම වෙනස් කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි යන එන විදිය වෙනස් කරන එක. එක්කෝ පොතක් කියව කියවා යන්න පුළුවන් විදියට ඔෆිස් ට්‍රාන්ස්පෝට් එකකට සෙට් වීම. එහෙම සල්ලි වියදම් කරන්න බැරි නම්, ගැන්සියක් එක්ක සෙට් වෙලා කියෝ කියෝ යන්න පුළුවන් විදියට කෝච්චියේ යන්න සෙට් වීම. එහෙමත් බැරි නම්, අඩුම ගාණේ ටිකක් කලින් නැගිටලා ඇවිත් බස් එකේ සීට් එකක් අල්ලගෙන වාඩිවෙලා යන්න පුළුවන් විදියේ ක්‍රමයක් හදාගැනීම.

 

2. ප්‍රමාණවත් නින්දක්

සමහරු ඉන්නවා, ඒ අයට කොයි තරම් ඕන වුනත් ජොබ් එක ඔෆිස් එකේ තියලා ගෙදර ඇවිත් නිදහසේ ඉන්න බැහැ. ගොඩක් වෙලාවට ඒකට හේතුව වෙන්නේ එක්කෝ ජොබ් එක හරිම ඩිමාන්ඩින් වීම නිසා. එහෙම නැතිනම් තමුන්ට වැඩ රාජකාරි තොගයක් පැවරීම නිසා. ආන්න එහෙම වෙලාවකදී ගෙදර ඇවිල්ලත් හරි හමන් නින්දක් නැතුව ඔෆිස් වැඩ කරනකොට, හෙමිහිට අපිට ජොබ් එක එපා වෙනවා. ජොබ් එක විතරක් නෙවෙයි, අපිට ජීවිතෙත් එපා වෙනවා. ඉතින් එහෙම වෙන එක හරිම අප්සට් නිසා තමයි අපි කියන්නේ, ජොබ් එක කරන්න කලින් ප්‍රමාණවත් නින්දක් ලබාගන්න කියලා. හරියට රාත්‍රියට නින්දට ගිහින්, උදේ ඇහැරෙන විදියට තමන්ගේ ජෛව ඔරලෝසුව පුරුදු කරගන්න ඕන. ඒ එක්කම පුළුවන් තරම් ඔෆිස් වැඩ ගෙදර ගේන්නේ නැතුව ඉන්න පුළුවන් විදියට වාතාවරණය හදාගන්න ඕන.

 

3. වැඩ වැඩියි නම් වැඩ අඩු කරගමු

වැඩ වැඩි වෙනවා කියන්නේ සමහරුන්ට ආතල් එකක්. ඔව්, ඔය වැඩටම ඇලුණු හාදයෝ ඉන්නවා, තමන්ට වැඩ වැඩි වෙනකොට හරි සතුටු වෙන. හැබැයි යතාර්ථය තමයි ඔය සතුට වැඩිකාලයක් පවතින්නේ නැහැයි කියන එක. වැඩ වැඩි වෙනකොට, රස්සාව වෙනුවෙන් යොදන්න වෙන කාලය වැඩි වෙනවා. හැබැයි ඉතින් එහෙමයි කියලා දවසට තියෙන පැය ගාණ වැඩි වෙන්නෙ නැහැනේ. ආන්න එතකොට තමන්ගේ පුද්ගලික වැඩ කටයුතු වලට, විනෝද කටයුතු වලට, විවේකයට තියෙන කාලය තමයි අර වැඩි වැඩ ඉවර කරන්න ගත වෙන්නේ. ආන්න ඒ නිසා කරුණාකරලා, තමන්ගේ ජොබ් එකෙන් වැඩිපුර වැඩ තමන්ගේ කරට පැටවෙනවා නම්, අදාළ අංශ එක්ක හරි ප්‍රධානියෝ එක්ක හරි කතාබහ කරලා තමන්ට දරන්න පුළුවන් වැඩ ප්‍රමාණයක් විතරක් කරට ගන්න ඕන.

හැබැයි මේකේ මෙහෙම පැත්තකුත් තියෙනවා. ගොඩක් දෙනෙක්ට වෙන්නේ ඇත්තටම වැඩියෙන් වැඩ කරපිට පැටවීම නෙවෙයි. තමන්ගේ වැඩ කළමනාකරණයක් හෝ කාල කළමනාකරණයක් නැතිවීම නිසා වැඩ ගොඩ වීම. ආන්න එහෙම වෙලාවක වැඩ අඩු කරගෙන හරියන්නෙ නෑ. තමන්ගේ වෘත්තිය ජීවිතයේ කළමනාකරණය ඉගෙන ගන්න වෙනවා.

 

4. පොමොදෝරෝ ටෙක්නික්

මේක අපි කලිනුත් වෙනත් ආටිකල් වල කතා කරලා තියෙන දෙයක්. ඇත්තටම යකා බැඳගෙන වගේ එක දිගට වැඩ කරනවට වඩා, යම් පිළිවෙලක් ඇතුව කඩින් කඩ වැඩ කරන එක වඩාත් ඵලදායී කියලා ඔය විශේෂඥයෝ කියනවා. ආන්න ඒ නිසා මේ පොමොදෝරෝ ටෙක්නික් එක නිකමට හරි පිළිපැදලා බලන එක හොඳයි කියලා තමයි අපි කියන්නේ. කොහොමද වැඩේ කරන්නේ? සරලයි. විනාඩි විසිපහක් වැඩ කරනවා. විනාඩි පහක බ්‍රේක් එකක් අරගෙන, පොඩ්ඩක් අතේ පයේ හිරි ඇරලා, රවුමක් ගහලා එනවා. ආයෙමත් විනාඩි විසිපහක් වැඩ කරනවා. ආයෙමත් විනාඩි පහක බ්‍රේක් එකක් ගන්නවා. ඔය විදියට හතර වතාවක්, ඒ කියන්නේ පැය දෙකක් එක දිගට වැඩ කළාට පස්සේ පැය බාගෙක විතර දීර්ඝ බ්‍රේක් එකක් ගන්නවා. ඕක අපිට අනුගමනය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පුටුවේ වාඩි වෙලා කරන්න තියෙන වැඩ ඉවර කරගන්න.

රස්සාව කම්මැලි වෙලා නම්, මේ පොමොදෝරෝ ක්‍රමය අනුගමනය කරලා බලන්න. ගොඩක් දුරට වැඩේ හරියනවා.

 

5. ඇයි ඇත්තටම මම මේ ජොබ් එක කරන්නේ?

මේක කවුරුවත් හිතන්න යොමුවෙන්නේ නැති කාරණාවක්. ගොඩක් දෙනෙක්ට ජොබ් එක කම්මැලි වෙන්නේ, එපා වෙන්නේ මේ ගැන නොහිතන නිසා. මොකද්ද? තමන් ඇත්තටම මේ ජොබ් එක කරන්න හේතුව සහ තමන් මේ ජොබ් එක කරන එකෙන් මොනවද සිද්ධ වෙන්නේ, සමාජයට මොනවද ලැබෙන්නේ කියන එක නොදැනීම. නිකමට හිතලා බලන්න. අපි හැමෝම මේ සමාජය කියන මහා යන්ත්‍රයේ තියෙන පුංචි පුංචි දැතිරෝද. අපි හැමෝම දැනුවත්වම හෝ නොදැනුවත්වම මේ යන්ත්‍රය ඉදිරියට ගෙනියන්න දායකත්වයක් ලබාදෙනවා. අපි කරන්නේ කාර්යාලයක අතුගාන ජොබ් එක වුනත්, අපි ඒකෙන් සමාජයට යම් කිසි මෙහෙවරක් කරනවා. ආන්න ඒ අපෙන් ඉෂ්ට වෙන දේ මොකක්ද කියලා දැනුවත් වෙන එක, ඒ ගැන සවිඥාණික වෙන එක, තමන්ගේ ජොබ් එකේ සතුට හොයාගන්න හොඳ මාර්ගයක්!

 

6. තමන්ට කියලා හොඳ පුද්ගලික ජීවිතයක්

සමහරු ඉන්නවා රස්සාවට යනවා, ගෙදර එනවා, නිදාගන්නවා, ආයෙ රස්සාවට යනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් නොකරන. ඉතින් එහෙම රූටින් එකකට හුරු වුණු මනුස්සයෙක්ගේ ජීවිතේම බෝරින් වෙලා යනවා කියන එක පුදුමයක් නෙවෙයි. ආන්න ඒ නිසා, රස්සාව බෝරින් වෙලා නම් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ රස්සාවේ නෙවෙයි වෙන්න පුළුවන්. ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතේ රසවත් නොවීමේ වෙන්න පුළුවන්.

මේ ප්‍රශ්නය විසඳගන්න කරන්න තියෙන්නේ මුලින්ම තමන් කරන්න ආස දේවල් මොනවද කියලා හොයාගන්න එක. ඒවා එළිමහන් ක්‍රියාකාරකම් වෙන්න පුළුවන්. විනෝදාංශ වෙන්න පුළුවන්. දෙවෙනියට තමන් ඒ ආස දේවල් කරන්න පුද්ගලික කාලය වෙන් කරගන්න වෙනවා. තුන්වෙනුව අපිට පුළුවන් අපි ආස දේවල් කරන්න පටන් ගන්න. ඊට අමතරව ඉතින් ඉඳලා හිටලා හරි ෆිල්ම් එකක් බලන්න යෑම, ට්‍රිප් එකක් යෑම වගේ පොදුවේ ආස කරන දේවලුත් කරන එක හොඳයි. ඒ වගේම පෙම්වතෙක්ව, පෙම්වතියක්ව හොයාගෙන ආදරෙන් බැඳෙන එකත්, රස්සාවේ තියෙන බෝරින් බව නැතිකරන්න හොඳ ක්‍රමයක්.

 

7. බැරිමනම් ජොබ් එක මාරු කරමු

මේක ඇත්තටම අහපු ගමන් ලංකාවේ ගොඩක් අය බය වෙන කතන්දරයක්. ඔව්, ලංකාවේ ගොඩක් මිනිස්සු හුරු වෙලා ඉන්නේ එකම තැනක දීර්ඝ කාලයක් සේවය කරන්න. ඒකට ප්‍රධාන හේතුවක් තමයි රැකියා සුරක්ෂිත භාවය. ඒකේ වැරැද්දක් නැහැ, තමන් කරන්නේ තමන්ට කම්මැලි නැතුව කරන්න පුළුවන් රස්සාවක් නම්. හැබැයි අපි උඩින් කියපු හැමදේමත් කරලා, ඒත් ජොබ් එක තාමත් බෝරින් නම්, ඒකට හේතුව වෙන්නේ ජොබ් එක තමන්ට සෙට් වෙන්නෙ නැති එක තමයි. ඉතින් තිත්ත බේත් කනවා වගේ හරියන්නෙ නැති ජොබ් එකක් අමාරුවෙන් කර කර ඉන්නවට වඩා සාර්ථක විසඳුම තමයි, තමන්ට ගැලපෙන, තමන්ට ආසාවෙන් කරන්න පුළුවන් ජොබ් එකකට මාරු වෙන එක.

 

දැන් මේ අපි කිවුවේ, ජොබ් එක බෝරින් වෙලානම් පොදුවේ කරන්න පුළුවන් වෙනස්කම් කීපයක් ගැන. හැබැයි ජොබ් එක බෝරින් වෙලා නම්, වෙන ජොබ් එකකට යන්න වුවමනාවකුත් නැති නම්, අපිට ජොබ් එක ඇතුලේ කරන්න පුළුවන් වෙනස්කම් එහෙමත් තියෙනවා. ආන්න ඒවා ගැන අපි ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *