බොන්න සෙට් වෙන්නද යන්නේ? එහෙමනම් මේ දේවල් කලින් ප්ලෑන් කරලා හිත නිදහසේ බොමු!

රහමෙර පානය කරන එක හොඳ වැඩක් නෙවෙයි කියලා සමහරු කියනවා. රහමෙර මඳ පමණට ගන්න එකේ වැරැද්දක් නැහැ කියලා තවත් සමහරු කියනවා. කොහොම වුනත් අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන්, රහමෙර කුදාර් වෙලා, කන් සාක්කුවට වැටිලා, සාක්කු කාණුවට වැටෙනකල් ගන්න එක අප්සට් කියලා. ආන්න ඒ නිසා අපි දැන් කතා කරන්න යන්නේ, වගකීමෙන් බොන, බීම කල්චර් එකක් විදියට එන්ජෝයි කරන සෙට් එකට!

වගකීමෙන් බොන කෙනෙක් වෙන්නේ කොහොමද කියලා මේ ආටිකල් එක කියවලා දැනගන්න!

දැන් එහෙම බීම එන්ජෝයි කරන සෙට් එක ඉඳලා හිටලා හරි ඔය යාලුවෝ එක්ක සෙට් වෙනවනේ. ඒවා ගැටළුවක් නෑ. හැමෝටම සෝෂල් ලයිෆ් එකක් තියෙන්න ඕනනේ. හැබැයි ඉතින් වගකීමකින් යුක්ත වැඩිමහල්ලෝ විදියට හිතේ නිදහසකින් බොන්න සෙට් වෙන්න කලින් හිතන්න දේවල් ටිකක් තියෙනවා. ආන්න ඒ දේවල් ගැන තමයි මේ කියන්න යන්නේ! මේ දේවල් පිළිපැද්දොත් බොද්දි වගේම බීල පහුවදාටත් හිතේ නිදහස ඉතිරි වෙලා තියෙයි!

 

1. ගෙදරට කියලද යන්නේ?

මේක බැලූ බැල්මට හෙන කොමිටල් ප්‍රශ්නයක් වගේ පෙනුණත්, ඔය අපේ කසාද බැඳලා ඉන්න හාදයෝ එහෙම දන්නවා මේ ප්‍රශ්නේ තියෙන බරපතලකම. දැන් ඔය ගාණට බොන, චාටර් නොවෙන අයියලා බැඳපු අක්කලා එහෙම දෙයියනේ කියලා මිනිහා යාලුවෝ එක්ක මාසෙකට දෙහෙකට සැරයක් සෙට් වෙන්න යන එකට බාල්දි දාන්නෙ නෑ ගොඩක් දුරට. හැබැයි ඉතින් ගෙදරින් බොන්න යන එකට බර බරේ වැටෙන අයියලට වෙන්නේ යාලුවෙක්ගේ ගෙදර පිරිතකට යනවය, යාලුවෙක්ගේ අම්මට අසනීප නිසා බලන්න යනවය වගේ ලෝක බොරු කියලා ගෙදරින් පනින්න තමයි. හැබැයි ඉතින් අපි නම් කියන්නේ ඔය බොන එකට ගෙදර උන්දෑ අකමැති එක වගේ ප්‍රශ්න මුල් කාලෙම විසඳගන්න කියලා. ඒකට ඉතින් මූලිකවම තමන් චරිතේ හොඳින් තියාගන්න වෙනවා. මොකද බොරු කියලා ගියා වගේ නෙවෙයි, මොකක් හරි තමන්ට කරදරයක් වුනොත් එහෙම තමයි බොරුවේ රඟ තේරෙන්නේ. කොහොම හරි, ඒවා තම තමන්ගේ වැඩ. ගෙදරට කලින්ම කියලා, රෑට කෑම තියන්න එපා නම් ඒකත් කියන එක තමන්ගේ යුතුකම.

 

2. යුතුකම් වගකීම් තිබේද?

යාලුවොත් එක්ක සෙට් වෙන්න යනවා කියන්නේ නිදහසේ පොඩි වෙලාවක් ගත කරලා එන එකනේ. එතකොට ඔලුවේ ප්‍රශ්න, කරන්න ඕන දේවල් පුරවගෙන බෑ. අනික ගියපු වෙලේ ඉඳලා එහෙන් මෙහෙන් ෆෝන් කෝල්ස් නම් ගියපු වැඩේ කෙරෙන්නෙත් නෑ. ආන්න ඒ නිසා හොඳට කල්පනා කරලා බලන්න දෛනිකව තමන්ගේ අතින් සිද්ධ වෙන්න ඕන හැමදෙයක්ම නිසි පිළිවෙලට කරලද තියෙන්නේ කියලා. නැතිනම් කරුණාකරලා සෙට් වෙන්න යන්න කලින් ඒ වැඩ ඉවර කරන්න. කාට හරි අද දවසේ වැඩක් කරලා දෙනවා කියලා කිවුවා නම්, ඒවත් ඉවර කරන්න. ඊලඟ දවසේ උදේට තමන් අතින් සිද්ධ වෙන්න ඕන වගකීම් තියෙනවා නම්, ඒවා කලින් කරන්නත් බැරි ඒවා නම්, ඒවා සුදුසු විදියට වෙන අයට පවරන්න. ආන්න ඊට පස්සේ සැහැල්ලු මනසින් සෙට් වීමට යන්න.

 

3. ඊලඟ දවසේ ඔෆිස් වැඩ තිබේද?

මේකත් උඩ කතන්දරේට ටිකක් සමානයි. අපි ගොඩක් වෙලාවට ස්ටෙලා පාරක් දාන්නේ ඊලඟ දවසේ නිවාඩුවක් එහෙම සෙට් වෙනවා නම් තමයිනේ. ඒකට හේතුවක් තියෙනවා. අද රෑ වෙනකල් බීලා, හෙට උදේට සමහර වෙලාවට ඇහැරෙන්නේ නැතිවෙන්න පුළුවන්. අන්න ඒ නිසා බොන්න යන්න කලින් හිතන්න ඕන ඊලඟ දවසේ උදේ ගැන. හදිසියේ යවන්න තියෙන ඊමේල්ස්, උදේම තියෙන මීටින්ග්ස්, සබ්මිට් කරන්න තියෙන ඩොකියුමන්ට්ස් එහෙම තියෙනවා නම් කරුණාකරලා ස්ටෙලා එක කල් දාගන්න. එහෙම නැතිනම් දැනෙන්නේ නැති ගාණට පොඩි ෂොට් එකක් දාලා කලින්ම සෙට් වීමෙන් කැපෙන්න. එහෙම නැතුව ඔෆිස් වැඩත් එක්ක ඔට්ටු දාලා සෙට් වෙන්න යන්න එපා!

 

4. අතේ සල්ලි තිබේද?

ඔව්, සෙට් වීම් වලට සල්ලි යනවා. කවුරුත් පිනට බොන්න අරන් දෙන්නෙ නැහැනේ හැමදාම. ආන්න ඒ නිසා මුලින්ම සෙට් වීම ගැන පොඩ්ඩක් කට්ටිය කතාබහ කරලා, බොන්නේ මොනවද, කන්නෙ මොනවද කියන එක සාකච්ඡා කරලා, ඒ කන බොන දේවල් වලට කට්ටිය අතේ සල්ලි තියෙනවාද කියලා හිතලා බලන එක බොහොම ඥාණවන්ත පියවරක්. අපි එහෙම කියන්නේ හේතුවක් ඇතුව. බීලා ඉවර වුනාට පස්සේ සල්ලි මදි වුනොත් එහෙම මොකද කරන්නේ? ඒටීඑම් හොයාගෙන යන්නද? සමහර වෙලාවට සමහරු කියනවා “මචං අද මං ගාණේ” කියලා. හැබැයි එහෙම කියන පලියටම විශ්වාස කරන්න යන්න එපා. කෝකටත් තමන්ගේ අතේ කීයක් හරි තියාගන්න.

හැබැයි ඉතින් ඇබ්සොලූට්‍ලි නොමිලේ කන්න බොන්න දෙන පාටියක්, යාලුවෙක්ගේ ට්‍රීට් එකක් වගේ දේවලට ඔව්වා අදාළ වෙන්නෙ නෑ! 

 

5. ගෙදර යන්නෙ කොහොමද?

මෙන්න මේක තමයි මේ ආටිකල් එකේ වැදගත්ම කෑල්ල. බොන්න සෙට් වෙන්න අදහස ආපු ගමන් හිතලා බලන්න ඕන දේ තමයි බීලා ගෙදර යන්නෙ කොහොමද කියලා. මොකද “කොච්චර බිව්වත් මට මාව ෂුවර්”, “දෙකක් දැම්මට, වාහනේට නැග්ගට පස්සේ දන්නෙම නැතුව ගෙදර, එච්චරටම මට පාර හුරුයි” වගේ මැටිමෝල් කතන්දර නං කියන්න එන්න එපා. ඔය තමන්ගේ බිව්වට පස්සෙත් ඩ්‍රයිවින් ගැන මාර ෂුවර් අයියලා අක්කලා ඕන තරම් පාරේ යන අහිංසක මිනිස්සුන්ව හප්පලා, අනතුරු සිද්ධ කරගෙන තියෙනවා. අන්න ඒ නිසා තමයි කියන්නේ බොන්න යන්න හිතපු ගමන් ඊලඟට මේ ගැන හිතන්න කියලා.

සමහර බොන සෙට් එකක ඉන්නවා නොබොන යාලුවෙක්. පොර තමයි ඩ්‍රයිවර්. තමන්ටත් එහෙම බඩියෙක් ඉන්නවා නම්, කරුණාකරලා එයාට කතා කරලා එනවද නැද්ද කියන එක කන්ෆර්ම් කරගන්න. එදා රෑ තමන්ට නැවතිලා, පහුවෙනිදා උදේ යන්න ඕන නම් ඒ ගැන කටයුතු පිළිවෙලක් කර ගන්න. ඔය එක දෙයක්වත් කරන්න විදියක් නැතිනම්, තමන්ගේ වාහනේක නම් එන්නේ, ඒක යාලුවගෙ ගෙදර දාලා හරි මොකක් හරි කරලා, ටැක්සියක ගෙදර යන්න විදියක් සැලසුම් කරගන්න. එහෙම නැතිනම් You Drink We Drive වගේ ඇප් එකක් පාවිච්චි කරලා ඩ්‍රයිවර් කෙනෙක් ගෙන්නගෙන ගෙදර යන්න.

කොහොම කළත්, බීලා වාහන එලවන්න ලැහැස්ති වෙන්න එපා කියන එක තමයි ප්‍රමුඛතම කාරණය!

 

6. ශරීර සෞඛ්‍ය තත්ත්වේ කොහොමද?

මෙන්න මේකත් අනිවාර්යයෙන්ම හිතලා බලන්න ඕන දෙයක්, බොන්න හිතන්න කලින්. තමන්ට ඇඟට කොහොමද? සමහරුන්ට සෙම ප්‍රශ්නේ අත වනන කොට, ෂොට් එකක් දැම්මහම ඒක ඩබල් වෙනවා. ඉතින් ආන්න ඒ වගේ ශාරීරික ගැටළුවක් තියෙන වෙලාවක කොයි තරම් ෆිට් යාලුවෝ කතා කළත්, බොන්න එපා කියන එක තමයි අපේ ඇඩ්වයිස් එක. කොටින්ම කිවුවොත්, තමන් බොන්න සෙට් වෙන්න ඕන, ඇල්කොහොල් වලින් තමන්ට ගැටළුවක් මතු වෙන්නේ නැති විදියේ හොඳ ශරීර සෞඛ්‍ය තත්ත්වෙක ඉන්නවා නම් තමයි. 

 

7.  මොනවද?

මේකත් අනිවා හිතන්න අවශ්‍ය ප්‍රශ්නයක්. මොකද, බොනවා නම් අවශ්‍ය ප්‍රමාණයට කන්නත් ඕන කියන එක අපි විතරක් කියන දෙයක් නෙවෙයි. කොටින්ම කියනවා නම්, කඩල ඇට දහයක් පහළොවක් බයිට් එක විදියට ෂොට් එක ගන්න අතරේ කෑවා කියන එක සමබර ඩයට් එකක් වෙන්නෙ නෑ. ආන්න ඒ නිසා හොඳ සමබල ආහාර වේලක් ෂොට් එකත් එක්කම හරි, ෂොට් එකෙන් පස්සේ හරි ගන්න ඕන. හැබැයි එහෙම කන්න තියෙන තැනක්ද, කෑම ගැන මොකද කරන්නේ කියන එක බොන්න සෙට් වෙන්න කලින් හිතන්න ඕන දෙයක්!

 

8. හැන්ග්ඕවර් ප්‍රශ්නෙට විසඳුම් තියෙනවද?

මේක බිව්වට පස්සේ දවසේ උදේට ගොඩක් අයට තියෙන ජනප්‍රිය ප්‍රශ්නයක්. ඔලුව කැක්කුම, අධික ආලෝකය හරි ශබ්දය හරි දරන්න බැරි කම වගේ රෝග ලක්ෂණ. මේකට තමයි හැන්ග්ඕවර් කියන්නේ. ඉතින් ඕක මගහරවා ගන්න ඕන කියන එක බොන්න සෙට් වෙන්න කලින්ම හිතන්න ඕන දෙයක්. මේක වළක්වා ගන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක් තමයි මඳ පමණට බොන එක. ඒ කියන්නේ කුදාර් වෙන්න ගහන්නේ නැති තරමට හැන්ග්ඕවර් ප්‍රශ්නේ අවමයි. එතකොට බොන ගමන් හොඳ ආහාර වේලක් ගන්න එකත් උඩින් කිවුවා වගේ කළ යුතු දෙයක්. තුන්වෙනුව, මධ්‍යසාර බොන ගමන් මැද්දේ ඉන්ටර්වල් වලදී සෑහෙන්න වතුරත් බොන එකත් තවත් ඉතාම සාර්ථක හැන්ග්ඕවර් ඇති නොවෙන ප්‍රතිකර්මයක්.

 

එහෙමනම් මතකනේ? මඳ පමණට යාලු යෙහෙළියොත් එක්ක ෂොට් එකක් අරගෙන, සැපෙන් සාමෙන් සන්ධ්‍යාව ගත කරන එක තමයි ක්‍රමේ වෙන්න ඕන!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *