ප්‍රේමකීර්ති ද අල්විස් ගැන ඇත්ත සහ බොරු කතා

ප්‍රේමකීර්ති ද අල්විස් කියන්නෙ ජීවතුන් අතර සිටියදීම පුරාවෘත්තයක් බවට පත් වූ අසාමාන්‍ය පුද්ගලයෙක්. ඒ නිසාම ඔහු වටා විවිධ කතන්දර ගොඩ නැඟුණා. ඒ කතාවලට ඔහුගේ නිර්මාණ ජීවිතය වගේම පෞද්ගලික ජීවිතයත් එක සේ ඈඳා ගැනුණා. මේ නිසා අපි අද හිතුවා ප්‍රේමකීර්ති සහ ඔහුගේ නිර්මාණ කීපයක් ගැන ගොඩනැගිලා තියෙන යම් යම් කතන්දර ඇත්තද නැත්තද කියලා හොයලා බලන්න. හැබැයි අපි කොච්චර සාක්කි ඉදිරිපත් ක​ළත් ලංකාවේ ගොඩක් රසිකයෝ ඒ හිතලුවලට ප්‍රිය කරනවා කියලා අපි දන්නවා. 

 

1. හෙට දවසේ අප දෙදෙනා

ප්‍රියා සූරියසේන විසින් ගායනා කරනු ලබන මෙම ගීතය ගැන ලස්සන කතාවක් අපේ සමාජය තු​ළ පැතිරිලා තියෙනවා. ඒ තමයි ගීතයක් ලියාගන්න ප්‍රියා සූරියසේන ඉස්තරම් වර්ගයේ බීම වර්ගයක් අරගෙන ප්‍රේමකීර්තිව මුණගැසුනලු. ඒක හින්දාලු ප්‍රේමකීර්ති මෙහෙම ලිව්වේ. 

“හෙට දවසේ අප දෙදෙනා

අද වාගෙම හමුවිය යුතුවේ

අද දවසේ මවෙත ගෙනා

මිහිර හෙටත් ගෙන ආ යුතු වේ”

නමුත් ප්‍රියා සූරියසේන මහත්මයා පැහැදිලිවම මේ කතාව ප්‍රතික්ෂේප කරනවා.

ඔහු කියන විදිහට සිද්ධ වෙලා තියෙන්නේ ඔහු සහභාගි වූ සරල ගී වැඩසටහනකට ගීතයක් රචනා කරන්න කෙනෙක් ​හොයන්න ඔහු එල්මෝ ප්‍රනාන්දු මහත්තයාගේ සහය ලබාගෙන තියෙනවා. එල්මෝ ප්‍රනාන්දු තමයි ප්‍රේමකීර්ති ද අල්විස්ව ප්‍රියා සූරියසේනට හඳුන්වා දෙන්නේ. පළවෙනි දව​සෙ ඔය අපි කලින් සඳහන් කරපු ගී පද කොටස ලියලා පහුවෙනිදාට ගීතය සම්පූර්ණ කරලා දෙන්නම් කියලා ප්‍රියාට ප්‍රේමකීර්ති කියනවා. පහු වෙනිදා ගුවන් විදුලියට ගියාම තමයි ප්‍රියාට සම්පූර්ණ ගීතය ලැබෙන්නේ. ප්‍රියා කියන විදිහට මේ ගීතයට ඔය කියනවා වගේ මත්පැන් සම්බන්ධ වෙලා නෑ. අපි කියපු දේ ෂුවර් නෑ වගේ කියලා හිතෙනවා නම් ඔන්න ප්‍රියාගේ කටහඬින්ම සින්දුවයි කතාවයි දෙකම අහගන්න 

 

2. රත්තරං මැණික්‌ මුතු මොකටද ඒවා

ශ්‍රීමතී තිලකරත්න කියන්නේ තමන්ගේ හැකියාවට සාපේක්ෂව අපේ ක්ෂේත්‍රය තුළ ඉඩක් නොලැබුණු විශිෂ්ට ගණයේ ගායිකාවක්. එතුමිය ගායනා කරන “රත්තරං මැණික් මුතු මොකටද ඒවා” ගීතය රචනා කරන්න පාදක වෙච්ච සිදු වීමට විවිධ අය අතින් දාලා අලුත්ම කතාවක් හදලා තියනවා. ඒ කතාවේ හැටියට දවසක් ප්‍රේමකීර්ති ශ්‍රීමතී තිලකරත්න මහත්මියගේ සැමියා වුණු ප්‍රවී​ණ වාදන ශිල්පී මහින්ද තිලකරත්න මහත්තයට මධුවිතකට ආරාධනා කරනවා. මහින්ද තිලකරත්න මහත්තයා “අද මං ගාව සල්ලි නැහැ, තියෙන්නේ ශ්‍රීමතීගේ රත්තරන් බඩු බේරන්න තියන සල්ලි විතරයි” කියලා කියනවා. ප්‍රේමකීර්ති කියනවා “මං ගාවත් සල්ලි නැහැ. හැබැයි මට හෙට පඩි. අපි මේ සල්ලිවලින් අඩියක් ගහමු” කියලා. මහින්ද තිලකරත්න මහත්තයත් කැමති වෙනවා. ඊට පස්සේ රත්තරන් බඩු වෙනුවට එදාට ගෙදර ගෙනියන්න මේ ගී පදමාලාව ලියලා මහින්ද මහත්තයා අතේ ශ්‍රීමතී තිලකරත්න මහත්මියට යැව්වලු. නමුත් මහින්ද තිලකරත්න මහත්තයා නම් කියන්නේ වෙනමම කතාවක්. ආයතනයෙන් ලබා ගත්ත විවිධ ණය නිසා එතුමාගේ පඩිය ඒ ඒ වාරිකවලට කැපිලා කීයක්වත් අතට ඇවිල්ලා නෑ. තමන්ගේ බිරිඳට පඩි දවසටවත් කිසිම දෙයක් ගෙනියන්න වෙන්නේ නෑ කියලා හිතේ අමාරුවෙන් ඉද්දි ප්‍රේමකීර්ති ද අල්විස් අහනවා “මොකක්ද ප්‍රශ්නේ?” කියල. ප්‍රේමකීර්තිට විස්තර කිව්වට පස්සේ “ගණන් ගන්න එපා මචං අපි ශ්‍රීමතීට වෙනමම තෑග්ගක් දෙමු” කියලා, ඔය ගීතය ලියලා දෙනවා.

අපි දැන් සිංදුවයි ඇත්ත කතාවයි ශ්‍රීමතී තිලකරත්න මහත්මියගේ හඬින්ම අහල දැනගමු (මේ වීඩියෝවේ විසිනම වැනි විනාඩියේ ඉඳන් අහන්න)

 

3. මිනිසෙකු පිට නැගි අසරුවෙකි

මේ ගීතය ගැන බොහෝ දෙනෙක් දන්නේ ප්‍රේමකීර්ති ජාතික රූපවාහිනිය ඉස්සරහ රේස් කොළයක් තියාගෙන ඉන්න මනුස්සයෙක් දැකලා ලියපු පද වැළක් කියලා. හැබැයි මේක පිටිපස්සේ තව රස කතාවක් තියෙනවා. සුනිල් එදිරිසිංහ, ප්‍රේමකීර්ති ද අල්විස්ගෙන් ගීතයක් රචනා කරලා දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. නියමිත දවසේ ප්‍රේමකීර්තිව මුණගැහෙන්න ආපුවාම ප්‍රේමකීර්ති තමන්ගේ මිතුරන් එක්ක රූපවාහිනිය ගාව ගහක් යට මධුවිතක් එක්ක බර සාකච්ඡාවක්ලු. සුනිල් එදිරිසිංහව දැක්ක ගමන් “මචං සින්දුව නම් හරි, හැබැයි ඒක මං ලොකර් එකේ දාලා ආවා. උඹ පැය බාගෙකින් වරෙන්, මම ගිහිල්ලා සිංදුව‍ අරන් දෙන්නන්” කියල. හැබැයි ප්‍රේමකීර්ති කිව්වේ බොරුවක්. එතකොට ප්‍රේමකීර්ති සිංදුවක් ලියලා තිබ්බේ නෑ. ඒ අතරතුරේදි තමයි ප්‍රේමකීර්ති රේස් කොළයක් තියාගෙන ඉන්න පුද්ගලයෙකු දකින්​නෙ (සමහරු කියන්නේ ඒ දැක්කෙ ප්‍රකට සංගීතඥයෙක්​ව කියලා). කොහොම හරි ප්‍රේමකීර්ති මේ පද ටික එයා ගාව තිබ්බ කොළ කෑල්ලක ලියලා තියෙනවා. ඊට පස්සේ හරියටම පැය භාගෙකින් ආපු සුනිල්ව එක්කගෙන ගිහින් පැහැදිලි අත් අකුරින් මේ පදවැළ ලියලා දීලා තියෙනවා. පස්සෙ කාලෙක ප්‍රේමකීර්ති පත්තර වලටත් මේ කතාව කිව්වට සුනිල් එදිරිසිංහ නම් තමන්ව රැවටීමකට ලක් කරා කියන එක පත්තර වල පළ වෙනවාට එච්චර කැමැත්තක් දක්වලා නෑ.

 

 

4. තනි තරුවේ

මේ ගීතය ලියවෙන්නෙ මුහුදු වෙරළක දී. ප්‍රේමකීර්ති ද අල්විස්ට හැමදාම රත්නේ වුණු  වික්ටර් රත්නායක ඇතුළු වූ මිතුරන් පිරිසක් විනෝද ගමනක යෙදී සිටියදී ප්‍රේමකීර්ති මුහුදු වෙරළේ වැතිරිලා අහස දිහාට ඇස් යොමාන ඉද්දි අහසේ දිලිසෙන දීප්තිමත් තරුවක් දකිනවා. මේ තරුවට ප්‍රේම කීර්ති  ‘තනි තරුවේ” කියලා කෑ ගහනවා. එදා මුහුදු වෙරළේදී ප්‍රේමකීර්තිගේ හිතට නැගුණු පද වැළ තමයි මෙන්න මේ විදිහට අපිට අද ඇහෙන්නේ.

 

 

5. කන්ද කෙන්ද කරනු පිණිස 

මාලනී බුලත්සිංහල කියන්නේ අකාලයේ අප අතරින් සමුගෙන ගිය විශිෂ්ට ගායනවේදිනියක් වගේම මනුස්සකම් වලින් පිරුණු ශ්‍රේෂ්ඨ ගුරුවරියක්. එතුමිය කාලයක් ආනන්ද බාලිකා විද්‍යාලයේ සංගීත භාර ආචාර්යවරිය විදිහටත් කටයුතු කළා. මේ කාලයේදී ආනන්ද බාලිකාවේ පැරණි ගායක පරපුරකට අයත් දියණියක් ඉගෙනුම ලබමින් සිටියා .ඇය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වූ මාලිනී බුලත්සිංහල මහත්මිය ඇගේ අධ්‍යාපන කටයුතුවලට වගේම ඇගේ නිවසේ පෞද්ගලික කටයුතු වලට පවා බොහෝ උදව් පදව් කළා. වරක් ඇයගේ දෙමව්පියන් විසින් පැවැත්වූ සංගීත ප්‍රසංගයකට නිවේදන කටයුතු කිරීමට ප්‍රේමකීර්තිව සම්බන්ධ කර දුන්නේද මාලනී බුලත්සිංහල විසින්. දවසක් මාලනීට දුරබැහැර පළාතක සංගීත ප්‍රසංගයකට සහභාගි වෙන්න තිබ්බා. තවත් සංගීත ප්‍රසංගයකට ඇය යා යුතු නිසා ඇයට කලින් ගීත ගායනා කිරීමේ අවශ්‍යතාවයක් තිබ්බා. ගායක ගායිකා ලැයිස්තුවේ තමන්ගේ ශිෂ්‍යාව ඉන්නව කියල දැක්ක මාලනී ඇය ගාවට ගිහිල්ලා තමන්ට කලින් අවස්ථාව ලබා දෙන්න පුළුවන්ද කියල කාරුණිකව ඉල්ලා සිටියා. ඒ වන විට පාසල් අධ්‍යාපනය නිමා කරලා හිටපු ඒ ශිෂ්‍යාව මාලනීට ලබාදුන්නේ බලාපොරොත්තු නොවුණු ප්‍රතිචාරයක්. ශිෂ්‍යාව වගේම ඇගේ දෙමව්පියන්ද එසේ කළ නොහැකි බව තදින් කියා සිටියා පමණක් නොව ඇයට විවිධ නර්මාලාප එල්ල කිරීමට පටන් ගත්තා. මෙයින් දැඩිලෙස සිත්තැවුලට පත්වූ මාලනී, පස්සේ දවසක ප්‍රේමකීර්තිට මේ සිද්ධිය විස්තර කළා. ප්‍රේමකීර්ති කළගුණ නොදත් ඒ අකෘතඥ ශිෂ්‍යාව වෙනුවෙන් මේ ගීතය රචනා කළා.

 

 

6. පාන් කිරිත්තා තක්කිට තරිකිට 

ප්‍රවීණ සාහිත්‍යවේදී ගුණදාස ලියනගේ මහතා ජීවතුන් අතර සිටියදී ප්‍රකාශ කළේ ප්‍රේමකීර්ති විසින් මේ ගීතය රචනා කරන ලද්දේ තමන්ව උපහාසයට ලක් කරමින් බවයි. ඒ ගැන විමසූ විට ප්‍රේමකීර්ති සිනහවකින් පමණක් උත්තර දුන් බව පැවසෙනවා. නමුත් ඇතැම් අය නම් විශ්වාස කරන්නේ ප්‍රේමකීර්ති කෙරෙහි දැඩි ඊර්ෂ්‍යාවෙන් පසු වුණු ගී පද රචකයෙක් සහ ප්‍රවීණ සංගීතඥයෙකු එකතුවී ප්‍රේමකීර්තිට සිදුකරන ලද විවිධ මදිපුංචිකම් නිසා ප්‍රේමකීර්ති විසින් මේ ගීතය රචනා කළ බවයි.

 

 

7. ආදරයේ උල්පත වූ අම්මා 

තමන් ලියපු ගීත අතරින් ප්‍රේමකීර්ති තමන් කැමතිම ගීතය විදියට හඳුන්වලා දීලා තියෙන්නෙ මේ ගීතය. ඒකට එක හේතුවක් වෙලා තියෙන්නේ මේ ගීතය හා බැඳුණු සංවේදී කතාවක් නිසා. ප්‍රේමකීර්තිගේ අම්මා ප්‍රේමකීර්තිට දැඩිව ආදරේ කරල තියෙනවා. ප්‍රේමකීර්ති ලියන සින්දු ප්‍රචාරය වෙද්දී ඇය ගුවන් විදුලිය ළඟ නොසෙල්වී ගීත අහලා සතුටට පත්වෙලා තියෙනවා. දවසක් ඇය කියලා තියෙනවා. “උඹ බොරු කකුල්කාරයටයි, රූකඩේටයි අරකටයි, මේකටයි සින්දු ලියනවා. ඒත් උඹ මං ගැන තවම සින්දුවක් ලිව්වේ නෑනෙ” කියලා. මේක අහපු ප්‍රේමකීර්ති හයියෙන් හිනාවෙලා අම්මට විහිළු කරලා තියෙනවා. හැබැයි ප්‍රේමකීර්තිට ගීතයක් ලියන්න විවිධ හේතු නිසා බැරි වෙලා තියෙනවා. මේ අතරතුරේදී අම්මව හදිසියේ අසාධ්‍ය තත්ත්වයට පත් වෙලා රෝහල්ගත කරන්න වෙලා තියෙනවා. මේ අවස්ථාවේදී දිනපතා රෝහලට ගිය ප්‍රේමකීර්ති දැඩි ලෙස කම්පා වෙලා තියෙන්නෙ අම්මගෙ ඉල්ලීම තමන්ට ඉෂ්ට කරන්න බැරිවුණා කියලා. දවසක් වික්ටර් රත්නායක අම්මව බලන්න ආපුවාම ප්‍රේමකීර්ති ඉස්පිරිතාලේ බිත්තියක කඩදාසියක් තියලා මේ ගීතය වික්ටර්​ට රචනා කරලා දීලා තියෙනවා. හැබැයි ප්‍රේමකීර්තිගේ අනිත් ගීත වගේ මේ ගීතය නම්  අම්මට අහන්න ලැබෙන්නේ නෑ. මේ ගීතය ප්‍රචාරය වෙද්දී ඇය ජීවිතයෙන් සමු අරගෙන.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *