ඕනම ගෙදරක සහෝදර සහෝදරියන්ගෙන් පිරිල ඉන්නකොට ඇත්තටම ලස්සනයි තමයි. දුකට සැපට තමන්ගෙම සහෝදරයෙක් ඉන්න එක පුංචි ළමයෙක්ට උනත් සෙල්ලමට, රණ්ඩුවට හරි සහෝදරයෙක් ඉන්න එක තරම් තවත් දෙයක් තියෙනවද කියලත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතින් ගෙදර තනි දරුවා වෙන එකත් බලාගෙන ගියහම සෑහෙන්න වාසි ලැබෙන කාරණාවක්. සහෝදර සහෝදරියෝ ඉන්න එකේ වාසි කතා වෙන එකේ අපි තනි දරුවා වෙන එකෙන් ලැබෙන වාසි ගැනත් කතා නොකරම බැහැනෙ නේද? කියවලම බලන්නකෝ ගෙවල්වල තනි ළමයි මේ කියන වාසි වලට එකඟ වෙනවද කියල. ඔන්න මේ වාසි ලබන්න පින් නොකරපු ඈයො ඉරිසියා කරන්නනම් ඔට්ටු නෑ හොඳේ.
1. ස්වාධීනකම
ගෙදරක තනි දරුවා වෙන එකෙන් කෙනෙකුට ලැබෙන්න පුළුවන් ලොකුම සහ වටිනාම වාසිය තමයි මේක. ගැහැණු දරුවෙක් වුණත් පිරිමි දරුවෙක් වුණත් තමන්ගෙ හුඟක් වැඩ කටයුතු තව කෙනෙකුගේ සහයෝගය නැතුව තනියම කරගන්න අවශ්‍ය පසුබිම මේ තනි දරුවා වීම නිසා සැකසෙනවා. පුංචි කාලෙ සෙල්ලම් කරන එකේ ඉඳල ගෙදර වැඩ ඉස්කෝලෙ වැඩ ඔක්කොම තනියමම කරගන්න පුරුදු වුණහම පස්සෙ වැඩිහිටි උනාට පස්සෙත් තමන්ගෙ වැඩ වගේම වයසට ගිය දෙමව්පියන්ට කෙරෙන්න ඕන යුතුකම් පවා කාගෙවත් මැදිහත්වීමක් බලාපොරොත්තු නොවීම තනියම කරගන්න පුළුවන්.
2. තනි ආදරේ
ගෙදර තනි දරුවා කියන්නෙ ඉතින් හැමෝගෙම ආදරේ තනි සින්නක්කර අයිතිය එයාට තමයි. විශේෂයෙන් දෙමව්පියන්ගෙ ආදරේ. අත්තම්මල සීයලගෙ ආදරෙත් අඩුවෙන්නෙ බෙදිල යන්නෙ. ලොකු අපිට කෙසේ වෙතත් අම්මල තව දරුවෙක් හුරතල් කරන්නෙ ආදරේ කරන්නෙ නෑ කියන්නෙ පුංචි ළමයින්ට නම් කොයි තරම් සතුටක්ද. එහෙම තනියම ආදරේ විඳින්න කොයි පුංචි දරුවද ඉතින් අකමැති? දෙමව්පියන්ගෙ ආදරේ තරම් වටින තවත් දෙයක් පුංචි දරුවන්ගෙ ලෝකෙ නැහැනෙ ඉතින්.
3. රණ්ඩු නෑ
ගෙදර තනි ළමයා කියන්නෙ ඉතින් රණ්ඩු කරන්න කවුරුත් නෑ. මොකෝ අම්ම තාත්ත එක්ක රණ්ඩු කරල පොරබදන්නයෑ. එක එක දේවල් බෙදාගන්න බැරුව, පුංචි පුංචි හිත් රිදවීම් වලට රණ්ඩු කරන්න ඕන නෑ, එහෙම රණ්ඩු වෙන්න කෙනෙක් නෑ කියන්නෙ ඉතින් බොහොම සාමකාමීව කාලෙ ගත කරන්න පුළුවන්නේ. කව්ද අකමැති එහෙම රණ්ඩු නැති සාමකාමී කාලයක් ගත කරන්න. ඒකට ඉතින් ගෙදර තනි ළමයම වෙන්න ඕන. හැබැයි ඒ වාසිය වගේම තමා සහෝදර සහෝදරියො වට කරගෙන ගහ මරාගන්න එකෙත් ආතල් එකක් නැත්තෙමත් නැහැ.
4. තනියම කඩචෝරු/ සෙල්ලම් බඩු
හවසට තාත්ත වැඩ ඇරිල එනකොට අරගෙන එන ටොපි, චොකලට්, මුරුක්කු වගේ කඩචෝරු තනියම බදාගෙන කන්න පුළුවන් වෙන එකම කොච්චර වාසියක්ද ඉතින්. ඒ විතරක්ද අම්ම හදන කට්ලට්, පෑන් කේක් වගේ රස රස කෑම ජාතිත් හිතේ හැටියට තනියම කන්න පුළුවන්. එක සලාකෙ දෙකට තුනට බෙදෙන්නෙ නෑනේ. හැබැයි ඔහොම කඩචෝරු, පැණිරස කාල දත් අමාරු එහෙම එන්නත් බැරි නෑ ඔන්න. වැඩි සෙනේ හොඳ නෑ කියන්නෙත් නිකන්ද ඉතින්.
අනිත් ඒව තමයි සෙල්ලම් බඩු. පුංචි කාලෙ සෙල්ලම් බඩු බෙදාගන්න බැරිව අයියල මල්ලිල, අක්කල නංගිල රණ්ඩු වෙන තරම්. හැබැයි මේ තනි ළමයා උණාම නම එහෙම ප්‍රශ්න නෑ. සෙල්ලම් බඩු බෙදාගන්න ඕනත් නෑ. රණ්ඩු කරන්න ඕනත් නෑ. මගේ සෙල්ලම් බඩු මෙයා කඩයි කියල බයේ ඉන්න ඕනත් නෑ. හැබැයි ඉතින් කොච්චර සෙල්ලම් බඩු තිබ්බත් සෙල්ලම් කරන්න වෙන්නෙනම් තනියම තමයි පුතෝ.
5. දේපළ ප්‍රශ්න නෑ
ඔන්න ලොකු උණහම තියෙන වාසියක්. අම්මලා තාත්තලාගෙන්, පරම්පරාවෙන් උරුම වෙන ගේ දොර, වතුපිටි වගේ දේපළ බෙදාහදාගන්න ඕනයි කියල එකක් නෑනේ. ඔක්කොම තනි අයිතියට ලබාගන්න පුළුවන්. ඉතින් දේපොළ බෙදාගන්න බැරුව අම්මල තාත්තල එහෙම නැති පස්සෙ කාලෙක රණ්ඩු සරුවල් නඩු හබ වලට මූණ දෙන්න වෙන්නෙත් නෑ. වතුපිටි වලින් ලැබෙන ආදායම් එහෙමත් තනි අයිතියට භුක්ති විඳින්න පුළුවන්.
6. සැප පහසුකම්
කොයි දෙමව්පියොත් බලන්නෙ තමන්ගෙ දරුවන්ට තමන්ට පුළුවන් උපරිම සැප සම්පත් ලබා දෙන්නනේ. හැබැයි ඉතින් දෙමව්පියන්ගෙ සමාජ, ආර්ථික තත්ත්ව මත මේ ලබාදෙන්න පුළුවන් සැප සම්පත් වල ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි තනි දරුවා උණහම ඔන්න ඒ හැමදේමත් තනියම භුක්ති විඳින්න තමා තියෙන්නෙ. දෙමව්පියන් ආර්ථික අතින් ඒ තරම්ම ශක්තිමත් නොවුනත් සාමාන්‍ය දරුවෙකුට ලැබෙන සැප පහසුකම් අඩුවක් නැතුව ලබන්න පුළුවන් කිසිම දෙයල් බෙදිල යන්නෙ නැති නිසා. උසස් අධ්‍යාපන කටයුතු වලදි එහෙමත් එකම ළමයා නිසා උපරිමයෙන් වියදම් කරනවනේ ඕනම දෙමව්පියෙක්.
7. විශේෂ අවධානය
තමන් කරන ඕනම කටයුත්තකට දෙමව්පියන්ගේ උපරිම අවධානය ලබාගන්න පුළුවන් එකත් එසේ මෙසේ වාසියක්ද ඉතින්. අවධානය ලැබෙනවනම් කව්ද අකමැති. පාසලේ වැඩකටයුතු, බාහිර වැඩ වගේ හැමදේකදිම දෙමව්පියන්ගේ විශේෂ අවධානය ලැබෙන නිසා ඒ ඔක්කොම වැඩ ඉහළින්ම කරගන්න පුළුවන්. වැරදීම් එහෙම අඩු කරගෙන කැපී පේන්න පුළුවන් ඔන්න. ඒ වගේම තමා ආරක්ෂාව වගේ කාරණා වලදීත් බලන්න දෙතුන් දෙනෙක් නැති නිසා ඉහළම අවධානය ලබාගන්න පුළුවන්.
හැබැයි ඉතින් ඔය කොහොම කිව්වත් පවුලක තනි දරුවා වෙන එකේ මේ කියන විදිහෙ වාසි ගොඩක් තිබ්බට කොයි තරම් අඩුපාඩු තිබුනත් වේලක් දෙකක් කාල හරි සහෝදර සහෝදරියො වට කරගෙන ගෙවන ජීවිතෙත් හරිම ලස්සනයි තමයි. මේ දෙකේම තියෙන්නෙ දෙවිදිහකට දකින්න පුළුවන් සුන්දරත්වයන් දෙකක්. සහෝදර සහෝදරියො ලැබුන අය ඒ ජීවිතේ සුන්දරත්වය රසවිඳින අතරේ තනි දරුවා උන අයට පුළුවන් මේ කියපු වාසි ගැන හිතලා ඒ ජීවිතේ රසවිඳින්න, ලැබිල තියෙන ජීවිතේට චෝදනා කරන්නෙ නැතුව.
Leave a Reply